අවසන් සටනේදී මරුමුවට පත්වු බවට ප්‍රචාරය වු දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් ‍පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ මේ වනවිටත් සැඟවී සිටින බව විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පසුගිය සිකුරාදා රිවිර ඉරිදා සංග්‍රහයට විශේෂ හෙළිදරව්වක් කරමින් පැවසීය.

මඩකළපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි ‍පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළි පිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව කරුණා අම්මාන් එම හෙළිදරව්ව කරමින් සඳහන් කළේය.

‍පොට්ටු අම්මාන් ඉතා රහසිගත අයුරින් නෝර්වේ රාජ්‍යයේ සැඟවී සිටිනවා. ඒ විතරක් නමෛයි පසුගිය යහපාලන ආණ්ඩුව රටේ ආරක්ෂක බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. හමුදාව හෑල්ලුවට ගත්තා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ඒ නිසා එල්.ටී.ටී.ඊ ය යළි නැගිටීම සිදුවෙනවා නම් අහන්නත් දෙයක්ද ? එල්.ටී.ටී.ඊ.ය මේ රටින් තුරන් කරන්න මමත් දායක වුණා යැයි කරුණා අම්මාන් පැවැසීය.

ෂම්මුගලිංගම් ශිවසංකර් නොහොත් කොටි බුද්ධි අංශ මහ මොළකරුව සිටි  ‍පොට්ටු අම්මාන් 2009 මැයි 18 වැනිදා අවසන් සටනේදී පුදිකුඩිඉරිප්පු නන්දිකඩාල් ප්‍රදේශයේදීම මරුමුවට පත්වු බව කියැවිණි.

නමුත් ඔහු මරුමුවට පත් වූ බවට සාක්ෂියක් වශයෙන් මළ සිරුර හමු නොවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ දිගුවෙමින් පවතින නොවිසඳුණු පැනයක් පවතියි.

කරුණා අම්මාන් රිවිර ඉරිදා සංග්‍රහය ඔස්සේ කරන මෙම ආන්දෝලාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා බැලීම වටින්නේ කලක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ ප්‍රධානියා වූ කරුණා අම්මාන් කොටි සංවිධානයේ නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර පවා හඳුනා ගත් පුද්ගලයා නිසාය.

‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙයට පෙර විවිධ වාර්තා පළ වුවද එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු විසින්ම ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙසේ හෙළිදරව් කරනු ලබන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ ය යළි පිබිදීමට උත්සාහ කළ අවස්ථා හතරක් පමණ වාර්තා වු අතර එම සියලු මෙහෙයුම් විදෙස් රටවල්වල සිට නොකඩවා මෙහෙයවා තිබූ බව ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.

රමේෂ් වරල්ලෙගම

SHARE

1 COMMENT

  1. මේක නම් බොරුවක් කියලා හොඳටම පැහැදිලියි. පොට්ටු අම්මාන් ඉන්නවා නම් ඒ දවස්වලම මහින්දට කියන්න තිබුනනේ. මේ කතාව කියන්නේ දැන් පොලිසියේ නිලධාරීන් දෙන්න මරපු වැඩේට අහු වෙච්ච හින්දා. මෙච්චර කාලෙකට පස්සේ 2009 ඉඳන් මෙහෙම වර්ගයේ අමානුෂික මිනීමැරුම් වුනේ නැහැ පොලිසියේ හෝ හමුදා නිලධාරීන්ට. මේක වුනේ කරුණ අම්මාන් තමන් 2004 ට ඉස්සෙල්ල කවුද කියලා මතක තියා ගනිල්ලා කියලා සිංහලයන්ට තර්ජනය කරාට පස්සේ. කොයි පක්ෂේද කාටද තර්ජනය කලේ කියන එක වැදගත් නැහැ. මේ තර්ජනය මුළු රටටම. එහෙම කියලා දවස් දෙකෙන් සිංහල පොලිස් නිලධාරීන් දෙන්නෙක් මැරුව. එක්කෙනෙක්ගේ අත් බැඳලා. අනිත් පොලිස් නිලධාරියාගේ අතක් කපල. මේ වගේ මිනීමැරුම් වලට කරුණ අම්මාන්ට ඉතිහාසයක් තියෙනව. විශේෂයෙන් පොලිස් නිලධාරීන්ව. ඒ වගේම නැගෙනහිර.

LEAVE A REPLY

Previous articleදේශීය නිෂ්පාදකයින් නංවන්න අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්
Next articleශ්‍රීලනිප සංවිධායක පුටු මාරුවක් ළඟ එයි