NewsTop Stories

වැලිකඩ සිද්ධියට මරණ දඩුවම නියම වූ එමිල් රන්ජන් ළමාහේවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 8 දෙනෙකු ඝාතනයට කිරීමට අදාළව වරදකරු කරමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනය බලරහිත කොට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.

ඒ එම දඬුවමට එරෙහිව එමිල් රන්ජන් ළමාහේවා ඉදිරිපත් කරන ලද ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුවයි. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් අටදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවේ දෙවන විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට 2022 ජනවාරි 12 දින මරණීය දණ්ඩනය නියම කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය එම නඩුවේ පළමුවන විත්තිකාර පොලිස් පරීක්ෂක නියෝමාල් මෝසස් රංගජීව සියලූ අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

අදාළ ඝාතන සිද්ධිය වනවිට එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස රාජකාරි කළ එමිල් රන්ජන් ළමාහේවා එදින බන්ධනාගාරයට පැමිණ සිටි යුද හමුදා මේජර්වරයකු සමඟ කොණ්ඩ අමිල නමැති මරණකරුව බන්ධනාගාරයේ පිටුපස කොටසට රැගෙන ගිය බවට ප‍්‍රමාණවත් සාක්ෂි ඇතැයි මහාධිකරණ විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර විත්තිකරුට මරණීය දණ්ඩනය පනවා තිබුණි.

දඬුවමට එරෙහිව එමිල් රන්ජන් ළමාහේවා ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල අද මෙම තීන්දුව ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *