ශ‍්‍රී ලංකාවේ  වත්මන් දේශපාලන වාතාවරණය තුළ ඇත්තේ දැඩි  අවිනිශ්චිත බවකි.  මෙම තත්ත්වය  රටේ ආර්ථිකයට අහිතකර ප‍්‍රතිඵල ගෙන දෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම තත්ත්වය මත ශ‍්‍රී  ලංකාවට එන්නට සැලසුම් කර සිටි සංචාරකයන් පමණක් නොව  ආයෝජකයන්ද දෙවරක් සිතන බවද රහසක් නොවේ.

නමුත් 2015 ජනවාරි 09දා පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් තිබූ අගමැතිවරයකු යටතේ පිහිටුවා ගත් දින සීයේ ආණ්ඩුවේ සිට 2018 ඔක්තෝබර් 26දා දක්වා ඊනියා යහපාලන ආණ්ඩුව මේ රටේ ආර්ථිකයට විශාල හානියක් කර තිබුණු  බව අප මේ මොහොතේ කිසිසේත්ම අමතක නොකළ යුතුය.

2014 වන විට 7%ක පමණ සංවර්ධන වේගයක් තිබූ, ඒ වන විට සංවර්ධන වේගය අතින් ආසියාව තුළ චීනයට පමණක් දෙවැනි වූ ලංකාව වසර 3ක් තුළ ආසියාවේ අඩුම සංවර්ධන වේගයක් ඇති රටක් බවට පත් කිරීමට හිටපු අගමැතිවරයා හා ඔහුගේ කැබිනට් මණ්ඩලය ”සමත්විය”.

2017 අවසන් වන විට ලංකාවේ වාර්තා වී තිබුණු සංවර්ධන වේගය වූයේ 3.1%ක් වන අතර මේ වන විට ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල දළ ආර්ථික සංවර්ධන වේගය 4.9%ක් පමණ වන අවස්ථාවකය.

මෙවැනි තත්ත්වයක් ඇතිවීමට මූලික හේතුව වූයේ ඊනියා යහපාලන ආණ්ඩුවේ හොරකම, ගැතිකම, මැරකම, බැරිකම යන සිවුවැදෑරුම් ගති ලක්ෂණ නිසා බව නිශ්චිත වශයෙන්ම පැහැදිලි කළ යුතුව ඇත.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරියට දමාගත් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ කල්ලිය බලය ගැනීම සඳහා එදා බොරුව උපරිම මට්ටමෙන් භාවිත කළහ. එදා කී මුසාවාද අද යළි මතක් කර බැලූවොත් ඒ බොරුවලට රැුවටුණු බොහෝ දෙනකුට ඇති වනවා ඇත්තේ මහ ලැජ්ජාවකි. එදා බලයට ඒම සඳහා ජනතාව වෙත ලබාදුන් පොරොන්දු බොහොමයක්ම ඊනියා යහපාලන රජය විසින් අමතක කර දැමීය. කඩකර දැමීය.

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී  අයිතිවාසිකම් සුරකින බව කියූ යහපාලන රජය කටයුතු කළේ ඊට පටහැනිවය. රජයට සම්බන්ධ බලවතුන්ට හා සාමාන්‍ය පුරවැසියන්නට නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ අසමාන අන්දමකටය.

අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසද කප්පාදු විය.    පසුගිය කාලයේ රටේ හිටපු අගමැතිවරයා මේ රටේ සුප‍්‍රකට මාධ්‍ය වේදීන්ට  පාර්ලිමේන්තුව තුළ පවා නම් කියා තර්ජනය කරනවා. අප දුටුවේය.

එම සමයේ, රටේ සමහර බලවතුන් ගැන යම් යම් වාර්තා පළ නොකරන ලෙස මාධ්‍යවලට බලපෑම් එල්ල විය.  රජයට විරුද්ධව අදහස් පළ කළ නිසා

පසුගිය කාලයේ කී දෙනෙකුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කොට බොරු චෝදනා මත රිමාන්ඞ් බන්ධනාගාර ගත කළාද යන්න අප විමසා බැලිය යුතුව ඇත.  යහපාලන ආණ්ඩුවේ එම බොරු,  උසාවියේ පවා හෙළිදරව් විය.

බලයට පත්වූ දින සිට මේ  දක්වා වූ මාස 45ක කාලය තුළ යහපාලනය නමින් හැඳින්වුණු අසාර්ථක පාලනය රට කළමනාකරණය කරනවා වෙනුවට කළේ බලය ලබා ගැනීමට තමුන්ට උපකාරී වූ බලවේගවල අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා කටයුතු කිරීමය.

එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලය වෙත ශ‍්‍රී  ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියකට යහපාලන ආණ්ඩුවේ සම අනුග‍්‍රාහකත්වය ලැබෙන්නේද  ඒ අනුවය. තම රටට එරෙහිව වෙනත් රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග‍්‍රාහකත්වය දුන් පළමු රට ලෙස ලංකාව ඉතිහාසගත විය. ඒ වන විට විදේශ ඇමැති මංගල සමරවීරය. ඔහුට ශක්තිය වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහය. ඒ මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික ප‍්‍රතිපත්ති ආරම්භයේ සිටම තමුන්ට නොගැළපුණා යැයි ජනාපතිවරයා ප‍්‍රසිද්ධියේ කියනා බැවින්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මේ ගැන දැනුවත්ව සිටියාද නැද්ද යන්නද  ගැටලූවකි.

ජිනීවා  යෝජනාවලියේ අන්තර්ගත වූ කරුණුවලින්  මේ වන විට කරන්නට ඉතුරුව ඇති වැදගත්ම කරුණ නම් නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමය. මේ වන විට කෙටුම්පත් කොට අවසන් වී ඇති නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ මේ නොවැම්බර් මස අගදීය. බල පෙරළියකින් තොරව මෙම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූවා නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක සම්පන්දන්, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර කල්ලිය සියලූ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් කඩා හෝ එම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව අද ඔවුන් පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරයෙන් පෙනේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාව අද පාලනය කරන්නේ ටී.එන්.ඒ. සංවිධානය බව මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුව තුළ ටී.එන්.ඒ. සංවිධානයේ සුමන්දිරන් මහතා හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හා රනිල් වික‍්‍රමසිංහ මහතාට අතපය දිගු කරමින් බැන වැදුණු තර්ජනාත්මක ස්වභාවයෙන්ම පැහැදිලිය.

පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථාව සම්මත වූවා නම් ඒ හරහා පාර්ලිමේන්තුවේ වර්තමානයේ පවතින 225ක්වූ මන්ත‍්‍රි ආසන සංඛ්‍යාව 233 දක්වා ඉහළ දැමීමට යෝජනා වී තිබිණි. ඉන් ආසන 140ක් ඍජුවම ආසන ක‍්‍රමයට තරග කොට පත්වන මන්ත‍්‍රිවරුන්ටත්, ආසන 93ක් ලැයිස්තුවෙන් පත්වන මන්ත‍්‍රිවරුන්ටත් ලැබීමට නියමිතව තිබිණි.
වර්තමාන මැතිවරණ සිතියමේ කොට්ඨාස 160ක් ඇත. මේ කොට්ඨාස ප‍්‍රමාණය 140ක් ලෙස අලූතින් සීමා නිර්ණය කළ යුතුය. එය කරනු ලැබීමට නියමිතව තිබුණේ සීමා නිර්ණ කමිටුවක් මඟිනි. මෙම සීමා නිර්ණ කමිටුවට තම කාර්යය නිම කිරීමට කාලවකවානුවක් නව ව්‍යවස්ථා කෙටුම්පතේ නැත.

ජනතාවගේ ඉහළම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වන ඡුන්දය දැමීමේ අයිතිය යටපත් කිරීම සඳහා
පසුගිය ආණ්ඩුව දිගින් දිගටම භාවිත කළ කපටි උපක‍්‍රමය නම් ඊනියා ‘සීමා නිර්ණ කමිටුවයි‘
රනිල්ලා, සුමන්තිරන්ලා, අනුරලා නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් ‘කරු ජයසූරිය ක‍්‍රමයට‘ සම්මත කර ගත්තා නම් 2020 නොව තවත් චිරාත් කාලයකට ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නැත.

එසේම 20 වැනි සංශෝධනයෙන් උත්සාහ කළාක් මෙන් ජනාධිපතිවරයාද වත්මන් පාර්ලිමේන්තුවෙන් පත් කරනා ලෙසට ක‍්‍රමවේදයක් සකස් කරගත් පසු ජනාධිපතිවරණයක්ද නොපැවැත්වෙනු ඇත.

ප‍්‍රභාකරන්ට අවුරුදු 30 යුද්ධය කොට ලබා ගත නොහැකි වූ දෙය ද්‍රවිඩ ජාතික සන්ධානය,  අලූත් ව්‍යවස්ථාව හරහා ලබාගනු ඇත.

මේ තුරුම්පුව වැරැුදුණේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක මහින්ද රාජපක්ෂ මහතාව අගමැති වශයෙන් පත්කළ නිසාය. කුමන්ත‍්‍රණයේ හවුල්කරුවන් සියල්ල තක්කු මුක්කු වී මෙතෙක් සඟවාගෙන සිටි වෙස් මුහුණුද අමතක වී  ”දඟලන්නේ” කුරුමානම  වැරැුදුණු වේදනාව දරාගත නොහැකිවය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන්ට අවශ්‍ය අගමැති වශයෙන් දිගු කලක් බලයේ සිටීමට නොව හැකි ඉක්මනින් මැතිවරණයකට ගොස් රටේ ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේ බලය ජනතාවට ලබාදීම බවය. ලෝකයේ බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු මැතිවරණ කල් දමද්දී (යහපාලකයන් කළේද එයමය*, මැතිවරණ ඉල්ලා කෑ ගසන්නේ විපක්ෂයයි.  නමුත් ශ‍්‍රී  ලංකාවේ මැතිවරණ පැවැත්වීමට  එරෙහිව උපවාස කරන්නේ විපක්ෂයයි. මැතිවරණ කල් දමාගැනීමට උත්සාහ කරන්නේ එජාපය ප‍්‍රමුඛ වත්මන් විපක්ෂයයි..  ලංකාවේ දේශපාලනය, යම් පුද්ගලයකුගේ අසීමිත බලකාමය නිසා හා මුදලට විකිණෙන දේශපාළුවන් නිසා කෙතරම් විකෘති වී ඇත්දැයි වටහා ගැනීමට එයම  තවත් උදාහරණයකි.

සටහන -පැතුම් වික්‍රමරත්න