කුරුඳුගහ හැතැප්ම ඡුන්ද පොළට මගේ කැමරාවේ, සේයා පටයෙන් කොටසක ඉඩ වෙන්කර ගතිමි. එතැනින් අප‍්‍රමාදව බැහැර වන්නට සිදුවූයේ අපේ මිතුරා කීර්ති ඒ අසලකවත් නැති බව හැඟුණ නිසයි.

යළි කුරුඳුගහ හන්දිය කරා ආ අපේ වාහනය දකුණට හරවා බටපොළ මග ඔස්සේ ඉදිරිය බැලූවේ ඒ ප‍්‍රදේශයේ තතු හොයා බැලීමේ අපේක්ෂාවෙනි.

ඇල්පිටිය බටපොළ මාර්ගය ද අප ගමන් ගත් ගාලූ කොළඹ ප‍්‍රධාන පාර, අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය වගේ ම වාහනයක් ඇහැකට පේන්නට මේ පාරේ ද නො වී ය. අපි බටපොළ හන්දියෙන් දකුණට වාහනය හරවා බටපොළ සුභද්‍රාරාමය විහාරස්ථානය පසුකොට මීටියගොඩ ඔස්සේ කහව මංසන්ධිය බලා ගමන් කරන්නෙමු. නින්දාන පන්සල අසලට අපේ මෝටර් රථය ළඟා වෙද්දී කිසියම් හඬක් ඇසුණි. රාජා හිතුවේ ඔහුගේ ලාන්සර් රියේ ටයරයක් පිපුරුණා දෝ යන සැකයයි. ක්ෂණයකින් රාජ වාහනය පාරේ අයිනකට කර නතර කළේ ය. ඉදිරි අසුනේ හුන් අපේ බාටා මිතුරා කාර් එකෙන් බැස පසුපසට ගොස් ටයර් පිරික්සන්නට වූයේ ඒ මහා සද්දෙ නැගුණේ පසුපසින් හෙයිනි.

ඒත්…… ඒත්….. ඒත් එක්කම එවැනි ම වූ ඩෝං…. ඩෝං… හඬක් නැගෙන්නට වූයෙන් අපේ සගයා වහා දිවැවිත් ඉදිරි අසනට නැංග සැණින් රාජා වේගයෙන් රිය ඉස්සරහට ධාවනය කෙළේ කිසියම් අනතුරකට අප පත්ව හිඳින වග වැටහීමෙන් ය.

අප නින්ධාන පන්සල ඉදිරිපිට මෝටර් රිය නතර කරද්දී පන්සල් වත්තේ වැඩසිටිමින් පාර දිහාට බැලූම් පා හුන් තරුණ හා සාමනේර භික්ෂූන් වහන්සේ කීප නමක් සිවුරු පොට අතකින් ඔසවා ගෙන් විහාරය දෙසට දුවන්නට වූහ. උන්වහන්සේලාට කිසියම් බියක් හටගෙන ඇති බව අපට අමුතුවෙන් සිතන්නට දෙයක් නොවීය.

රාජා අලහප්පෙරුම් බෝ වේගයෙන් රිය පදවයි. දැන් මට අවශ්‍ය වූයේ මේ පන්සල ගැන විමසීමට ය. වෙඩි ප‍්‍රහාරයක් අපට එල්ල වී ඇති වග සක්සුදක් සේ පැහැදිලි ය. ඒ වෙඩි ප‍්‍රහාරය අපට එල්ල කළෝ කවරහු ද? යන සැකය අප තිදෙනාගේ ම හිත්වල මතුවෙන්නට මහ වෙලාවක් ගියේ නැත.

අප හඹා එමින් වෙඩි තැබීම කරන්නේ ද? නැතහොත් පන්සල අසල කිසියම් තැනෙක හිඳ කිසිවකු අපට වෙඩි තබන්නෙහි ද? නැත අපට ඒ ගැන හරි නිනව්වක්. අපට වෙඩි තබන්නට තරම් සාහසික වූවෝ කවරහු ද?

අප හඹා එමින් වෙඩි තියන්නේ හමුදාවෙන් ද? නැතිනම් පොලිසියෙන් ද? එහෙමත් නැත්තං ජෙප්පන් ගේ සන්නද්ධ බළකායෙන් ද?
රාජා දැන් වාහනය පදවන්නේ රොකට්ටුවක වේගයෙනි.

ටික දුරක් ධාවනය කෙරුණු කාර් එක රාජා නතර කළේ මගේ ඉල්ලීමකට අනුව ය. වාහනය නතර කෙරුණු තැන් පාර දෙපැත්තේ ඇති නිවෙස් දෙකක උදවිය තාප්ප දෙක අසලට වී උනුන් හා කතාබහෙක නියැළී හිඳිති. මගේ මතකයේ හැටියට නම් ඒ නින්දාන සමුපකාර ප‍්‍රාදේශීකය හෝ පේෂකර්ම මධ්‍යස්ථානය අසල වූ නිවෙස් දෙකක නිවැසියන් ය. ඒ එක නිවසක සුප‍්‍රසිද්ධ චිත‍්‍ර කලා ශිල්පී ජයසිරි සේමගේ මහතා ගේ පවුලේ ඇත්තන් ය. (ඒ වග පසුව දැනගත්තේ සේමගේ මහතාගේ නැගණියක හා විවාපත් මා මිතුරකු වන ඇල්විටිගල සගයාගෙනි. ඇල්විටිගල යනු පුවත්පත් කලාවේදියකු වූ යටියන පුෂ්පකුමාර විජේසිංහයාණන් ගේ බිරිඳ ගේ සොවුරා ය*

‘‘අර ටිකක් එහායින් තියෙන පන්සල….?’’ මම වාහනයේ හිඳිමින් ම ෂටරය පහත් කොට විමසීමි.
‘‘නින්දාන පන්සල’’ වම්පස නිවහනේ හුන් කෙනෙක් කීහ.

මට අවැසි වූයේ වෙඩි ප‍්‍රහාරය එල්ල වුණු තැන පිහිටි පන්සල ගැන තොරතුරක් ඇහිඳ ගැනීමට යි. ඒ තොරතුර අහුලා ගත් සැණින් රාජා කාර් එක යළි ඉදිරියට ධාවනය කරන්නට සැරසුණා විතර ය. පසුපසින් අප හඹා ආ ජිප් රියක් අපට පසු පසින් නතර කොට එයින් බට පොලිස් නිලධාරීන් පිරිසක් අපේ වාහනය වටකළහ. දැන් අපට ඉස්සරහට රිය ධාවනය කළ නොහේ.

මේ මොකක් වෙන්න යන්නේ දැ’’ යි අප තිදෙනාට තේරුම් ගන්නට වටහා ගන්නට හැකියාවක් නොහේ. අප කරා කඩා පිනූ පොලිස් පිරිසෙන් දෙන්නෙක් ඉදිරිපස අසුන් හි සිටින රාජා අලහප්පෙරුමටත් බාටා සාප්පුවේ සගයාටත් ටී පනස් හයෙන් පහර දෙන්නට වූහ.

මා වෙත ද ගිනි කඳක් ඔසවා ගත්තු කාකි සූට් කාරයෙක් තැතණුවේ මට පහර දෙන්නට ය. මා හිඳ හුන් අසුනේ අනිත් පසට ඇදුණෙමි. ඒ පැත්තෙන් කාකිසූට් කාරයෙක් මට පහර දෙන්නට කැසකවන විට මා කළේ අසුනේ අනිත් පසට ඇදී යෑම යි.

රාජා අලහප්පෙරුම ගේ මුහුණට පොලිස් නිලධාරියකු පහර පිට පහර දෙයි. ඔහු ගේ තොලකින් ලේ ගලන හැටි මා නෙත ගැටිණි. ඉදිරි වම්පස අසුනේ හිඳින බාටා සගයාගෙන් ද රුධිරය වහනය වෙයි.

රියැදුරු අසුනේ සිටින රාජා  ට පොලිස් නිලධාරියෙක් කීවේ ජිප් රිය පසුපසින් ඔහු ගේ රිය පදවා ගෙන එන ලෙස යි. එහෙම කී නිලධාරියා මටත් බාටා සගයාටත් පොලිස් ජීප් රියට නගින සේ විධානයක් කළේ ය.
මම දොර හැර වාහනයේ වම් පසින් බැස ජිප් රිය කරා ගෑටුවෙමි. භාග්‍යයෙකි.

පොලිස් ජ්ප්රිය පදවන පොලිස් රියැදුරා කලක් තිස්සේ ගාල්ල මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ ඇල්බට් සාජන්ට් වරයා යි. ඔහු මා ඉතා හොඳින් බෝ හොඳින් දන්නා පොලිස් සගයෙකි. සැණෙකින් මා පොල්ස් ජිප් රියට ගොඩ වැදෙමින් රියැදුරු පොලිස් සැරයන් ඇමතී මි.

මචං ඇල්බට්… මේ කොහේ පොලිසිය ද?’’
‘‘මීටියගොඩ….’’
‘‘ ඕඅයිසී සුමිත් නේ ද?’’
‘‘ඔව් ඔව්… සුමිත් මහත්තයා තමයි’’

අපේ දෙබස විනාඩියක තරම් වූවකි. ඒත් එක්කම මා දැක්කේ සුමිත් එදිරිසිංහ ජිප් රියේ පසුපස කරා එන අයුරු ය. හේ ඔසවා ගත්තු ටී පනස් හයේ ගිනි අවියකින් සන්නද්ධ ය. එය ඔසවා ගත්තු ඔහු එන්නේ මා කරා ය.
ඔහු වෙත ඍජුව බැල්මක් පෑ මම ‘‘සුමිත්…..’’ යි කෑ ගෑවෙමි.

මගේ හඬ මුවින් නිකුත් වූ සැණින් පොලිස් නිලධාරිවරයා කිසියම් වික්ෂිප්ත බවකට පත් වූ අයුරු මට පෙනේ. ප‍්‍රදේශයේ නීතිය හා සාමය රකිනා නිලධාරියා වන තමන්ට තම නම පමණක් කියා කෑ ගානා පුද්ගලයා වෙත ඔහු බැලූවේ මොනවගේ මුහුණකින් දැ යි මට දැනුදු මතකයට නැෙඟ්.
ඔහු මා දිහා ඍජු බැල්මකින් සිටිද්දී මම යළි ඔහු ඇමතුවෙමි.

‘‘සුමිත්…. මං සුගතපාල මැන්දිස්…. ඊයෙ හවහත් මං කතා කළේ…. ඒ සුගතපාල තමයි මං’’
හේ අයාගත්තු වතින් මා වෙත හෙළුෑ බැල්මත් ඊළඟට නළලේ අතක් ගසා ගත් අයුරුත් කියා පෑවේ කිසියම් බරපතළ අනතුරකට අප මුහුණ දී සිටින බව යි.

‘‘ම්හ්…. ම්හ්ග්… සුගතෙ… ඉක්මනට යන්න…. ඉක්මනට යන්න…’’ ඔහු කීවේ එපමණකි. ජීප් රියෙන් බට මා යළි මෝටර් රියේ පසුපස අසුනට ගොඩවෙද්දී දැක්කේ බාටා සාප්පුවේ සගයා අල්ලා ගෙන හුන් නිලධාරියෙක් ඔහු ගේ අත ලිහිල් කරන අයුරු ය.

කිසිවකුට කිසිවක් හිතා ගන්නට බැරිය. මෝටර් රිය නතර කරන ලද තැන පිහිටි නිවෙස් දෙකෙහි නිවැසියන් කිසිවකුත් දක්නට නැත. ඔවුන් වාෂ්ප වන්නට ඇත්තේ මීටියගොඩ පොලිසියේ ජිප් රිය අප හඹා ඇවිත් නතර කරනවාත් එක්කම විය හැක. සුමිත් එදිරිසිංහ (විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති.* එහි ඉදිරිපස අසුනේ සිට සිය නිලධාරීන්ට අපේ වාහනය අත්අඩංගුවට ගන්නට නියෝග දෙන්නට ඇත. ඊට හේතුභූත වූ කරුණු කාරණා කිසිවක් අප දන්නේ නැත. කොහොම වුණත් ඔවුන් අප හඹා අවේ වෙඩි ප‍්‍රහාර එල්ල කරමිනි. ඒ වෙඩි ප‍්‍රහාරයේ උණ්ඩ එකකට හෝ අප තිදෙනාගෙන් එක් අයකු හෝ ඉලක්ක වූවා නම්……

දැන් රාජා රිය පදවන්නේ ටී පනස් හය ගින අවි කඳකින් ලද වේදනාවන්ගෙන් පිරුණු වතිනි. සිතිනි. තිදෙනා ම එකිනෙකා ගේ ලෝකවල ය. අලහප්පෙරුම ලාන්සරය පදවන්නේ ලෝක දෙකක රැුඳෙමින් විය හැකි ය. අප රැුගත් මෝටර් රථය මීටියගොඩ හන්දිය පියමං කර ඉස්සරහට ධාවනය වෙද්දී පාර මැද දැක්කේ මාර්ග බාධකයකි. පොලිස් මාර්ග බාධකය මීටියගොඩ පොලිසියේ ආරක්ෂාවට යොදා ඇත.

හැබැයි මාර්ග බාධකය ඉස්සරහ හිටින්නේ යුද සෙබළෙකි. ඔහු අපේ කාර් එක නතර කරන සේ සංඥාවක් කළේ ය.
ඒ සෙබළා මගේ ඥාතියකු බව දැක්ක මා වහා රියේ දොර විවර කරගෙන ඔහු කරා පිය නැගිමි.
‘‘සුගතෙ අයියා…. කොහෙද ගියේ’’

සෙබළා විමසී ය. ඔහු බූස්සේ පන්සල පාරේ පදිංචිව හුන් ගාල්ල වෙස්ටර්න් ස්ටුඩියෝවේ හිටපු ප‍්‍රධාන ඡුායාරූප ශිල්පී සුසිරිපාල මාමා ගේ දෙවැනි පුතා ය. හේ හමුදා කෝප‍්‍රල්වරයෙකි.
‘‘මල්ලි ගියා ඡුන්දෙ කොහොම ද බලන්න…..’’
‘‘ආහ්ග්’’

‘‘මල්ලි මොනව හරි සිද්ධියක් වෙලා ද.?‘‘
”ඔව් අයියෙ… අම්බලන්ගොඩ පොල්වත්තෙ බූත් එකකට වෙඩි තියලා ආරංචියෙ හැටියට නම් දෙන්නෙක් මැරිලා…. වෙඩි තියල තියෙන්නෙ රතුපාට වාහනේකින් ඇවිත්…..’’
සුසිරිපාල මාමා ගේ පුත් හමුදා සෙබළ මලයා පිළිවදන් බැන්දේය.
විනාඩි ගණනාවකට කලින් අපට මුහුණ දුන් සිදුවීම ඔහු හා පැවසී ය.

‘‘අයියේ…. අයියල ඉක්මන් කරල යන්න… මොකද අයියලගෙ වාහනෙත් රතුපාට එකක් හින්ද තමයි පොලිසියෙන් වෙඩි තියන්න ඇත්තෙ…. රතුපාට තමයි ප‍්‍රශ්නෙ වෙන්න ඇත්තෙ…’’

හේ දුන් උපදෙස පිළිගත්තු අප තුන් දෙනා තත්පරයක්වත් පරක් වූයේ නැතිව ගාල්ල දිහාවට ගමන් ගතිමු. කහව හන්දියට ළඟා වූ සැණින් වෙරළ පැත්තේ සිය මෝටර් රථය නවතා ලූ රාජා අලහප්පෙරුම මිතුරා ඩිකියේ තබා තිබූ අඩක් පානය කර තිබූ බිහෙව් බ‍්‍රැන්ඩි භාගයේ ඉතිරිය අමුවෙන් ම කටේ හළා ගත්තේ ඔහු අත්විඳි සියලූ දෝමනස්සයන් එයින් දවා පුළුස්සා දියකර හරින්නට මෙනි.

‘‘සුගතෙ අද අපේ ලොකු ග‍්‍රහ අපලයක් ගෙවුණා නේ ද?’’
‘‘ලොකු මාරක අපලයක්…… නේ ද රාජා මහත්තයෝ…’’ එතෙක් වෙලාවක් මුනිවත රැුක්ක බාටා සගයා කීවේ ළාවට වගා කරගත්තු හිනාවකිනි.

‘‘මම  ඕඅයිසීට නම කියල කෑ ගැහුවෙ නැත්තං ඉතින්….’’
යළි රිය ගාල්ල බලා ධාවනය කරද්දී මා ඔවුන්ට කීවේ මේ ගැන ගාල්ලේ පොලිස් ලොක්කා වූ වීරරත්නට පවසන බවයි.

‘‘ඔව් ඔව් ඒක හොඳයි…. ඒක හොඳයි’’
දෙන්නා ම පිළිවදන් බැන්දහ.

ගාලූ ආ වහා මා පොලිසියට ගොස් වීරරත්න උන්නැහෙට අප මූණ දුන් බියකරු සිදුවීම පැවසීමි.
‘‘හොඳයි… මට ඔයා  ඕක ලියල දෙන්න කො… අනිත් දෙන්න ගෙත් අස්සන් එක්ක…’’

මම වීරරත්න උන්නැහෙ කී පරිදි ලිපියක් ලියාගෙන රාජා හම්බවෙන්න ගියෙමි. ඒත් රාජා වීරරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවී මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර කටයුතු කරන්නට දැක්වූයේ දැඩි අකමැත්තකි. ඒ වන විටත් ඔහු ගේ මුහුණ ඉදිමී තිබුණි. ටී පනස්හයේ බඳෙන් ලද වේදනාවන්ගෙන් හේ තවමත් පීඩා විඳින අයුරු මට හිතාගත හැකි ය.
ජනාධිපතිවරණයේ ඡුන්ද පෙට්ටි ගාල්ල කච්චේරියට ගෙනැවිත් ඡුන්ද ගණන් කිරීම ඇරඹෙද්දී වීරරත්න උන්නැහෙ මා දැක අපේ පැමිණිල්ල මගෙන් ඉල්ලූවේ ය. අනෙක් සගයන් ඊට කැමැත්තක් නො දැක්වීම ගැන මා ඔහුට කී විට හේ ඔහුගෙන් දිස්වූයේ කිසියම් නොසතුටකි.

සුගතපාල මැන්දිස්
sugathapalamnendis@gmail.com