කලාවේ විවිධ අංශ නියෝජනය කරන ඔහු නමින් ඩිල්ෂාන් පතිරත්නය. ගේය පද රචකයකු, කවියකු සේම ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රකට  නිවේදකයකු ලෙස ද කටයුතු කරන ඔහු  වෘත්තියෙන් නීතිඥවරයෙකි.  ඔහු විසින් රචිත ” කලියුගයේ කුමාරයා”   නම්  කාව්‍ය සංග‍්‍රහය මෑතකදී පාඨක අවධානය දිනාගත් කාව්‍ය සංග‍්‍රහයකි. ඒ එහි ඇතුලත්  පද්‍ය  නිර්මාණය අතරින්  කිහිපයක්  ගීත ලෙස රසිකයන් වෙත  සමීප වීම හරහාය.  අද සාහිත්‍ය කතිකාව ගොඩනැගෙන්නේ  ඩිල්ෂාන් පතිරත්නගේ ” කලියුගයේ කුමාරයා ” කෘතිය  ඇසුරිනි.

කලියුගයේ කුමාරයා ඔබේ පළමු කාව්‍ය සංග‍්‍රහය. කාව්‍ය සංග‍්‍රහයක් එළි දක්වන්න හේතු වුණු කාරණා මොනවද?

කලියුගයේ කුමාරයා මගේ පළවෙනි කාව්‍ය සංග‍්‍රහය. ඇත්තටම කෙනෙක් ප‍්‍රශ්න කළොත් මේ කවි ද හලෝ කියලා මට එයත් එක්ක තර්ක කරන්න බෑනේ. ඒ නිසා මං මේ කවි නෙමෙයි කියන මට්ටමේ ඉඳලා තමයි මේක කරේ. හේතුව මම කවි කියලා හිතලා ලියපුවා නෙවෙයි මේ. මම එතැනදි අවුරුදු දෙකක් තුනක් කාලයක් නිකං කොළවල කුරුටු ගාපුව මං ෆයිල් එකක් ඇතුලට විසි කරන්න පුරුදු වෙලා හිටියා. පස්සෙ කාලෙක මම ඒව බලන කොට මට හිතුණා මෙහි සමහර දේවල් මගේ අතින් රහට ලියවිලා තියෙනවා කියලා. හැබැයි ඒ හැම එකක්ම  කාව්‍ය ආකෘතියකට අනුව වෙලා නෑ කියන එකත් මට තේරුණා. සහ මං මගේ හිතවත් අයට පෙන්නුවහම ඒ අයත් කිව්ව. මේවා හො`දයි පළකරන්න කියලා. ඊට පස්සේ තමයි මම කලියුගයේ කුමාරයා පොත එළිදැක්කුවේ.

නීතිඥයෙක්, නිවේදකයෙක්, ගීත රචකයෙක් කියන්නේ එකිනෙකට පරස්පර ක්ෂේත‍්‍ර ත‍්‍රිත්වයක්?

ඔව්. මේවා යම් ප‍්‍රමාණයකට එකිනෙකට පරස්පරයි. හේතුව මේ විෂයන් තුන අභ්‍යාස වෙන්නේ තැන් තුනක නිසා. නමුත් හරියටම හොයලා බැලූවොත් මේ සියල්ලේම යම් සමානකම් තියෙනවා. මේවා එක එක විදිහට කරපු අය ඉන්නවා. උදාහරණයක් විදිහට රංබණ්ඩා සෙනෙවිරත්න කියන්නේ නීතිඥයෙක්. ඔහු තමයි ලියන්නේ ”දවසක් පැළ නැති හේනේ, ලදුනේ වගේ ගීත.” එතකොට නීතිඥවරයකුට ගීත රචකයෙක් වෙන්න කිසිම බාධාවක් නෑ. හොද ඉඩක් තියෙනවා. අනිත් අතට පේ‍්‍රමකීර්ති ද අල්විස් වගේ අය ගත්තාම ඔහු සන්නිවේදකයෙක්. ඒ වගේම හො`ද ගීත රචකයෙක්. එතකොට සන්නිවේදකයකුටත් හොද ගීත රචකයෙක් වෙන්න පුළුවන් කියලා අපේ කලින් පරම්පරාව පෙන්නලා දීලා තියෙනවා. ඉතින්  ඒ වගේ තැනකදී මං මේ අංශ තුනේම ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙනවා.

කලියුගයේ කුමාරයා පොත ගැන බොහෝ දෙනා කතාකරන්න ගත්තේ ” හිතින් යන අය” ගීතයත් එක්ක. අපි ඒ ගැනත් කතා කරමු?

ඔව්. ඒක ඇත්ත. මේ පොතට මං හිතින් යන අය ගීතය ඇතුළත් කළා.. පොත පළ කරපු දවසේ මගේ හිතවත් කලාකරුවෝ කීපදෙනකුටම මං ආරාධනා කළා. ඒ අතර සංඛ දිනෙත් හිටියා. සංඛ එක්ක මං වැඩ ගොඩක් කරලා තියෙනවා. සිංදුම නෙමෙයි. ඇත්තටම අපි හො`ද මිත‍්‍රයෝ. සංඛ පොත බලලා මට කිව්වා මේක කාටවත් දෙන්න එපා.

මට මේක  ඕනේ කියලා. මං හා කිව්වා. ඊට පස්සෙත් කීපදෙනෙක්ම මේක මගෙන් ඉල්ලූවා. ඒ වෙද්දී මං සංඛට මේක දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. ඊට ටික කාලෙකට පස්සේ  සංඛ මේ ගීතයට මෙලඩියක් දාලා  මට අහන්න දීලා කිව්වා මේකේ වචන ටිකක් තියෙනවා අපි ඒක වෙනස් කරගමු සිංදුවකට හරියන්න කියලා.  ඇත්තටම මං ලිව්වේ කවි.

ඒක සිංදුවකට පෙරළෙනකොට යම් වෙනස්කම් ටිකක් සිදුවුණා.පොතේ තියෙන එකම නෙමෙයි ඇත්තටම සිංදුවේ තියෙන්නේ. ටිකක් වෙනස්. කවියක් සිංදුවක් වෙද්දී පුංචි පුංචි වෙනස්කම් සිදුවෙනවනේ. ඇත්තටම ඒ සිංදුව ඉතාම ජනප‍්‍රිය වුණා. හේතුව වික්ටර් රත්නායකයන් මීට සම්බන්ධ වීමත් එක්ක. සහ ඒ සිංදුවේ  හිතින් යන අය කියන වචන ටිකත් එක්ක. ඉතින් ඒ සිංදුව නිසා ඇත්තටම ඔබ කිව්වා වගේ පොතට වැඩි කතාබහක් ආවා.

කලියුගයේ කුමාරයා කිසිම සම්මාන උළෙලකට ඉදිරිපත් නොකළ කෘතියක්. ඒ වගේම ඇතැම් ප‍්‍රකාශකයින් අතින් ප‍්‍රතික්ෂේප වුණ කෘතියක්. නමුත් කාව්‍ය විචාර සම්මානයවලදී මීට යම් යම් අගය කිරීම්, සම්මානයන් ලැබෙනවා?

අපේ රටේ තියෙන ඇත්තම තත්ත්වය තමයි කෙනෙක් යමක් මුල්වරට කරනකොට ඊට අතදෙන්න බොහෝ දෙනෙක් ලෑස්ති නෑ. මගේ දෙවනි පොත මුද්‍රණය කරනවා කිව්වොත් දැන්  ඕන තරම්  ප‍්‍රකාශකයෝ. හොයාගන්න පුළුවන්.

නමුත් මං මගේ පළවෙනි පොත කලියුගයේ කුමාරයා මුද්‍රණය කරන්න යනකොට මං මේක ලියලා ඉතාම ජනප‍්‍රිය ප‍්‍රකාශකයින් දෙන්නෙකුට දුන්නා. එක්කෙනෙක් කිසිම උත්තරයක් දුන්නේ නෑ. තව කෙනෙක් මට ලියුමක් එවලා තිබුණා  ඔබේ පොත මුද්‍රණයට තෝරගෙන නෑ කියලා. හැබැයි එවැනි ප‍්‍රතික්ෂේප කිරීමක් කරන්නේ හරයාත්මකව නෙමෙයි. මොකද මීට වියදමක් දරන්න එපැයිනේ. ඒ වියදම දරන්න ඔවුන් සූදානම් නෑ කියලයි කිව්වේ.

පසුව මං කල්පනා කළා. වැඬේ මගෙනෙ. මං මේ වැඬේ කරනවා කියලා. මට මීට උදව් කළා මගේ යාළුවෙක්. ඔහු චරිත් පතිරණ. පොත මුද්‍රණය කළත් මං මෙය සම්මාන උළෙලවල් සඳහා ඉදිරිපත් කරන්න තරග කරවන්න  වුවමනාවක් තිබුණේ නෑ. හේතුව මං ප‍්‍රකාශකයෙක් නෙමෙයි. මං ප‍්‍රකාශකයෙක් විදියට මේ පොත එළිදැක්කුවේ මට ප‍්‍රකාශකයෙක් නැති නිසා. පොත මුද්‍රණය කරලා මාස දෙක තුනක් යද්දී පොත් සියල්ලම ඉවර වුණා. මේ වෙනකොටත් ඇතැම් අය මේ පොත ඉල්ලනවා. නමුත් දෙවනි මුද්‍රණයක් තාම කරලා නෑ. ඉතින් මේ පොතට මෙහි අන්තර්ගතයට මිනිස්සු ආදරය කළා.  ඉතින් ප‍්‍රතික්ෂේප වීම් ගැන සතුටුයි. මම ප‍්‍රකාශකයෙක් නොවන නිසා සම්මාන උළෙලකට අයදුම් කරන්න  වුවමනාවක් තිබුණේ නෑ. එවැනි වටපිටාවක් හැදුනෙත් නෑ.

නමුත් ඇතැම් අවස්ථාවල පාඨකයා තරග කරන සම්මාන උළෙලවල් තියෙනවා. ඉතින් ඒකට මං සම්බන්ධ වෙන්නේ නෑ. පාඨකයා පොත කියවලා ඒ සම්බන්ධයෙන් ලියනවා. එහෙම සම්මාන උළෙලවල්වලදී මේ පොත ගැන ලියපු පාඨකයන් සම්මානයට පාත‍්‍ර වෙනවා. ඒ වගේ තැන්වලදී මට ආරාධනා ලැබිලා තියෙනවා. එය ඉතාම සතුටට කාරණාවක්. කිසිදු සම්මාන උළෙලකට ඉදිරිපත් නොකළ පොතක්, නිර්දේශ නොවූ පොතක් ගැන ලියපු පාඨකයෝ සම්මාන උළෙලවල්වල සම්මාන ලබනවා. මොකද පොතක් ලියන්න  ඕනේ පාඨකයා වෙනුවෙන්නේ. ඒ  කියන්නේ මං පාඨකයා වෙනුවෙන් මේ පොත ලියලා තියෙනවා.

බොහෝ අය මෙය හදුන්වා දෙන්නේ කතා කරන පොතක් විදිහට. මෙයින් සමාජයේ බහුතරය නියෝජනය කරනවා. ඒ වගේම සමාජයේ ඇතැම් දේ මේ හරහා විවේචනයට ලක් කරනවා නේද?

ඔව්. මට මතකයි. මේ පොත එළි දක්වපු වෙලාවේ  මේ පොත වෙනුවෙන් දේශනවලට ආපු ප‍්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනි  මහත්මා සහ ජයන්ත චන්ද්‍රසිරි මහත්මා මේ අදහස කිව්වා. ජයන්ත චන්ද්‍රසිරි මහතා එක තැනක කිව්වා සමාජය සම්බන්ධයෙන් හාස්‍ය හා විවේචනය එකට මුසු කරපු පොතක් මං කාලෙකට පස්සේ කියෙව්වා කියලා. ඒත් එක්කම ජැක්සන් ඇන්තනි මහතා කිව්වා  ඩිල්ෂාන් මේකෙන් මොකක් හරි ඇරියස් එකක් කවර් කරගෙන තියෙනවා කියලා.  ඒකෙන් තේරෙන්නේ මේ පොත ඇතුළේ විවේචනයක් තියෙනවා කියලා. ඔව්. සමාජ විවේචනයක් තියෙනවා.

මට ඇත්තටම ඒ විවේචනය කරන්න  ඕන වුණා. එක පුද්ගලිකව මම කරන විදිහට සහ මම නියෝජනය කරන්නේ මේ රටේ පොදු මහ ජනතාව. එතකොට අපිට දැනෙන පොදු දේවල් මං විවේචනය කරලා තියෙනවා. ඒක බහුතරයක් තේරුම් අරන් තියෙනවා. ගොඩක් අය මට කියනවා  අපිට හිතෙන දේම මෙහි තියෙනවා කියලා. එතකොට ඔබ කියන කාරණේ හරි   මේක ඇතුලේ විවේචනයක් ඇතැම් අයට චෝදනා කිරීම් දේශපාලනය ගොඩක් දේ තියෙනවා.

මේ පොත හරහා මං පෙන්නන්න උත්සාහ කළේ මට දැනෙන දේවල් සහ මට හැෙ`ගන දේවල්.  මේ කතාව පොතෙත් කියලා තියෙනවා. මේක මගේ කතාව කියලා. එතනම මට මතකයි පොත එළිදක්වද්දී ජැක්සන් මහතා ප‍්‍රශ්න කළා ඇයි මේක ඔබේ කතාව කියන්නේ. මේක අපේ කතාව කරන්න තිබුණා කියලයි. පණ්ඩිත වැඩක් කරලා කියලයි මට කිව්වේ. රටේ බහුතරයකට දැනෙන දේවල් මටත් දැනෙනවා. බහුතරයකට තියෙන ප‍්‍රශ්න ටික මටත් තියෙනවා.

ඒක තමයි සාමාන්‍ය මිනිහෙක්ගේ ලක්ෂණය. එතකොට මේ පොතේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් බහුතරයකගේ අදහස් තියෙනවා කියලා පිළිගන්න පුළුවන්.

කලියුගයේ කුමාරයා පොත හරහා සමාජයට ආවෙ හිතින් යන අය ගීතය විතරයි. එහිම වෙනස් ආරයක ගීතයක් නැවත රසිකයාට අහන්න ලැබේවිද?

ඔව්. කලියුගයේ කුමාරයා පොතේ තව නිර්මාණ දෙකක්ම දර්ශන රුවන් දිසානායක මේ වෙනකොට මෙලඩිත් දාලා ඉවරයි. නමුත් ගීත එළියට එන කාල වකවානුව ගැන මට අදහසක් නෑ. ඒවා ඇත්තටම පොත එළිදක්වන්නත් කලින් දර්ශන භාරගත් ගීත. හිරුට පිපෙන මල් , යශෝදරානුභාව දියණි කියන ගීත ඒ අතර තියෙනවා. හිරුට පිපෙන මල් ඔහුගේම හ`ඩින් ගැයෙන ගීතයක්.

නමුත් මං පුංචි ඉගියක් දෙන්නම්. ඉතාම කෙටි කාලයක් තුළ ටිකක් වෙනස් ආරෙක ගීතයක් එළියට එනවා. මෙහි තිබුණා ඉතාම ජනප‍්‍රිය ගීතයක් වස්කවිය කියලා. ඒ වස්කවිය ඉතාම ලස්සනට නිර්මාණය කළා සමන් ලෙනින්. මං හිතන්නේ සමන් සූදානමින් ඉන්නවා තව නොබෝ දිනකින්ම වස්කවිය සමාජගත කරන්න.

වස්කවිය පද්‍යයේ පද ගැළපිල්ල ඔබ හරි අපූරුවට කරලා තියෙනවා. පේ‍්‍රමය ගැන වෙනත් මානයකින් බලලා තියෙනවා නේද?

මං හිතන්නේ වස්කවිය සංඛේතාත්මකයි.  අද කාලේ නම් මගුල් තීන්දුවකට කපුවෙක් එනවා කියන එක මං විශ්වාස කරන්නේ නෑ. නමුත් වර්තමානයේ වුණත් අපිට පේ‍්‍රමය සම්බන්ධයෙන් ඇතිවන හැගීම්  ඊර්ෂ්‍යාව ද්වේශ පිරුණු අදහස් වර්තමාන උදාහරණ එක්ක ප‍්‍රකාශ කරනවාට වඩා අතීත උදාහරණ එක්ක ප‍්‍රකාශ කරන එක ලේසියි. එතකොට ඒක සමාජ ගතවන ප‍්‍රමාණය වැඩියි. මං හිතන්නේ මේ අදහස වස්කවියක් විදිහට කියපු නිසා තමයි බොහෝ දෙනා මේ ගැන කතාකරන්නේ.

මොනවාද ඉදිරි වැඩ කටයුතු?

මේ දවස්වල මම පරීක්ෂණයක් කරගෙන යනවා. ඒක කවි පොතක් නෙමෙයි. සමාජයේ යම් යම් විවාද ගත වුණ කරුණු  කිහිපයක් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයක්.  මං මෙය පොතක් විදිහට හදලා තියෙනවා. තාම පොතේ මුද්‍රණ කටයුතුවල ඉන්නේ. පොත ප‍්‍රකාශයට පත් කරන දිනයක් ගැන තාම තීරණය කරලා නෑ. මං හිතනවා මාස කිහිපයක් ඇතුළත කවි පොතක් නොවන වෙන පොතක් මගේ නමින් එළියට එයි කියලා.

චතුරිකා ජයසුන්දර