යහපාලන ආණ්ඩුව දෙදරා යමින් දේශපාලන පෙරළියක් අපේ රටේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිදුවීමට බලපෑවේ යැයි සඳහන් ප්‍රබල එක්  සාධකයක් බවට පත්ව ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එළියට ඒමය. එම කුමන්ත්‍රණය ගැන රටට තියන්නේ දූෂණ විරෝධි බළකාය නම් වූ සංවිධානයක මෙහෙයුම් අධ්‍යක්ෂ බව සඳහන් නාමල් කුමාරය.

නාමල් හෙළිකර සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව සිටි නියෝජ්‍ය ‍පොලිස්පති නාලකද සිල්වා මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් රඟදැක්වූ බවය. එය සනාථ කරන්නට ඔහු දුරකථන සංවාද හඬපට රැසක්ද එළියට දැමුවේය.

රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් එකී ඝාතන කුමන්ත්‍රණ කතාවේ එක් කොනක එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන්ගේත් එවකට හිටපු ඇමැතිවරයෙක් වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේත් සම්බන්ධකම් ඇතැයි ද නාමල් කුමාර විටෙන් විට පවසන්නට විය. ඒ අතර ‍පොලිස්පතිවරයා ගැනද කියැවෙන්නට වූයේ මේ කුමන්ත්‍රණය ‍පොලිස්පතිවරයා පවා දැන සිටි බව නොකියා කියමිනි. ‍පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතක් පුරාවට ඉකුත් සතියේ ප්‍රශ්න කරන්නේ ඒ ගැනය. ඒ අපරාධමය චෝදනාවක් සමබන්ධයෙන් ‍පොලිස්පතිවරයෙක් සේවයේ සිටියදීම ‍පොලිසියේ ප්‍රශ්ණ කිරීමකට ලක්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

‍පොලිස්පතිවරයාගෙන් මූලික වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරන්නේ නාමල් කුමාර සහ ඔහු අතර ඇති සම්බන්ධය ගැනය. එවන් ප්‍රශ්න කිරීමකට ‍පොලිස්පතිවරයා ලක්වන්නේ නාමල් කුමාරව තමන්ට හඳුන්වා දුන්නේ ‍පොලිස්පති පූජිත් ජයසුන්දර බව නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බැවිනි.

නාමල්ව මම දැන හඳුනාගෙන හිටිය අයෙක් නමෛයි. දවසක් ඔහු මාව හම්බවෙන්න ඇවිත් රෝහින්‍යා මුස්ලිම්වරු සහ ත්‍රස්තවාදී කටයුතු ගැන තොරතුරු වගයක් කිව්වා. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන විශේෂඥයින් ඉන්නේ ත්‍රස්ත විමර්ශන  කොට්ඨාසයේ නිසා මම ඩී.අයි.ජී. නාලක ද සිල්වාට කතා කරල ඔහුව භාර කළා. ඔහු ලබාදෙන තොරතුරු ගැන සොයා බලන්න කියල. එහෙම නැතිව මම කාවවත් මරන්න කියල ඒ අයට කිව්වේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ‍පොලිස්පතිවරයා ඔහුගේ පැත්තෙන් කරුණු දක්වන්නට වූයේ එසේය.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර එහිදී දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක්වන්නට වූයේ නාමල් කුමාර, නාලක ද සිල්වා සහ ‍පොලිස්පති අතර ඇති සම්බන්ධය ගොඩනැගෙන ආකාරය ගැනය. දිගන සහ තෙල්දෙණියේ ඇතිවුණු කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට නාමල් කුමාර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තොරතුරු ලබාදුන් බවද කියැවී තිබුණු බැවින්  ඒ ගැනද ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතක නොකළේය.

ඩී.අයි.ජී නාලක සිල්වා මට කිව්වා මහසොහොන් බළකායේ අමිත වීරසිංහ ඇතුළු කට්ටිය අත්අඩංගුවට ගත්තේ නාමල්ගේ උදව්වෙන් කියල. ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ පහක මුදලක් තෑගි වශයෙන් දෙන්න ඉල්ලීමක්ද නාලක ද සිල්වා මට කළා. ඊට අදාළ ‍ලේඛන මට ලැබුණම ඒකට අනුමැතිය දුන්න. ලක්ෂ දෙකහාමාරේ චෙක් දෙකක් මම  නාලකට දුන්න. ඒ ගැන පූජිත් ජයසුන්දර පවසන්නට වූයේ එවැනි කතාවකි.

එහෙත් නාලක ද සිල්වා තමන්ට ලැබිමට තිබුණු මුදල් වංචා කළ බවට චෝදනාවක් ඒත් එකක්ම නාමල්ගේ පාර්ශවයෙන් එල්ලවන්නට විය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් දැන් අනාවරණය වී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ ලක්ෂ පහේ චෙක්පත් දෙක නාලක සිල්වා විසින් ඔහුට අයත් රාජ්‍ය බැංකුවක ගිණුමට බැරකර එය මාරුකර ඇති බවය. එම මුදල නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා විසින් නාමල්ට භාරදී ඇතැයිද අනාවරණය වී ඇත.

ඔය සල්ලි ප්‍රශ්නෙ ආපු වෙලාවේ මම නාමල්ට කෝල් කරල ඇහුවා සල්ලි හම්බවුණාද කියල. නාමල් මට කිව්වා ඔව් සර් සල්ලි හම්බවුණා කියල. මම ඇහුවා ලක්ෂ පහක්ද හම්බවුණේ කියල. ඔව් කිව්වා. ‍පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එම මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් පවසා ඇත්තේ එසේය.

‍පොලිස්පතිවරයාගේ එම දුරකථන ඇමැතුම පවා නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබි ඇත. ඒ අනුව නාලකට ලක්ෂ පහක මුදලක් ‍පොලිසියට ඔත්තු සැපයීම වෙනුවෙන් ලැබි ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන හමාරය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ නාලක කුමාර කියන සෑම කරුණක්ම සත්‍ය නොවන බවය. ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු ඇති බවද පෙනී ගොස් තිබේ. ඝාතන කුමන්ත්‍රණයක් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමුවූ කරුණක් වන්නේ ‍පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යුද්ධයක් නොමැති වකවානුවක එල්.එම්.ජී වර්ගයේ ගිනි අවි දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාගැනීමය. එම අවි දෙක ඇතුළු අවි කිහිපයක් කිසිදු සටහනක් නොතබමින්  ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට රැළිය පැමිණෙන විට ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ගොඩනැගිල්ලක රැගෙන ගොස් ස්ථානගත කර තිබි ඇත. ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා පවසා ඇත්තේ ‍පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝගයකින් එම අවි සමග නිලධාරීන් ස්ථානගත කර සිටි බවය. ජනබලය කොළඹට පැමිණෙන විට යම් කලහාකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය මැඬලීමට එම අවි සමග නිලධාරීන් ස්ථාන ගත කළ බවද නාලක ද සිල්වා පවසා තිබිණි.

එහෙත් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් එවැනි නියෝගයක් නාලක ද සිල්වාට ලබා නොදුන් බවය. ජනබලය කොළඹට පැමිණි දින ‍පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවන ලද්දේ නිරායුධව බවත් කිසිදු නිලධාරියකුට අවි රැගෙන රාජකාරියට නොයන ලෙස පැහැදිලිවම නියෝගයක් තමන් ලබාදුන් බවත් ‍පොලිස්පතිවරයා පවසා ඇත්තේය. ‍පොලිස්පතිවරයාගේ ඒ ප්‍රකාශය මේ වන විට එදින ආරක්ෂාව භාරව සිටි ‍පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් සහ බස්නාහාර පළාත් භාර ‍පොලිස් ප්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ යන නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවා මේ වන විට තහවුරු වී හමාරය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා ගැටලුවක් පැන නැගී ඇත්තේ නාලක ද සිල්වා එසේ අවි සමග නිලධාරීන් පිරිසක් ඩාලි පාරේ රඳවා තැබුවේ ඇයිදැයි කියාය.

නාලක සිල්වාට මේ වන විට ඇත්තේ සුළුපටු චෝදනා නොව. දේශපාලනඥයන්ගේත් මාධ්‍යවේදීන්ගේත් ‍පොලිස් ප්‍රධානීන්ගේත් දුරකථන ටැප් කළ බවට චෝදනාද ගොන්නකි. නුගේගොඩ එපිටමුල්ල පාරේ පිහිටි ආරක්ෂක නිවස්නයේ ඇති දුරකථන ටැප් කිරීමේ පහසුකම් යොදා ගනිමින් ඔහු එසේ ක්‍රියා කළේය. ඔහු සියල්ලක්ම කරනු ලැබුවේ ‍පොලිස්පතිවරයාගේ බලතල යොදාගෙනය. ‍පොලිස්පතිවරයා නම් කියන්නේ තමන් ඒ කිසි දෙයක් නොදන්නා බවය. තමන් කිසිදිනක එවන් වැරදි ක්‍රියාකරන ලෙස නාලක සිල්වාට නියෝග නොදුන් බවද ඔහු පවසන්නේය.
එය එසේ වූවත් නාලක ද සිල්වා ‍පොලිස්පතිවරයා විසින් කීවේ යැයි සඳහන් කරමින් කළ තවත් බොහෝ නීතිවිරෝධී ක්‍රියා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වාගෙන් ප්‍රශ්ක කරන විට පවා ඔහු පවසා ඇත්තේ ‍පොලිස්පතිවරයාගේ උපදෙසින් තමන් ඒ සියල්ල කළ බවය. එබැවින් ඒ දේවල් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටින්නේ සූදානමකිනි. ඒ දවසක් දෙකක් නොව, තවස් හතර පහක්වත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සිදුවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ