රට කැලැඹු අපරාධ කිහිපයක්ම පසුගිය සතියේ වාර්තා විය. ඒ අතරින් බොහෝ දෙනකු කම්පා කළ සිදුවීම් දෙකක් වාර්තා වූයේ මාතර සහ මොනරාගල ප‍්‍රදේශවලිනි.  මාතර ඇළවේල්ල පාර උපකාරක පංතියක් අසලදී දාහත් හැවිරිදි පිරිමි ළමයකු දහ නව හැවිරිදි වියේ තවත් පිරිමි ළමයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළේය. අනෙක් සිදුවීම සිදුවූයේ  මොණරාගල  මාගන්දනමුල්ල ප‍්‍රදේශයේ වැවක් අසලදීය. එහිදී තරුණයකු විසින් සිය අනියම් පෙම්වතිය බව කියන තරුණියකගේ ගෙල සිරකර ඝාතනය කරනු ලැබීය.  ලොවෙන් වසන් වී කාත් කවුරුත් නොදන්නා අයුරින් මේ ඝාතන සිදුවූයේ නැත. මහ දවාලේ තවත් ඇස් ඉදිරිපිටදී  මෙම ඝාතන සිදුවූයේ සමාජ සදාචාරයද ප‍්‍රශ්න කරමිනි.

මාතර ඝාතනය  මිනිසුන් නිතර ගැවසෙන ප‍්‍රදේශයක සිදු වූ අතර සමස්ථ  සිදුවීමම චිත‍්‍රපට දර්ශනයක් පරිද්දෙන් සී සී ටී වී කැමරාවල යස අගේට සටහන් වී තිබුණි. එය එසේ වුවත් ඒ මාර්ගයේ ගිය කිසිවකුවත් එකී ඝාතනය නැවත්වීමට පෙරට ආවේ නැත. ඒ ආසන්නයෙන් යතුරුපැදි මෙන්ම මෝටර් රථයක්ද ගමන් කළ අයුරු කැමරා දර්ශනවල සටහන් වී තිබේ. එසේම පදිකයින් කිහිපදෙනකුද ඒ ආසන්නයෙන් ගමන් කළ බව පෙනුණි. නමුත් ඔවුන් එය තමන්ට අදාළ නැති දෙයක් බැවින් අයින් වී ගිය බව පෙනුණි.  මොණරාගල ඝාතනයද තවත් පුද්ගලයකුගේ දුරකථන කැමරාවක පැහැදිලිි ලෙසම  සටහන් වී තිබුණේය. ඒ ආසන්නයේ පුද්ගලයින් දෙදෙනකු හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සිටි බවට වීඩියෝ සටහන හා බැඳි හඬ සටහන් සාක්ෂි දරන්නේය. නමුත් ඒ කිසිවකු එම ඝාතනය වළක්වන්නට උත්සාහ ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් පවසනා දේ අනුව හැඟවෙන්නේ අනවශ්‍ය කරදර දා ගන්නට ඔවුන් අකමැති බවකි. එක් අයකු පවසන පරිදි ඔහුට පොලිසියෙන් පවා උපදෙස් ලැබී ඇත්තේ ඇස් දෙක ඉදිරියේ හෝ යමකු මරා දැමුවහොත් ඊට සම්බන්ධ නොවී සිටීමටය.

ජීවිතයක් බේරා ගන්නට කිසිවකුත් ඉදිරිපත් නොවූවද ඒවාට  ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ  විශාල ජනප‍්‍රියත්වයක් හිමි විය. මාතර සී සී ටී වී දර්ශනය සේම මොණරාගල තරුණියගේ ඝාතනය ඇතුළත් වීඩියෝවත් වෙබ් මාධ්‍ය තුළත් රූපවාහිනී මාධ්‍යයේත් උණු උණුවේම සංසරණය විය. මෙය සමාජයේ බහුතරයකගේ විවේචනයට ලක්වන බව සමාජ මාධ්‍ය ප‍්‍රතිචාර අනුව පෙනී යන්නේය. අකාලයේ මියගිය එකී ජීවිත බේරා ගන්නට කිසිවකු ඉදිරිපත් නොවීම පළමු කාරණාවයි. දෙවැන්න ප‍්‍රසිද්ධ මාධ්‍ය කිසිදු හිරිකිතයක් නොමැතිව එම දර්ශන නැවත නැවත ප‍්‍රදර්ශනය කිරීමය.

සදාචාරය සේම මාධ්‍ය ආචාරධර්ම පිළිබඳවත් විශාල ගැටලූවක් මේ සිදුවීම් සමග මතු වුණේය. වර්තමානයේ බොහෝ දෙනකු දකින දකින සියලූ දේ කැමරාගත කරන්නට හුරු වීමත් ප‍්‍රායෝගික ජීවිතයේදී අනෙකාට උපකාරයක් කරන්නට මැලිකමක් දැක්වීමත් සමාජ ඛේදවාචකයකි. එසේම තොරතුරු වාර්තාකරණයේදී පවා මාධ්‍ය අනුගමනය කළ යුතු සීමාවන්  ඇත. සිනමාපටයක පිහි ඇනුමක්, ගෙල මිරිකීමක් වැනි දෙය රංගනයක් බව පේ‍්‍රක්ෂකයින් තේරුම් ගන්නා නමුත් සැබෑ සිදුවීමක් නැරඹීම වෙනස් ආකාරයේ මානසික බලපෑම් එල්ල කිරීමට සමත්ය. පසුගියදා වූ සිදුවීම් ඊට හොඳම නිදසුන්ය. මේ වනවිට ඇතැම් වෙබ් අඩවි එම රූපරාමු තම වෙබ් අඩවිවලින් පවා ඉවත් කරගෙන ඇත.

අපරාධයක් රූගත කිරීම හෝ ජායාරූපගත කිරීම ඒ පිළිබඳව සිදුකරන නීතිමය පරීක්ෂණයකට ප‍්‍රයෝජනවත් විය හැකිය. ඒ පිළිබඳව තර්කයක් නැත. නමුත් සිදුවිය යුත්තේ සිදුවන්නට යන අපරාධයක් වළක්වාගැනීමය. කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටින්න යැයි කියා දැන්වීම් බස්වල, දුම්රියවල අලවා ඇති අයුරු අපි දකිමු. එම දැන්වීම් කාන්තා හා ළමා කාර්යාංශය වැනි රජයේ වගකිවයුතු ආයතන මැදිහත්ව ප‍්‍රචාරය කරන බැව් පෙනෙන්නට ඇත. මොණරාගලදී සිදුවූයේද කාන්තාවකට එරෙහි ප‍්‍රචණ්ඩත්වයකි. නමුත් ඊට එරෙහි වන්නට එය බලාසිටි කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත.

මේ හා සමාන සිදුවීම් ලෝකයේ වෙනත් රටවලින්ද අසන්නට ලැබේ. 2017 වසරේ මාර්තු මාසයට ආසන්න දිනයකදී  බ‍්‍රසීලයේ  සියෙරා ප‍්‍රදේශයේදී ” ඩැන්ඩාරා සැන්ටෝස්” නම් සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවකට කිසියම් පිරිසක් පහර දී ඝාතනය කළ ආකාරය සමාජජාල ඔස්සේ විකාශනය විය. එයද ඒ ආසන්නයේ සිටි පිරිසක් විසින් දුරකථන කැමරාවකින් රූපගත කළ සිදුවීමකි.  2017 වසරේ ජූලි මාසයේ ඉන්දියාවේ නවදිල්ලි නගරයට ආසන්න නගරයකදී ” ඔටේරා බිබී” නමැති හතලිස් දෙහැවිරිදි මානසික ආබාධයක් සහිත කාන්තාවක්  ගැමියන්ගේ  පහරදීමෙන් මිය ගියාය.

එයද දුරකථන ඔස්සේ කැමරාගත විය. 2016 වසරේදී බංගලාදේශයේ දොළොස් හැවිරිදි කුඩා දරුවකු කෑම සොරකමක් සම්බන්ධයෙන් හසු වූ අතර එහිදී ඔහුව කණුවක බැඳ පහර දී ඝාතනය කරන ලදී. එය ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශය වූයේද ජංගම දුරකථන ඔස්සේ රූගත කළ දර්ශන ඔස්සේය. 2016 වසරේ පෙබරවාරි මස 2වැනිදා ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේදී 23 හැවිරිදි තරුණයකුට පහර දී ඝාතනය කිරීම ජංගම දුරකථන ඔස්සේ වීඩියෝ ගතකර සමාජජාලවලට මුදාහැර තිබුණි.

මේ සිදුවීම් සියල්ලේ අවසන් ප‍්‍රතිඵලය වූයේ ඝාතනයකි. එම සිදුවීම් රූගතකළ කිසිවකුත් එම සිදුවීම් වළක්වන්නට උත්සුක වූයේ නැත. විදෙස් රටවල සදාචාරය ගැන අපිට ප‍්‍රශ්න කළ නොහැකි වුවත් ලෝකයේ මනුෂ්‍යත්වයට ලැබිය යුතු පිළිගැනීමක් ඇත. ඉහත කිී සිදුවීම් සියල්ල ලෝකය පුරා මිනිසුන්ගේ පිළිකුලටත්, විවේචනයටත් ලක්විය. දැන් එවන් සිදුවීම් මේ රටේද සිදුවන්නට පටන්ගෙන ඇත. වෙනත් රටවල් කෙසේ වෙතත් අනෙකාගේ දුකේදී, කරදරයේදී පිහිට වීම මෙරට සංස්කෘතිය සමගම බද්ධ වූ කාරණාවකි. නමුත් අද දෑස් පනාපිට තවකෙක්  මරාදැමුවත් මිනිස්සු අන්ධයින් සේ හිඳින්නට පෙලඹී සිටිති. වළක්වාගන්නට හැකි දෙයක් වුවත් වළක්වන්නට ඉදිරිපත් වන්නේ නැත.

වළක්වන්නට හැකි දේ රූගත කරන මිනිසුන් තවත් අයකුගේ ජීවිතය බේරාගන්නට ඉදිරිපත් නොවීමම  ඛේදවාචකයකි.

අයේෂ් ලියනගේ

SHARE

1 COMMENT

  1. නීතිමය තත්වයන් පිලිබඳව සාමාන්‍ය ජනතාවට විශ්වාසයක් නැත. දැනුමක් නැත. කෘෘර රූප රාමු නැවත නැවත පෙන්වමින් මාධ්‍ය හිංසන තෘප්තියක් දුන්නා මිසක එවැනි අවස්ථාවක සාමාන්‍ය ජනයා ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන කතිකාවක් ඇතිකළේ නැත.කරුණාකර එවැනි කතිකාවක් ඇතිකර වගකිවයුත්තන් හරහා සමාජය දැනුවත් කරන්න. එය මාධ්‍ය සතු වගකීමකි.රිවිර එම වගකීම ඉටුකරනු ඇතැයි සිතමි .

LEAVE A REPLY

Previous articleසමාජය යන්නේ කොහේද? වරද කාගෙද?
Next articleඅන්ධ තාත්තා රකින පුතු සෙනෙහසක මහිම