කොටහේන ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනකු  අතුරුදන් කරන ලදැයි කියන සිද්ධියේ සැකකරුවකුවන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට හිටපු නාවික හමුදාපති අරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න  මහතාට එරෙහිව පිළිගත හැකි සාක්ෂි ඇත්නම් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉකුත් අගෝස්තු 29 වැනිදා රහස් ‍පොලිසියට නියම කළාය.

අපරාධකරුවකු අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා ඔහුට ආධාර අනුබල දීම, අපරාධකරුවකුට නවාතැන් දීම, රජයේ සේවකයකුට අසත්‍ය තොරතුරු සැපයීම, නිල කටයුත්තක යෙදී සිටි රාජ්‍ය නිලධාරියකුට බාධා කිරීම සම්බන්ධයෙන් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව රහස් ‍පොලිසියේ ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා අතර කාල සීමාව තුළදී රජීව් නාගනාදන්, ප්‍රදීප් විපරවනාදන්, කේ.ආර්. ජෝර්ච්, මොහොමඩ් සජිත්, අමනන් ලියොන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන්, මොහොමඩ් අලි අන්වර්, තිලකේස්වරන් රාමලිංගම් ඇතුළු 11 දෙනකු අතුරුදන් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රහස්‍පොලිසිය පරීක්ෂණ පවත්වනු ලැබිය.

මෙම සිද්ධියේ සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති අය අත්අඩංගුවට  ගැනීමට කටයුතු කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා නාවික හමුදා මූලස්ථානය තුළ රැඳී  සිටීමට ඔහුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අවස්ථාව ලබාදී ඇති බව තොරතුරු හෙළිවී ඇතැයි රහස් ‍පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකාර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අවසන් වරට නාවික හමුදා මූලස්ථානයේ නවාතැන් ගෙන සිටින විට ඔහුගේ කාමරය ආසන්නයේ නවාතැන් ගෙන සිටි නාවික හමුදා නිලධාරියකුගේ ප්‍රකාශයක් මගින් මේ බව තහවුරුවී ඇතැයි ද රහස් ‍පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකාර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති අයට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  එහෙ මෙහෙ ගිහිල්ලා රහස් ‍පොලිසියේ නිලධාරීන්ට අහුවෙලා මාව හොයාගෙන නොඑන ලෙසට උපදෙස් දී අතැයි ද අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට  ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණ ද, ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් ‍පොලිසියට මාස 02 කට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවූයේ, සැකකරු මේ රටේ ආරක්ෂක අංශයේ ඉහළම නිලධාරියා වූ නිසාද කියා අප දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් රහස් ‍පොලිසිය වෙත කටඋත්තරයක් ලබාදෙන ලෙස අධිකරණය අවස්ථා කිහිපයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙත නියෝග කර තිබුණි. නමුත් ඔහු රහස් ‍පොලිසිය වෙත පැමිණීම දිගින් දිගටම කඩ කළේය. නමුත් ඉකුත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විජේගුණරත්න මහතා සිය නීතිඥ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් අධිකරණයට භාර විය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රහස් ‍පොලිසියේ සහකාර ‍පොලිස් අධිකාරී බි.එස්. තිසේරා  මහතා දන්වා සිටියේ සිද්ධියට අදාළව

කට උත්තරයක් ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට දැනුම් දුන්නද ඔහු රහස් ‍පොලිසිය වෙත දිගින් දිගටම නොපැමිණි බවත්ය.

මෙහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා රහස් ‍පොලිසියට  දක්වා සිටියේ එන්න කියලා ආවේ නැත්නම් ගිහිල්ලා අත්අඩංගුවට ගන්නනේ තිබුණේ යනුවෙනි.

මෙහිදී අධිකරණය හමුවේ සිය නිල ඇඳුමින් සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විජේගුණරත්න මහතාට විත්ති කූඩුවට ගොඩවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය. එහිදී මෙහි පළමුවන සැකකරු වන ලක්සිරි අමරසිංහ නමැති අය පසෙකට තල්ලුකර  දැමූ විජේගුණරත්න මහතා, විත්ති කූඩුවේ ඉදිරියට පැමිණියේය. විත්ති කූඩුවේ තමන්ට හිමි තැන රැඳී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා ආරක්ෂක මාණ්ඩලික  ප්‍රධානියට නියෝග කළේය.

මෙම සැකකරු කුමන ඇඳුමකින් සැරසී සිටියත් තමන්ට එය ගැටලුවක් නොවන බවත්, අධිකරණයකට පැමිණීමේදී ඇඳිය යුත්තේ කුමන ඇඳුම්ද යන්න සම්බන්ධයෙන් ඔහු දැන සිටිය යුතු බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා ඕනෑම පුද්ගලයකු රටේ නීතියට ගරු කළ යුතු බව පෙන්වා දුන්නේය.  අධිකරණය ටික වේලාවකට කල් තැබිමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, අධිකරණය වෙත නැවත පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසීගෙනය.

නඩුව මොහොතකට කල් තැබිමෙන් අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයෙන් පිටතට යන අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල වී අතැයි ද රහස් ‍පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය. මෙවැනි හැසිරීම් නිසා සැකකරුට ඇප ලබා දුනහොත් ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධා ඇති විය හැකි බව රහස්‍පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 05 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

බන්ධනාගාර ගත කෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, ආරක්ෂක හේතූන් මත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට  වැලිකඩ බන්ධනාගාරය වෙත යැවීමට බන්ධනාගාරය පියවර ගෙන තිබුණි.

රිමාන්ඩ් භාරයේ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සැපදුක් විමසා බැලීම සඳහා  අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඉකුත් 29 වැනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබුණි.

ඉෂාර රත්නකාර
ඡුායාරූපය – සජීව චින්තක කහඳගමගේ