ප‍්‍රවීණ පරිවර්තන ලේඛකයකු වන උපාලි රත්නායක මහතා මෙවර සංහිඳ සාහිත්‍ය සංවාදය වෙනුවෙන් අප හා එක් වේ. මෑතකදී ඔහු ඔක්තෝබර්, ඒ අපූරු මග සහ අනේ අනේ විලියම් නමින් නව පරිවර්තන කෘති ත‍්‍රිත්වයක් එළිදක්වනු ලැබීය. ඒ අතරිනුත් චයිනා මියේවීල්ගේ The story of the Russian Revolution ඇසුරින් කළ ”ඔක්තෝබර්” කෘතිය වැඩි පාඨක අවධානයක් හිමි කරගත්තේය. මේ සංවාදය ඒ පිළිබඳවයි.
ඔබ රුසියානු ජීවිතය ගැන කියැවෙන රුසියානු සාහිත්‍යයට ඇල්මක් දක්වන්න බලපෑ විශේෂ හේතුවක් තිබෙනවාද ?

කුඩා කාලයේ ඉඳන්ම රුසියානු සාහිත්‍යයට කැමැත්තක් තිබුණා. ඒ වගේම මම හැදුණේ වාමාංශික නැඹුරුවක් තිබුණු සමාජ පරිසරයක. ඒව වගේම කුඩා අවධියේ ඉඳන්ම ඇසුරු කළ පිරිස් දැරූ අදහස් බලපෑවා. ඉස්සර අපිට සෝවියට් දේශය සඟරාව කියවන්න ලැබුණා. ඒ පරිසරය, සංස්කෘතිය සහ දේශපාලනය ගැන අපිට ආසාවක් ඇති වුණා. පසුකාලීනව රුසියානු පොතපත වැඩි වැඩියෙන් කියවද්දී ජීවිතයේ යථාර්තය ගැන ඒ පොතපතේ ලියැවී තිබෙන විදිහ ගැන ආකර්ෂණයක් ඇති වුණා. මේ සියලූ කරුණු හේතු වුණා රුසියානු සාහිත්‍ය කෙරෙහි ඇලූම් කරන්න.

චයිනා මියේවීල්ගේ කෘතියක් ඇසුරින් මෑතකදී ඔබ පරිවර්තනය කළ  ”ඔක්තෝබර්”  කෘතිය රුසියානු විප්ලවය ගැන වෙනස් ඇසකින් බැලීමක්.  චයිනා මියේවීල් බි‍්‍රතාන්‍ය ජාතිකයකු වීම නිසා ඔහු ලියූ The story of the Russian Revolution කෘතිය  දක්ෂිණාංශික කෝණයකින් ලියැවුණාද ?

නෑ එහෙම හිතන්න බෑ. ඔහු බි‍්‍රතාන්‍ය ජාතිකයකු වුවත් ඔහු බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කණ්ඩායමක සාමාජිකයෙක්. ඔහු less unity කියන වාමාංශික පිලේ ආරම්භක සාමාජිකයෙක්. ඔහු තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයට වෙනුවෙන් කළේ මාක්ස්වාදය සහ ජාත්‍යන්තර නීතිය. ඒ තරමට ඔහුගේ අධ්‍යයනය පුළුල්. නමුත් චයිනා මියෙවිල් මේ කෘතිය ලියද්දි උත්සාහ කළා මධ්‍යස්ථ තැනක ඉඳන් ලියන්න. නමුත් සෝවියට් සමාජ වකවානුවේ සිටි ලේඛකයින් බොහෝ දෙනකු ලියූ කෘතිවල ඒ මැදහත් ලියැවිල්ල අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඔවුන් සිය කෘතිවලින් පෙන්වන්න උත්සාහ කළේ  රුසියානු විප්ලවය ඉතා සුපිරිසිදු, කිසිදු කලංකයයකින් තොර පුජනීය දෙයක් විදිහටයි. නමුත් චයිනා මියේවිල් මේ සිදුවීම් දෙස බලන්නේ ඉතා ඉහළ ස්ථානයක ඉඳන්. ඔහු රුසියානු විප්ලවය ගැන ලියන්නේ ඊට දායක වුණු අයෙක් විදිහට නෙමෙයි. ඔහු ඉහළින් ඉඳන් සමස්තය දෙස බලනවා. සෑම පාර්ශ්වයක් ගැනම ප‍්‍රබල ආඛ්‍යානයකින් ඔහු මේ කතාව ගොඩනගනවා. අනෙක් අතට ඒ සමාජ වකවානුවට පසු කාලීනව ජීවත් වන අයෙක් වීමත්, ඒ කාලවකවානුවේදී සිද්ධ වුණු පෙරළි ඔහු දුටු නිසාත්, ඔහු ශූර නවකතාකරුවකු වීමත් මේ කෘතිය සාර්ථකවීමට බලපෑමක් වී තිබෙනවා.

ඔබ වරක් පවසා තිබුණා මෙරට සමාජවාදීන් සංස්කෘතික දේශපාලනය හඳුනා නොගත් පිරිසක් කියලා. ඇයි අපේ සමාජය සාහිත්‍ය අභාෂයකින්වත් අපිට අවශ්‍ය දේ පෙරළා නොගත්තේ ?

ඒක ඛේදවාචකයක්. මම විශ්වාස කරන විදිහට සරලවම සමාජවාදය කියන්නේ දේපළ සම්පත් සමානව බෙදී ගිය මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගෙන සැහැල්ලූවෙන් ජීවත් විය හැකි සමාජයක්. එය සුරාකෑමට ලක් නොවූ සාධාරණ සමාජයක් විය යුතුයි. නමුත් ලංකාවේ සමාජවාදීන් සමත් වුණේ නෑ මේ දේ මේ භුමියේ ස්ථාපිත කරන්න.

නිදසුනක් විදිහට ගත්තොත් රුසියාවේ ලෙනින් ඇතුළු පිරිස සෝවියට් සභාවලට බලය ලබාගැනීමට විශාල අරගලයක් ගෙන ගියා. මේ රටේ 1910 වගේ කාලයේ ඉඳන් ලංකාවේ තිබුණා සමූපකාර ව්‍යාපාරයක්. ඒ ක‍්‍රමය සමාජවාදයේ ලක්ෂණයක්. ඒක ඇතුලේ ගමේ මිනිස්සු එකතු වුණා, සමිතියක් පිහිටුවා ගන්නවා. තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන ඒ හරහා විකුණලා සියලූ දෙනා ඒ අදායම් බෙදා ගන්නවා. සමාජවාදී ක‍්‍රමයේ කොමියුන ක‍්‍රමය කියන්නෙත් මේ හා සමාන ක‍්‍රමයක්. අනෙක් අතට අපේ ගම්වල තිබුණා ඇත්තම් ක‍්‍රමයක්. සියලූ දෙනාම අනෙකාගේ අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරනවා. අසල්වැසියාගේ කුඹුරේ වැඩ වෙනුවෙන් ගමේ සියලූ දෙනාම උදව් උපකාර කරනවා. ඔහුත් අනෙකාගේ කුඹුරේ වැඩකටයුතු වෙනුවෙන් උදව් උපකාර කරනවා. එතැනදී බෙදීමක් නෑ. සමාජවාදී ක‍්‍රමයේ සමූහ ගොවිපොළ ක‍්‍රමයට ඉතාම සමාන ලක්ෂණයක්. වෙනසකට තිබුණේ ආදායම පමණක් වෙන් වෙන් වශයෙන් බෙදී යනවා. නමුත් අපේ මාක්ස්වාදීන් අසමත් වුණා ඒ ලක්ෂණවලට සමාජවාදය ගලපගන්න. ඒ වෙනුවට ඔවුන් කළේ බටහිර සමාජවාදය එහෙම්මම මෙහෙට ආදේශ කිරීම. වර්තමාන ජවිපෙ වගේ පක්ෂවත්, අතීතයේ තිබූ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ කිසිවක් මේ දේශපාලනය කියවන්නට සමත් වුණේ නෑ. මේ රටේ සංස්කෘතිය, හරය හඳුනාගන්න ඔවුන් සමත් වුණා නම්,ඒවා ප‍්‍රතික්ෂේප නොකර සිටියා නම් ඔවුන්ට මේ රටේ සමාජවාදය ස්ථාපිත කරන්න  ඕනෑ තරම් අවස්ථාව තිබුණා.

චයිනා මියේවීල් කියන්නේ වෙනස්ම ආරක් අනුගමනය කරන ලේඛකයෙක්. ඔහුගේ ඇතැම් නිර්මාණ ලංකාවට ආගන්තුකයි. එවැනි ලේඛකයකුගේ  කෘතියක්  පරිවර්තනය  කිරීම  අභියෝගයක් වුණේ නැත්ද ?

ඇත්තටම අභියෝගයක් වුණා. ඔහුගේ ශෛලිය වෙනස්. නමුත් ඒ කෘතියට තිබූ ආසාව නිසාම මම ඉතා මහන්සියෙන් සහ අසාවෙන් මේ කෘතිය පරිවර්තනය කළා. ප‍්‍රථම වතාවට තමයි මේ විදිහට චයිනා මියේවීල්ගේ කෘතියක් ලංකාවේ පාඨකයන් වෙනුවෙන් සිංහලෙන් පරිවර්තනය වුණේ. මම මේ ආකාරයේ කෘතීන්වලට වැඩි කැමැත්තක් තියෙනවා. මීට පෙර මම පරිවර්තනය කළ ස්වෙන් හැසල් කියන ලේඛකයාගේ කෘතීන් වුණත් වෙනස් ශෛලීන්ගෙන් යුතු කෘතීන්. ඔහු ඩෙන්මාර්ක් ජාතිකයෙක්. නමුත් පසුකාලීනව ජර්මනියට සංක‍්‍රමණය වූවෙක්. ඔහුට දෙවැනි ලෝක යුද  සමයේ ජර්මන් හමුදාවට පක්ෂපාතීව සේවය කරන්න සිදු වෙනවා. නමුත් ඔහු පසුකාලීනව පැන යන්න උත්සාහ කර මරණ දඬුවමට පවා නියම වී පසුව එයිනුත් ගැලවී රුසියානු යුද  පෙරමුණේ සේවයට යොදවා සිටි අයෙක්. පසුකාලීනව ඔහු කෘති දා හතරක්  ලියනවා.  ඔහු ලියන්නේ යුද්ධයේ වීරත්වය නෙමෙයි.යුද්ධයේ තිබුණු කෘරත්වය, ම්ලේච්ජත්වය, තුච්ච බව ඔහු ලියනවා. රකුසන්ගේ අඩවිය සහ යුද සක් හඬ නමින්  කෘතීන් ද්විත්වයක් මම පරිවර්තනය කර තිබෙනවා. චයිනා මියේවීල්ගේ කෘතිය වුණත් ඒ විදිහේ වෙනස් ප‍්‍රකාශනයක්. එවැනි කෘති පරිවර්තනය කරන්න මම වැඩි කැමැත්තක් දක්වනවා.

ඔබේ පරිවර්තනය කරන කෘති ඉතා සරල ලෙසින්  පාඨකයින්ට ඉදිරිපත් කරනවා. දේශපාලන සිදුවීමක් ඇතුලත් කෘතියක් පාඨකයාට වෙහෙසකර නොවන අයුරින් ඉදිරිපත් කිරීම ඔබට කොහොමද දැනෙන්නේ?

මම විශ්වාස කරනවා සරලකම තුළින් ගැඹුර දකින්න පුළුවන් කියලා. අපිට  හැකි විය යුතුයි ඉතා ගැඹුරු දෙයක් සරල බසින් පාඨකයාට තේරුම් ගත හැකිවෙන ලෙස ලියන්න. ඒක එහෙම නොවුණොත්  මිනිස්සු කියවන්නේ නෑ. මිනිස්සු කියවන්නේ නැතිනම් මොනවා ලිවුවත් ඇති වැඩක් නෑ. සරල නිදසුනක් විදිහට ගත්තොත් රිවිර පුවත්පත වෙනත් වාමාංශික න්‍යායික පුවත්පතක් සමග සංසන්දනය කරලා බලමු. ඒ වෙනස අහසට පොළොව වගේ. අර වාමාංශික පුවත්පත බලෙන් ඇෙඟ් ගැහුවත් මිනිස්සු ඒක මිලදී ගන්නේ නෑ. නමුත් රිවිර වගේ පත්තරයක් හොයලා ගිහින් හරි ගන්නවා. මොකද මිනිස්සු සරල දේට කැමැතියි. මමත් උත්සාහ කරන්නේ මුල් ලේඛකයාගේ අදහසට හානියක් නොවන විදිහට නමුත් සරල විදිහට පාඨකයාට දැනෙන විදිහට පරිවර්තන කාර්යය සිදු කරන්න. ආගමක්, දර්ශනයක් වුණත්  මිනිස්සු අතර රැුඳෙන්නේ  ඒ දහම සරලව මිනිස්සුන්ට දේශනා කළොත් පමණයි.

පරිවර්තනයෙන් වෙනස් ස්වතන්ත‍්‍ර කෘතියක් ලිවීම ගැන අදහසක් තිබෙනවද?

ඔව් මම දැනටමත් ලියමින් සිටිනවා. වසර ගණනාවක ඉඳන් මම ස්වතන්ත‍්‍ර නිර්මාණයක් ලියමින් සිටිනවා. නමුත් මම පරිවර්තනයට ඇබ්බැහි වී ඉන්නවා. ප‍්‍රකාශකයෝ වුණත් කැමැතියි  අපෙන් හොඳ පරිවර්තනයක් එනවනම්. ඒ නිසා කාලය කළමනාකරණය කරගැනීමත් අභියෝගයක් වී තිබෙනවා. නමුත් මම ආරම්භ කළ ස්වතන්ත‍්‍ර නිර්මාණ අනිවාර්යෙන්ම ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

අයේෂ් ලියනගේ