එච්අයිවී සඳහා රුධිර පරීක්ෂාව කර ගන්න – ප්‍රතිකාර ගන්න සුවසේ සිටින්න  යන්න තේමාව කර ගනිමින් දෙසැම්බර් 01 වන දින මෙවර ලෝක ඒඩ්ස් දිනය ලොව පුරා  සමරනු ලැබුවේය. ඒ එච්අයිවී ආසාදිතයන් මිලියන 37ක් සිටිද්දීය. වසරකට ලොව පුරා අලුතින් මිලියන දෙකක් ආසාදනයට ලක් වන්නේය.

ලෝකයේ තත්තවය එසේ වුවද ලංකාවේ තත්තවය තරමක් දුරකට සතුටුදායක වන්නේය.  ලංකාවේ මුල්ම එච්අයිවී රෝගියා වසර 1983දී හමු වූ අතර මේ වන විට ආසාදිතයින් 3500ක් රට පුරා සිටින්නේය. එහෙත්  ප්‍රතිකාර සඳහා සායන වෙත තවමත් පැමිණෙන්නේ පුද්ගලයින් 1500ක පිරිසක් පමණි. මෙය බරපතළ තත්ත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේය.

එච්අයිවී වැඩි වශයෙන්ම ආසාදනය වන්නේ අනාරක්ෂිතව විෂම ලිංගික කටයුතුවල නිරත වන්නන් හා  අනාරක්ෂිත සමලිංගික කටයුතුවල නිරත වන්නන් බව හඳුනාගෙන ඇත්තේය. එසේම සංක්‍රාන්තික ලිංගිකයන් බොහෝ දෙනෙකු අනාරක්ෂිතව ලිංගික කටයුතුවල නිරත වන බවට තොරතුරු හෙළි වී ඇත්තේය. එච්අයිවී ආසාදිතයින්ගෙන් සියයට වැඩි පිරිසක් මේ අය අතරට ගැනෙන්නේය.

සංක්‍රාන්තික ලිංගිකයෙක් ලෙස හඳුන්වන පුද්ගලයෙක් ලෙස  බූමි හරේන්ද්‍රන් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකි.  ඔහු අප හා පැවසුවේ මෙවන් අදහසකි.

සංක්‍රාන්තික පුද්ගලයින් දිහා සමාජය බලන්නේ හරි වැරදි විදිහට. ඒ නිසා ඔවුන් සායනයකට ගිහිල්ලා ‍ලේ පරීක්ෂාවත් කර ගන්න කැමති වෙන්නේ නැහැ. සමාජ තුළ තවමත් මුල්  බැසගෙන තියෙන්නේ ඒඩ්ස් මාරාන්තිකයි කියලා. ඒත් ඒක එහෙම නැහැ. මිනිසුන්ගේ දැනුම අලුත් වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපේ දිහා මිනිස්සු තවමත් බලන්නේ වපර ඇසින්. සමාජයේ තවමත් අපි කොන් වෙනවා. නමුත් අපිටත් සමාජයේ අන් අයට වගේම අයිතිවාසිකම් තිබෙනවා.Untitled-2

බූමි  පවසන්නේ ඔවුන් සමාජයේ කොන් වී ඇති බවකි. එහෙත් ඔවුන් සමාජයෙන් පමණක් නොව තම නිවසින්ද කොන් වී ඇත්තේය. ඒ බව සංක්‍රාන්තික ලිංගිකයකු වූ කාවින්ද්‍යා ‍පොරමඩල අප හා පැවසුවේ මෙවන් අදහසකි.

මගේ ඉස්කෝ‍ලේ ගමන අතරමග නතර වුණා. එහෙම වුණේ ඉස්කෝ‍ලේ ළමයි මාව විහිළුවකට ගත්තා. ඒ විතරක් නෙවේ පංතියේ ළමයි පවා මාව කොන් කළා. පංතියේ හැම ළමයෙකුට හොඳ යාළුවෙක් හිටියා. ඒත් මට එහෙම කෙනෙක් හිටියේ නැහැ. අම්මා තාත්තා විතරයි මට ආදරය කළේ. මගේ සහෝදරයින් පවා මාව කොන් කළා. නෑදෑ  ගෙදරකටවත් මාව එක්ක යනවාට සහෝදරයෝ කැමති වුණේ නැහැ. ඒ නිසා අම්මා තාත්තා හිටියේ හරිම හිතේ වේදනාවෙන්.  අපි සාමාන්‍ය මිනිස්සු වගේ ඇයි අපිව මේ විදිහට කොන් කරන්නේ කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. ඒකයි මම ගෙදරින් ඈත් වෙලා  යාළුවොත් එක්ක ජීවත් වෙන්න තීරණය කළේ. මම දැන් සම්පූර්ණයෙන්ම ගැහැනු ළමයෙක්. කාටවත්  කියන්න බැහැ මම පිරිමියෙක් කියලා. ගැහැනු ළමයෙක් වගේ පේන නිසාම මට රැකියාවක් හොයා ගන්න අපහසු වුණේ නැහැ. මම අද හොඳ රැකියාවක් කරනවා. ඒ වගේම හොඳ ආදායමක් මට මාසිකව උපයා ගන්න පුළුවන්. මට ලැබෙන ඒ මුදලින් මම මගේ අම්මවයි තාත්තාවයි බලා ගන්නවා. මම දැන් සතුටින් ජීවත් වෙනවා.

වයස අවුරුදු 23ක පිරිමි ළමයෙකු වූ හබරකඩ පදිංචි අකිල ‍පොරමඩල අප සමඟ කතා කරන විට කාවින්ධ්‍යා ‍පොරමඩල බවට පත් ව සිටියේය. අකිල…,  ගමන් කළ මාවත  කටුක අමිහිරි එකක් වුවද කාවින්ධ්‍යා ලෙස අවසන් කළ ගමන  එක්තරා අන්දමින් සුන්දර එකක් විය.

අකිල පවු‍ලේ තුන්වන දරුවාය. ඔහුට වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියෙකි. බාල සහෝදරයෙකි. වසර දෙකින් දෙකට පරතරයකින් උපන් මොවුන් කුඩා කල කෙළි සෙල්ලමේ යෙදෙන විට අක්කාගෙන් හා අයියාගෙන් පමණක් නොව මල්ලීගෙන්ද වැඩියෙන් ම ගුටි බැට කන්නේ අකිලය. ඔහු ‍පොඩි දේටත් අඬන අයෙකි. දවසේ වැඩි හරිය අම්මාගේ වටේ දැවටි දැවටී සිටීමට අකිල වැඩි වෙලාවක් මිඩංගු කරන්නේය. අම්මාගේ සාරියක් පටලවා ගෙන අක්කා සමග සෙල්ලම් කිරීමටත් ඇලුම් කරන අකිල අයියා හා මල්ලි සමග වැඩියෙන් සෙල්ලමට නොයයි. එසේ සෙල්ලමට ගියත් අයියා සහ  මල්ලී සමග රණ්ඩු වී  අකිල අම්මා වෙත පැමිණෙන්නේ අඬාගෙනය. වයසින් වැඩෙත්ම අකිල පිරිමි දරුවෙකු වුණත් කතාබහ, හැසිරීම, ගමන බිමන ආදී සියලු දේ සිදු කළේ ගැහැනු ළමයෙකු ලෙසිනි. ඔහුගේ මේ හැසිරීම අන් අයගේ උසුළු විසුළුවලට මෙන්ම අපහාසාත්මක මුඛයෙන් කථා කිරීමට ද හේතුවක් වුවේය.

වයසින් මුහුකුරා යත්ම අකිල සමාජයෙන් වසන් වී සිටීමට කටයුතු කළේය. එහෙත්  පසු කාලෙකදී අකිලට අහම්බෙන් මෙන් මුණගැසුණු වසන්ත ද ගැහැනු ගති පැවතුම් ඇත්තෙකු වුවද අකිලට වඩා අභිමානයකින් ජීවත් වූවෙකි. අකිල වසන්ත හා කථාබස් කිරීමේදී බොහෝ දේ දැන ගැනීමට හැකිවිය. සමාජය තුළ ඔවුන්ට බොහෝ දේ කිරීමටත්  ඉහළ තැන්වල වැජඹීමටත් හැකි බව වසන්තගෙන් දැන ගත් අකිල එතැන් පටන් තම ගමන් මග වෙනස් අයුරකට ගෙන ඒමට කටයුතු කළේය.

ගමන් මග වෙනස් කරගන්නා මෙම පුද්ගලයින් සංක්‍රාන්තික ලිංගිකයන් යනුවෙන්  අපි හඳුන්වමු. මොවුන් ගැන අප ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතාගෙන් විමසූ විට  ඔහු සඳහන් මෙවන් අදහසකි.

යම් පුද්ගලයෙක් උත්පත්තියෙන්ම ගෙන එන ජානමය වෙනස්කම් හේතුවෙන් විවිධ ලක්ෂණ පෙන්නුම් කරනවා.  ඇතැම් පිරිමි දරුවන් ජානමය හේතූන් නිසා  ගැහැනු ලක්ෂණ පෙන්නුම් කරනවා.  ඇතැම් ගැහැනු දරුවන් පිරිමි දරුවන්ගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙවැනි පිරිමි දරුවන් කන්නේ, බොන්නේ, යන්නේ, එන්නේ, ගැහැනු දරුවන් වගේ. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සිතුම් පැතුම් පවා ගැහැනු දරුවන්වන්ගේ වගේ. ඒ වගේම ගැහැනු දරුවනුත් සිටිනවා. ඒ අය  ඇඳුම් පැලඳුම් අඳින්නේ පිරිමි දරුවන් වගේ  පිරිමි දරුවන් සිතන පතන අන්දමටම තමයි ඒ ගැහැනු දරුවනුත් සිතන්නේ. පිරිමි දරුවන් වගේ සයිකල් පදිනවා, බෝල ගහනවා, මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ වගේ අය දිහා සමාජය බලන්නේ අමුතු විදිහට. ඒ නිසාම ඒ අයට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් මා ළඟට සතියකට සංක්‍රාන්තික ලිංගිකයන් හත් අට දෙනෙකු එනවා. ඒ අයට අවශ්‍ය ප්‍රතිකාර හා උපදේශනයන් ලබා දීමට අපි කටයුතු කරනවා.  අපි ළඟට එන පිරිමි සංක්‍රාන්තිකයන්ට හෝමෝන ප්‍රතිකාර ලබා දෙනවා. මේ ප්‍රතිකාරයන් මගින් රැවුල වැවීම නතර වෙනවා. ගැහැනු ලක්ෂණ වැඩි වැඩියෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම සමහර අය සැත්කම්වලට පවා යොමු වෙලා පියයුරු හදා ගන්නවා.  ඇතැම් අය ඔවුන්ගේ ජනනේද්‍රියන් පවා සැත්කම් මගින් ඉවත් කර ගන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි ගැහැනු අය පිරිමි වගේ පෙනුම ඇති කර ගන්න සැත්කම් මගින් පියයුරු ඉවත් කරන්න කටයුතු කරනවා. ගර්භාෂය ඩිම්බකෝෂ සැත්කම් මගින් ඉවත් කර ගන්න සමහර ගැහැනු අය කටයුතු කරනවා. එහෙම කරලා ඔවුන් පිරිමින් වගේ සමාජයේ පෙනී සිටිනවා. මේකට කාටවත් මොනවත් කියන්න බැහැ. ඒ ඔවුන්ගේ කැමැත්ත.

මේ වගේ අය අපි ළඟට සේවාවන් ලබා ගන්න  ආවාම අපි මුලින්ම කරන්නේ මනෝ වෛද්‍යවරයෙක් ළඟට ඒ අයව අරිනවා. මනෝ වෛද්‍යවරයා වසර දෙකක පමණ කාලයක් පුරා එම කාන්තාවට හෝ පුරුෂයාට උපදේශන සේවාව ලබා දීලා ඔහු ගැන හොඳ අධ්‍යයනයක් කරනවා. එම අධ්‍යයනය තුළින් වෛද්‍යවරයා තේරුම් ගන්නවා මෙම පුද්ගලයා ඇත්තටම සංක්‍රාන්තික ලිංගිකයෙක්ද යන වග. එහෙම තේරුම් ගත්තාට පසුව එම පුද්ගලයාගේ උවමනාව මත අවශ්‍ය සැත්කම සඳහා ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. ඉන් අනතුරුව ශල්‍ය වෛද්‍යවරයා එම පුද්ගලයාගේ අවශ්‍යතාව පරිදි අවශ්‍ය සැත්කම කරලා දෙනවා. මේ සැත්කම හා ජීවිත කාලය පුරා ලබාදෙන හෝමෝන ප්‍රතිකාරවලට රජයට රුපියල් ලක්ෂ දහයක පමණ මුදලක් වැය වෙනවා. මේ ප්‍රතිකාරවලින් පසුව පිරිමි පුද්ගලයා කාන්තාවක් විදිහටත් ගැහැනු කෙනා පිරිමි පුද්ගලයෙක් විදිහටත් බාහිර ලක්ෂණයන්ගෙන් පෙන්නුම් කරනවා.

මෙසේ සැත්කම් හා ප්‍රතිකාර මගින් වෙනස්වීම්වලට ලක්වෙන පුද්ගලයින්ට සමාජ තුළ  නීතිමය පිළිගැනීමක් තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වටා පිටාව සකස් වී ඇත්තේය. පිරිමි පුද්ගලයින්ගේ හැඳුනුම්පතේ හා උප්පැන් සහතිකයේ  කාන්තා නමක්ද ගැහැනු පුද්ගලයින්ගේ හැඳුනුම්පතේ හ උප්පැන්න සහතිකයේ පිරිමි නමක්ද ස්ත්‍රී පුරුෂ භාවය ද වෙනස් කරනු ලැබේ. මේ සඳහා මනෝ විශේෂඥ වෛද්‍යවරයා සහ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සහතිකය අනුව ජාතික හැඳුනුම්පත හා උප්පැන්න සහතිකය නිකුත් කරනු ලැබේ. එම නීතිමය පිළිගැනීමත් සමග සංක්‍රාන්තික ලිංගිකයන්ට නීතිමය අවසරය ලැබෙන්නේය.ඇතැම් සංක්‍රාන්තික ලිංගිකයන්  සාර්ථක විවාහ ජීවිත පවා ගත කරන්නේය.

 

ශ්‍රියානි විජේසිංහ

Untitled-3