එච්.ජී.වෙල්ස් නමැති සුප්‍රකට ‍ලේඛකයාගේ ‘ලෝක අතර යුද්ධය’ (War of the Worlds) නමැති ‍පොතට පසුබිම් වන්නේ අඟහරු ලෝකයේ සිට පැමිණ පෘථිවිය ආක්‍රමණය කරන පිටසක්වල ජීවීන් පිරිසක් ගැන කතාවකි. මෙම අඟහරුවාසීන් මිනිසුන්ට වඩා දියුණු, බුද්ධිමත් ජීවීන් පිරිසකි. අඟහරු ග්‍රහයා මත ස්වභාවික සම්පත් අවසන් වෙමින් තිබිම හේතුවෙන් ඔවුහු පෘථිවියේ සම්පත් අයිති කරගනු පිණිස අපගේ ග්‍රහලෝකය ආක්‍රමණය කරති. කෙසේ වෙතත්, අඟහරු ලොව ජීවත් වන ජීවීන් මහ ‍පොළොව ආක්‍රමණය කරන අන්දම දැක්වෙන එකම නිර්මාණය ‘ලෝක අතර යුද්ධය’ නොවේ. තවත් විද්‍යා ප්‍රබන්ධ රැසකටම මෙම තේමාව පසුබිම් විය. මේ ගැන ගුවන් විදුලි නාට්‍ය සහ චිත්‍රපට ආදිය පවා නිර්මාණය විය. ඉහත කී  ‘ලෝක අතර යුද්ධය’ ඇසුරෙන් ද ස්ටීවන් ස්පිල්බර්ග් චිත්‍රපටයක් නිපදවීය.
අඟහරු ලෝකය සහ අඟහරු ජීවීන් කවදත් මිනිසුන් තුළ විශාල කුතුහලයක් ඇති කළ කාරණා ය. නමුත් ඉහත කී විද්‍යා ප්‍රබන්ධවල එන ආකාරයේ දියුණු ජීවීන් එහි නොසිටින බව මේ වනවිට තහවුරු වී අවසන් ය. ඒ අඟහරු සම්බන්ධයෙන් කාලයක් තිස්සේ විද්‍යාඥයින් විවිධාකාරයේ ගවේෂණයන් කරමින් සිටින බැවිනි. කෙසේ හෝ වේවා මේ දිනවල තාරකා විද්‍යා ක්‍ෂේත්‍රය තුළ අඟහරු ගැන නැවතත් විශාල අවධානයක් යොමු වෙමින් තිබේ. එයට හේතුව නම් පෘථිවියේ සිට මාස හයක දීර්ඝ ගමනකින් පසු නැවතත් අභ්‍යවකාශ යානයක් අඟහරු පිළිබඳ රහස් සෙවීම සඳහා පසුගිය 26 වෙනි දින එහි සේන්දු වීමයි. මෙම යානය හැඳින්වෙන්නේ ‘ඉන්සයිට්’ (InSight) යන නමිනි.

පෘථිවිය මත ජීවීන්ට සුදුසු පරිසරයක් තිබිය දී අඟහරු මත එසේ නොවූයේ මන්ද යන්න තේරුම් ගත හැකි තොරතුරු රැස් කිරීම ද ඉන්සයිට් යානයේ එක් අරමුණකි. පෘථිවිය සහ අඟහරු යනු එකිනෙකට ආසන්නයේ පිහිටි ග්‍රහලෝක දෙකක් බව කවුරුත් දන්නා කාරණයකි. මෙම ග්‍රහලෝක දෙක මෙයට වසර බිලියන ගණනකට පෙර එකම ලක්ෂණවලින් සමන්විත වූ බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. අඟහරු මතජලය පවා පැවති බව විශ්වාස කෙරේ. එමෙන්ම එහි වායුගෝලයේ ස්වභාවය, උණුසුම ආදිය ද බොහෝ දුරට පෘථිවියේ තත්ත්වයන්ට සමාන වූ බව පැවසේ. නමුත් මෙයට වසර බිලියන හතරකටපමණ පෙරසිට මෙම තත්ත්වය වෙනස් වීමටපටන් ගෙන ඇත. පෘථිවිය ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයක් බවට පත් වෙද්දී අඟහරු එයට හාත්පසින්ම වෙනස් නිසරු, ජීවයෙන් තොර ග්‍රහලෝකයක් ලෙස වර්ධනය විය. මෙසේ වූයේ ඇයි? මෙය විද්‍යාඥයින් පිළිතුරු සොයමින් සිටින ප්‍රහේළිකාවකි. පසුගිය දා අඟහරු මත ගොඩබට’ඉන්සයිට්’ යානය මෙයට අදාළ තොරතුරු ද රැස් කිරීමට නියමිත බව සඳහන් වෙයි. එහිදී අඟහරු ග්‍රහයා අතීතයේ සිට විකාශනය වූ ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයින්ගේ එක් බලා‍පොරොත්තුවකි.

‘ඉන්සයිට්’ යානයට පැවරී ඇති ප්‍රධාන කටයුත්තක් වන්නේ අඟහරු භූමිය අභ්‍යන්තරයේ ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. ඒ ඔස්සේ මෙම ග්‍රහයා කාලයක් තිස්සේ විකාශනය වූ අන්දම ගැන අවබෝධ කර ගැනීමට ඔවුහු අපේක්ෂා කරති. මේ සඳහා තොරතුරු රැස් කිරීමට නවීන තාක්ෂණික මෙවලම් රැසක් ‘ඉන්සයිට්’ විසින් රැගෙන යන ලදී. අඟහරු අභ්‍යන්තරයේ සිදුවන භූමිකම්පා අධ්‍යයනය සඳහා වන භූ කම්පනමානය ඒ අතරින් ප්‍රධාන මෙවලමකි. භූමිය අභ්‍යන්තරයේ සිදුවන භූමිකම්පාවකින් ඇති වන කම්පන තරංග විශ්‍ලේෂණය කර බැලීමෙන් මෙම අභ්‍යන්තරයේ ස්වභාවය පිළිබඳ ලොකු දැනුමක් එකතු කරගත හැකි බව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.  ඒ ඇසුරෙන් අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ ත්‍රිමාන ‘චිත්‍රයක්’ ගොඩ නගා ගත හැකි බව පිලිගැනේ. මෙවැනි තොරතුරු ඇසුරෙන් ග්‍රහයා කාලයක් තිස්සේ විකාශනය වූ ආකාරය ගැන තේරුම් ගැනීම පහසු වෙයි.

ඉහත කී භූකම්පන මානය මෙන්ම ‘ඉන්සයිට්’ යානය විසින් රැගෙන යනලද තවත් වැදගත් උපකරණයක් වන්නේ උෂ්ණත්වමානයයි. එය අඟහරු මතුපිට සිට මීටර  5 ක් පමණ ගැඹුරින් පිහිටුවීමට ‘ඉන්සයිට්’ පියවර ගනු ඇත. මේ ඇසුරෙන් අඟහරු අභ්‍යන්තරයේ උෂ්ණත්වයේ වෙනස්වීම් අධ්‍යයනය කරනු ලැබේ. වසර දෙකක පමණ කාලයක් මෙම තොරතුරු  රැස් කිරීමට ‘ඉන්සයිට්’ විද්‍යාඥ කණ්ඩායම බලා‍පොරොත්තු වෙයි. අඟහරු ග්‍රහයාගේ විකාශනය පිළිබඳ තේරුම් ගැනීමට මෙම තොරතුරුවලින්  යම් උපකාරයක් ලැබෙනු ඇති බව විශ්වාස කෙරේ.

කෙසේ හෝ වේවා, ඉන්සයිට් යානය අඟහරු මත ගොඩ බැසීමට මොහොතකට  පෙර අවසන් විනාඩි කිහිපය තුළ විද්‍යාඥයින් සිටියේ මහත් ආතතියෙන් සහ නොසන්සුන් මනසිනි. එයට හේතුව නම් අඟහරු මත යානයක් ගොඩ බැස්සවීම ඉතාම දුෂ්කර, අභියෝගාත්මක කටයුත්තක් වීමයි. අඟහරු වෙත යන ගමනේ දුෂ්කරම කොටස මෙය බව පැවසේ. මෙයට පෙර අඟහරු ග්‍රහයා වෙත යවන ලද යානා අතරින් බොහොමයක් විනාශ වී ඇති බව ද රහසක් නොවේ. එයට ප්‍රධානම හේතුව යානාවල වේගය පාලනය කරගත නොහැකිව ඒවා අඟහරු මතටකඩා වැටීමයි.

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයක් අඟහරු වායුගෝලය වෙත ළඟාවන්නේ ඉතාම අධික වේගයෙනි. එයපැයට සැතපුම් 12,000 කට ආසන්න බවත්, සාමාන්‍යයෙන් තුවක්කුවකින් නික්මෙන උණ්ඩයක් ගමන් කරන වේගය මෙන් සය ගුණයක් පමණ වන  බවත් සඳහන් වේ. නමුත් මේ වේගයෙන් අඟහරු මත ගොඩබැසිය නොහැකි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ නිසා විනාඩි 7 ක් තරම් කෙටි කාලයක් තුළ පැයට සැතපුම් 5 ක පමණඅගයක් දක්වා වේගය අඩු  කර ගැනීමට යානයට සිදු වෙයි. එයඉතා අභියෝගාත්මක කටයුත්තක් වන අතර මෙය සාර්ථක කරගත හැක්කේ සාධක කිහිපයක්ම හරියට නූලට ක්‍රියාත්මක වුවහොත් පමණි. ‍පොඩි හෝ අතපසු වීමක් සිදුවුවහොත් සියල්ල වතුරේ යයි.

කෙසේ හෝ වේවා, කිසිදු ඇබැද්දියකින් තොරව, සැලසුම් කළ ආකාරයෙන්ම අඟහරු මතගොඩ බැසීමට ඉන්සයිට් යානයට හැකියාව ලැබුණු අතර එය මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයින් තුළ විශාල සැනසිල්ලක් මෙන්ම සතුටක් ද ඇති කළ අයුරු ඔවුන් එකිනෙකා බදා වැළඳ ගනිමින් පී්‍රති ඝෝෂා නැගූ ආකාරයෙන් දැකගත හැකිවිය. මේ වනවිටයානය සිය වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

ඉන්සයිට් යානය පෘථිවියෙන් අභ්‍යවකාශගත කෙරුණේ පසුගිය මැයි මස 5 වෙනිදා ය. මාස හයක් තිස්සේ සිදු කළ ගමන තුළ කි.මී. මිලියන 483 ක දුරක් ගමන් කර ඇති බව සඳහන් වෙයි. පසුගිය නොවැම්බර් 26 වෙනි දින එය ගොඩ බෑ ස්ථානය හැඳින්වුණේ එලිසියම් ප්ලැනිටියා යනුවෙනි. මෙම ස්ථානය තෝරා ගැනීමේ දී කාරණා කිහිපයක් ගැන විශේෂයෙන් සලකා බලා තිබේ. එකක් නම් එය සමකයට ආසන්න ස්ථානයක් වීමයි. ඉන්සයිට් යානය ක්‍රියා කරන්නේ සූර්යබල ශක්තියෙන් වන අතර ඒ නිසා එයගොඩ බසිනතැන හොඳින් සූර්යාලෝකය වැටෙන තැනක් විය යුතුය. සමකය ආසන්න තැනක් තෝරා ගත්තේ එබැවිනි. එමෙන්ම එම ස්ථානය ලොකු පාෂාණ, කඳු, හෙල්වලින් තොර තැනක් ද විය යුතුය. නැතහොත් යානය ගොඩ බැසීමේ දී යම්යම් අනතුරු සිදුවිය හැකි බැවිනි.  එම ස්ථානයේ පස සාපේක්ෂ වශයෙන් බුරුල් ස්වභාවයක් ගත යුතු වීමද තවත් අවශ්‍යතාවක් විය. මන්ද යත් කලින් සඳහන් කළ උෂ්ණත්වමානය, භූමියවිද එහි අභ්‍යන්තරයට ඇතුල් කළ යුතු වූ හෙයිනි. එලිසියම්ප්ලැනිටියා නමැති ස්ථානය තෝරා ගත්තේ මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ය.

නිහාල් පීරිස්