ඕනෑම ක්‍රීඩාවකදී බොහෝ විට ජය පාරාජය තීරණය වන්නේ අදාළ තරගයේදී කණ්ඩායමක් හෝ කේවල තරගයක් නම ඊට සහභාගිවන ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කරන කුසලාතාවන් හි අඩුවැඩිවීම් අනුවය යන්න සාමාන්‍ය පිළිගැනීමය.

එහෙත් ඉඳහිට හෝ එවන් තරගයකදී විනිසුරුවරුන්ගේ පක්ෂග්‍රාහී තීරණ බලපෑ අවස්ථා ද නැතුවා නොවන බවද සඳහන් කළ යුතුය.

කෙසේ වුවත් පසුගියදා ශ්‍රී ලකාව හා එංගලන්තය අතර පවත්වන ලද තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රදර්ශනය කළ දස්කම්වල අඩුවකටත් වඩා ඔවුන් අතින් සිදුවූ අතපසුවීම් කිහිපයක් බව වැඩි දෙනකුගේ අදහස විය හැකිය.

එහිදී ඒ සඳහා එම තරගයේ දෙවන ඉනිමේදී කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට ගොදුරුවීම, නිරෝෂන් දික්වැල්ල හා දිමුත් කරුණාරත්න අතින් පහසු උඩපන්දු දෙකක් ගිලිහී යාම, මෙන්ම බෙන් ස්ටෝක් ලකුණු 22 දී හා 32 දී උඩපන්දු ලබාදී දැවී ගියද එම අවස්ථා දෙකේදීම පන්දු  යැවූ ලක්ෂාන් සඳකැන් සීමාව ඉක්මවමින් නීති විරෝධී පන්දු යැවූ බවට තෙවැනි විනිසුරු පෙන්වා දීම අදාළ අතපසුවීම් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත.

එනමුදු එම කාරණාවන්ටත් වඩා ශ්‍රී ලංකා පි‍ලේ පරාජයට බෙහෙවින්ම  බලපාන ලද්දේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දෙන ලද නව තාක්ෂණය නිසි ලෙස පරිහරණය නොකිරීමේ වරදින් බව පැවසිය යුතුමය.

ඒ අනුව මේ තරගයේ දෙවන ඉනිමේදී පන්දු වාර 80ක් වෙනුවෙන් කණ්ඩායමකට හිමි වන විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථා දෙකම එංගලන්ත පිල මුහුණ දෙන 22 වැනි පන්දු වාරය වන විටත් අනවශ්‍ය ලෙස භාවිත කොට අපතේ හැර දමා තිබිණ.

එම ඉනිමේ 15 වැනි පන්දු වාර්යේදී ජොනි බෙයාස්ටේගේ උඩපන්දුවක් රැකගත් බවට නිරෝෂ් දික්වැල්ල කරන ලද ඉල්ලීම හා 22 වැනි පන්දුවාරයේ ජෝ රූට්ස් කඩුල්ල මුවා කළ බවට කරන ලද ඉල්ලීමද විනිසුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම තීරණ අභියෝගයට ලක් කළ ද ඉන් ශ්‍රී ලංකා පිලට සාර්ථක ප්‍රතිඵල අත් නොවීය. සිදුවූයේ පන්දු වාර 80ක් වෙනුවෙන් ලබාදී තිබූ අවස්ථා දෙකම අහිම කර ගැනීම පමණි.

මේ නිසා පසුව ලකුණු නොලබා සිටියදී දිල්රුවන්ගේ පන්දුවකට බෙන් ස්ටෝක් කඩුල්ල මුවාකිරීමේ වරදට ද ලකුණු 79ක් ලබා සිටියදී ජොනී බෙයාස්ටෝ  ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට නිරෝෂ් දික්වැල්ල රැකගත් උඩ පන්දුවකින් දවාගැනීමට තිබූ අවස්ථාවද ශ්‍රී ලංකා පිලට අහිමි වූයේ එම අවස්ථා දෙකේදීම ඔවුන් නොදැවුණු ක්‍රීඩකයින් ලෙස ලබා දුන් තීරණ අභියෝගයට ලක්කිරීමට නොහැකි වූ හෙයිනි.

කෙසේ වුවත් එම අවස්ථා දෙකේම ප්‍රතිරූපක දර්ශන අනුව පෙනී ගොස් තිබුණේ ඔවුන් දෙදෙනාම දැවී ගිය ක්‍රීඩකයින් ලෙස නම් කිරීමේ හැකියාව තිබූ බවය.

මේ අනුව බෙන්ස්ටෝක් ලබාගත් ලකුණු 5ක් හා ජොනී බෙයස්ටෝ ලබාගත් ලකුණු 31ක් වශයෙන් ලකුණු 88ක් එංගලන්ත පිලට වැඩිපුර ප්‍රදානය කරන ශ්‍රී ලංකා පිලට සිදුවිය. එය එසේ නොවුයේ නම් පෙර සඳහන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් සිදුවූ අතපසුවීම් මධ්‍යයේ වුවද තරගය ජයගැනීමේ  අවස්ථාව ශ්‍රී ලංකා පිල සතුව තිබූ බව පැහැදිලිය.

මේ නිසා වර්තමානයේදී පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුන වෙනුවෙන් පුහුණුකරුවන් ක්‍රීඩකයින්ට ලබාදෙන පුහුණුව සමාන පුහුණුවක් තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් ද ලබාදිය යුතු වෙයි. ඊට සැපයිය හැකි හොඳම නිදසුන ලබාගත හැක්කේද ප්‍රතිවාදී එංගලන්ත පිලෙනි. ඔවුන් සෑම විටම කලබලකාරී නොවී ඉතාම සුදුසු අවස්ථාවලදී පමණක් විනිසුරු තීරණ අභියෝගයට ලක්කිරීමට වගබලාගත් බව සඳහන් කළ යුතුය.

තවද  මෙහිදී සඳහන් කළ යුත තවත් කරුණක් වන්නේ බෙන් ස්ටෝක් ලකුණු 22 දී හා ලකුණු 32 දී උඩපන්දු ලබාදී ලක්ෂාන් සඳකැන්ට ගොදුරු වූ අවස්ථා දෙකේදීම එම පන්දු දෙක නීති විරෝධී පන්දු ලෙස පිටියේ විනිසුරුවරයා සංඥා නොකිරීමෙන් පසුව  තෙවැනි විනිසුරුගේ තීරණ මත නීති විරෝධී පන්දු ලෙස නම් කිරීමක් අවධානයට ලක් කළ යුත්තක් බවය.

එම අවස්ථා දෙකේදීම බෙන්ස්ටෝක් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස පිටියෙන් ඉවත්ව යද්දී නැවත ලකුණු රැස්කිරීමේ අවස්ථාව ලබාදී තිබුණේ තෙවැනි විනිසුරුගේ නිරීක්ෂණය අනුවය.

කෙසේ වුවත් එහිදී පිටියේ විනිසුරුවරයා ඒ පිළිබඳව තෙවැනි විනිසුරුවරයාගෙන් සහාය ඉල්ලා නොතිබිණ. එයට හේතුව පවතින නීතිය අනුව එවැනි අවස්ථාවක පිටියේ විනිසුරුවරයා ඉල්ලීමක් නොකළ ද තෙවැනි විනිසුරුට නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලබාදී තිබිමය.

පිටියේ විනිසුරුවරයා ඉල්ලීමක් නොකළ අවස්ථාවන් සඳහා ක්‍රියාත්මක වන මෙම නීතියෙන් පිතිකරුවන්ට ආරක්ෂාව ලබාදී ඇති බවක් දක්නට ඇත. පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද සාධාරණය සමානව ඉටු කළ යුතු නම්  දැවීගිය ක්‍රීඩකයකු ලෙසට නම් කරන ලෙස පන්දු යවන්නකු ඉල්ලා සිටි අවස්ථාවක විනිසුරුවරයා නොදැවුණු බවට තීරණය කරන අවස්ථාවලදීද විනිසුරු තීරණ අභියෝග කිරීමකින් තොරව පරීක්ෂාකොට තමන්ගේ තීරණය ලබා දීම තෙවැනි විනිසුරුවරයාට මැදිහත් වීමේ අවස්ථාව ලබාදී යෝග්‍ය නොවන්නේදැයි විචාරයට ලක්විය යුතුය.

කුමන තත්ත්වයක් යටතේ වුවත් දැන් ශ්‍රී ලංකා පිල එම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියම පරායට පත්වී අවසන්ය. එම නිසා අපි අපේ අඩුපාඩු හඳුනා ගත්තා. මීළඟ තරගාවලියේ සිට එම අඩුපාඩු මගහරවා ගෙන තරග වදින්න බලාපෙරොත්තු වෙනවා. යනුවෙන් යකඩ කටවල් ඔස්සේ බෙරිහන් නොදී ජයග්‍රාහී මාවත සොයා ගැනීම පිණිස සුදුසු පිළියම් සොයා ගැනීම පුහුණුකරුවන්ගේ මෙන්ම ක්‍රීඩකයින්ගේද අධිෂ්ඨානය විය යුතුය.

සීවලී එදිරිවීර