යුද ගිනි මැදින් ත්‍රස්ත භීතියෙන් පැතිර ගිය කලාපයක් වූ නැගෙනහිර යුද්ධය නිමා වී වසර නවයකට පසු යළිත් භීතියක් ගෙන දුන්නේ මෙම සතියේදීය.

නැගෙනහිර ස්ථාන රැසකදී ‍පොලිස් නිලධාරීන් හයසිය ගණනක් එක රොත්තට මරා දැමූ ඉතිහාසයක් කොටි ත්‍රස්තවාදයට ඇත්තේය. ඒ 1990 වසරේදීය.

එවන් යුද ගිනි නිමා දමා රටට යළි සාමය උදාවී වසර නවයක් යද්දී ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අමානුෂික ලෙස මරා දමා තිබියදී හමුවන්නේ ඉකුත් සිකුරාදා (30) උදෑසනය.

මෙය වාර්තා වන්නේ මඩකලපුව වවුනතිව් මාර්ගයේ වව්නතිව් ‍පොලිස් ස්ථානයට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි වව්නතිව් මාර්ග බාධකය තුළින්ය.

කලින් දින (29) රාත්‍රියේම නැගෙනහිර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කපිල ජයසේකර මහතාගේ නියෝග මත ක්‍රියාත්මක ‍පොලිස් මෙහෙයුම් සඳහා වව්නතිව් ‍පොලිසියේ සිටි නිලධාරීන් සිව්දෙනකු වව්නතිව් මාර්ග බාධකයට පැමිණියහ.

‍පොලිස් කොස්තාපල්වරුන් වන ගනේෂ් දිනේෂ් (8624), ඉන්දික ප්‍රසන්න (82162), ශාන්ත (51637), දර්ශන් (73630) මෙම රාජකාරි සඳහා පැමිණෙන්නේ වව්නතිව් මාර්ග බාධකය පැය විසිහතරම ආවරණය වන පරිදි දිවා රාත්‍රී පවත්වාගෙන යන එකක් නිසාය.

ඊළාම් යුද සමයේ නැගෙනහිර පළාතේ කොටි පාලනයට නතුව තිබූ ප්‍රදේශවලට යාමට පෙර පැවැති අවසන් මාර්ග බාධකයද වූයේ වව්නතිව්ය.

මෙදින (29) රාත්‍රී 10.00 සිට පසුදින (30) අලුයම 1.00 දක්වා රාත්‍රී මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර ශාන්ත හා දර්ශන් නමැති කොස්තාපල්වරුන් දෙදෙනා රාජකාරි අවසන් කර විවේක ගැනීම සඳහා වව්නතිව් ‍පොලිසියට ගියහ.
සැරයන් බණ්ඩාර රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදෙමින් රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් පරීක්ෂා කරන්නට වූහ. එයින් පැයකට පසුව ශාන්ත හා දර්ශන් රාත්‍රී මුරය අවසන් කර ගිය අතර ඉන්දික හා ගනේෂ් අලුයම දක්වා රාජකාරියේ නිරත වූහ.

මෙම දෙදෙනා අබිරහස් ලෙස ඝාතනය වන්නේ ඉන්පසුවය. ඝාතකයන් විසින් දිනේෂ්ගේ දෑත් පිටුපසට තබා කොහු ලණුවකින් බැඳ නළල මැදට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණේය. කල්මුණේ, පෙරිය නීලවනී පදිංචි ගනේෂ් දිනේෂ් (25) ද්‍රවිඩ ජාතික ‍පොලිස් නිලධාරියකු විය. ඝාතනය සිදුවන මොහොත වන විට දිනේෂ් වව්නතිව් මුර‍පොළේ රාජකාරියේ යෙදී සිටියේය. ඒ වන විට ඉන්දික ප්‍රසන්න මාර්ග බාධකය තුළ විවේකීව නින්දේ පසුවී සිටියේය. ප්‍රසන්න (82162) දෑතෙහි බෙල්ලෙහි මෙන්ම පපුවේද කැපුම් තුවාල සහිතව හිසට වෙඩි තබා ඝාතනය කර තිබුණේය. ප්‍රසන්න, ගාල්ල, බද්දේගෙදර, උඩුගම පදිංචි ‍පොලිස් කොස්තාපල්වරයකු විය.

මේ අයුරෙන් අබිරහස් ලෙස ඝාතනය වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබූ 641042 හා 639927 අංක දරන රිවෝල්වර දෙක හා උණ්ඩ දහයක්ද රැගෙන ගොස් තිබුණේය.

මෙම දෙදෙනා අබිරහස් ලෙස ඝාතනය වී ඇතැයි තහවුරු වන්නේ දිවා රාජකාරි සඳහා ‍පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටි ‍පොලිස් කොස්තාපල් මනෝහරන් (62068) මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකු මාර්ග බාධකය අසල වැටී සිටිනා අයුරු දැක එහි ගොස් වව්නතිව් ‍පොලිසියට දැනුම්දීමත් සමග ‍පොලිස් කණ්ඩායම් එහි පැමිණියහ. ඒ උදෑසන 6.00ට පමණය.

කොස්තාපල් මනෝහරන් දකින මොහොත වනවිටත්  ගනේෂ් හා ප්‍රසන්න  ඝාතනයට ලක්ව හමාරය.  මේ අනුව අලුයම 1.00ට අනෙක් නිලධාරීන් කැඳවා ගිය පසුව මොවුන්ව ඝාතනයට ලක්ව ඇත්තේය.

ඝාතනය සැලවීමත් සමග විශේෂ ‍පොලිස් කණ්ඩායම් මෙහි පැමිණි අතර ‍පොලිස්පති පූජිත ජයසුන්දර සමග රහස් ‍පොලිස් කණ්ඩායමක්ද මඩකලපුවට පැමිණියහ.

මේ වනවිට ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන හා අනෙකුත් බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන ඇරඹී ඇත්තේය.

මෙම ඝාතනය එල්.ටී.ටී.ඊ. මහා විරු දිනය සැලසුම් කළ පරිදි සමරන්නට වව්නතිව් ‍පොලිසියෙන් ඉඩක් නොලද නිසා එකට එක පළිගැනීමක් සේ කළ බවට විමර්ශන කණ්ඩායම් තහවුරු කරන්නේය.

කොටි නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදුණු දා (නොවැම්බර් 27) ඉලක්ක කරගෙන වන්නියේ මෙන්ම නැගෙනහිර කොටි සැමරුම් සංවිධානය කර තිබුණේද හිටපු කොටි ත්‍රස්තයන්මය.

පසුගිය වසරවල මෙන් වව්නතිව් ප්‍රදේශයේ එවැනි සැමරුම් කරන්නට ඉඩ නොලැබුණෙන් ‍පොලිසිය සමග දැඩි කෝපයෙන් සංවිධායකයන් කටයුතු කරන්න වූහ.

වව්නතිව් තාන්ඩිඅඩි හන්දියේ මහවිරු සැමරුම් සංවිධානය කර තිබුණේ දේශක්ති වේරගල් සංවිධානය මැදිහත්වීමෙනි. මුල් බැසගත් ජාතිය යන්න මෙම සංවිධානයේ නමෙහි තේරුමය.  වව්නතිව් හි උත්සවය සංවිධානය කළ රාජ කුමාර් කන්දසාමි නොහොත් අජන්තන් කොටින්ගේ බුද්ධි අංශයේ සිටි ජයන්තන් බළකායට අයත් ප්‍රබලයෙකි. 1991 පටන් කොටි සංවිධානයේ සිටි අජන්තන් ඊලාම් යුද්ධය අවසන් වූ පසුව වසරක කාලයක් පුනරුත්ථාපනය වී කාර්තිව් කන්නන්කුඩා පදිංචිව සිට ඇත.

අජන්තන් පුනරුත්ථාපනය වූ කොටි ත්‍රස්තයින්ගෙන් සමන්විත දෙමළ නිදහස් කොටි පක්ෂයේ මඩකලපු සංවිධායක ජිනේෂ් නඩරාසා සමග වව්නතිව්හි මහවිරු සැමරුම් උත්සවය සංවිධානය කර තීබි ඇත. කොක්කඩිචෝ‍ලේ  මාවධිමුම්මාරි කොටි සුසාන භූමියේත්, වාලච්ච්ෙන, තරවී කොටි සුසාන භූමියේත්, වාකරේ, කන්දල්අඩි ස්මාරකය අසලත්, වෙල්ලාවලී හංදියේත්, වන්දාරමුල්ල විශ්වවිද්‍යාලයේත්, කාත්තන්කුඩි සංගීත විද්‍යාලයේත් කොටි මහා විරු සැමරුම් සංවිධානය වන්නේ මඩකලපු දිස්ත්‍රික් සංවිධායක නඩරාසා ජිනේෂ්ගේ නායකත්වයෙනි.

වව්නතිව් තාන්ඩිඅඩි හංදියේ කොටි විරු සැමරුමට ඉදිකළ හට් ගලවා ඉවත් කරන ලෙසත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන  ලෙසත් වව්නතිව් ‍පොලිසිය දන්වා තිබුණත් සංවිධායකයන් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. නොවැම්බර් 27 දා අලුයම හයට පමණ රාත්‍රී ජංගම සංචාරයේ ගිය නිලධාරීන් මෙම නියෝග සංවිධායකයින් පිළිනොගැනීම නිසා ඒවා කඩා බිඳ දමන්නට කටයුතු කළහ. මෙම ‍පොලිස් ක්‍රියාව තාන්ඩිඅඩි හන්දියේ හෝටලයක ඇති සී.සී.ටී.වී. කැමරා මගින් බලමින් මහවිරු සැමරුම් සංවිධානය කළ හිටපු කොටි ත්‍රස්තයන් ‍පොලිස් නිලධාරීන් මෙය කඩා දැමූ බව තහවුරු කරගෙන තිබුණි. එය ‍පොලිසියට විරෝධය පළ කරමින් ඔවුන් මහවීර සැමරුම කරගෙන ගියේය.

මෙම කොටි සැමරුම සඳහා කිලිනොච්චි වට්ටකච්චි සිට වන්නි කොටි ප්‍රබලයකු වන ඉමයන් හෙවත් සරවානන්දන්ව මඩකලපුවට ගෙන්වා ගෙන ඇත්තේද අජන්තන්ය. නොවැම්බර් 25දාම ඉමයන් වව්නතිව්වලට පැමිණ ඇත්තේය.
කොටි ඩයස්‍පෝරාව ලබා දුන් මුදලින් මහවිරු දිනය ඉලක්ක කරගෙන වාකරේ ප්‍රදේශයේ මහවැසි නිසා අවතැන්වූවන්ට වියළි සලාක පාර්සල් බෙදාහැරීමට පැමිණ ඇත්තේ ඉමයන්ය. නොවැම්බර් 29දා සවස ඉමයන් විසින් ගනේෂන් ප්‍රභාකරන් නමැති කොටි සංවිධානයේ හිටපු ප්‍රභලයකුගේ නිවසේ නවාතැන් ගත්තේය. ඒ මඩකලපුව අම්බාල් ‍ලේන්හි අංක 14 දරන ප්‍රභාකරන්ගේ නිවසේය. ප්‍රභාකරන් පුනරුත්ථානය නොවූ කොටි ත්‍රස්තයකු වන අතර දේශශක්ති වේරගල් සංවිධානයේ සභාපතිය. මොහු ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමැති හිටපු කොටින්ගේ පක්ෂයේ හිටපු සභාපතිද වූයේය.

‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය වන්නේ ඉමයන් නමැත්තා ප්‍රභාකරන්ගේ නිවසට පැමිණි දිනයේ මධ්‍යම රාත්‍රියේදීය. සිකුරාදා (30) මෙම ඝාතනයෙන් පසු ඉමයන් හා ප්‍රභාකරන් අතුරුදන් වූ අතර සිකුරාදා (30) රාත්‍රිය වන විට අජන්තන් ‍පොලිස් අත්අඩංගුවට පත් වූයේය.

වව්නතිව් කොටි මහවිරු සැමරුම් සැරසිලි කඩා දැමීමේ සිද්ධියට ‍පොලිසියෙන් පලි ගන්නට හිටපු කොටි ත්‍රස්තයන් මෙම ඝාතනය සිදු කළ බව දැනට ඇති සැකයයි. මෙම විමර්ශන සමග යළි නැගිටින්නට වෙරදරන කොටින්ගේ සියලු රහස් මෙන්ම ඝාතන අබිරහස්ද හෙළි කර ගැනීමට දැන්වත් බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත.

කොටි සංවිධානය යළි හිස ඔසවන්නට වෙර දරන බව හමුදා බුද්ධි අංශ වසරක් තිස්සේ ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර තිබුණි. පුදුකුඩිඉරිප්පු කේන්ද්‍ර කරගෙන හිස ඔසවන්නට යන කොටි කණ්ඩායම් පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ නැගෙනහිරට හා අනෙකුත් ප්‍රදේශවලට රැගෙන යන බවද බුද්ධි අංශ එහිදී අනතුරු හඟවා තිබුණි. ජනපති මෛත්‍රීපාල සිරිසේන අගමැති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නැගෙනහිර හිටපු කොටි නායක කරුණාඅම්මාන් ඇතුළු ප්‍රභූ ඉලක්ක ගැනීමට ස්නයිපර් අවි දෙකක් වන්නියේ කුමාන්කුලම් සිට ගොඩගෙන නැගෙනහිරට එවූ බවද හමුදා බුද්ධි අංශ කොළඹට වාර්තා කර තිබුණි.

රටේ අවාසනාවකට මෙන් කොටි යළි නැගිටින බව පිළිගැනීමට යහපාලන රජය සූදානම් වූයේ නැත. මෙම විමර්ශන භාර දුන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජය ‍පොලිස්පති නාලක සිල්වාත් මෙම විමර්ශන යට ගැසුවේ ජාතික ආරක්ෂාව ගැනවත් නොතකාය. මෙම හමුදා බුද්ධි මෙහෙයුම පාවාදී යළි නැගිටින කොටි ත්‍රස්ත කණ්ඩායම්වලට රටින් පැන ගන්නට ඉඩ සලසා දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පාවාදීම් නිසාය. අවසානයේ ඔඩ්ඩුසුඩාන් කැලයේදී ඉකුත් ජුනි 22දා ක්‍ලේමෝ බෝම්බ, අවි ආයුධ ඊළාම් කොඩි සමග කොටි ත්‍රස්තයන් ගමන් කළ ත්‍රිරෝද රථයක් අල්ලා ගත්තේ කොටි නැගිටින බව තහවුරු කරමිනි. ඒ සියල්ල තවමත් යටපත් කර ඇති වකවානුවක යළිත් මෙම ඝාතන දෙක සිදුවිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Untitled-16