ආහාර තේරීම බොහෝ දරුවන් අතර වර්තමානයේදී දැකිය හැකි තත්ත්වයකි.  සමහර දරුවන් ආහාර කිහිපයක් තෝරා ඒවා ආහාරයට නොගන්නා අතර බොහෝ ආහාර වර්ග අනුභව කරති.  එහෙත් සමහර  දරුවන් දිනපතා ඉතා සීමිත ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගන්නා අතර බොහෝ ආහාර ප්‍රතික්ෂේප කරති.

අතීතයේදී නම්, මිනිසුන් සරල ජීවන රටාවකට පුරුදුව සිටියහ. එහෙත් ඔවුන්ගේ ආහාර ඉතා විවිධත්වයෙන් යුතු දේ විය. තම ගෙවත්තේ වගා කළ හැකි භෝග වර්ග මෙන්ම වනයෙන් සොයා ගන්නා අල වර්ග, ධාන්‍ය වර්ග, පලතුරු කොළ වර්ග, මල් වර්ග, මුල් හා කඳන් රසවත් ආහාර ලෙස ඔවුහු පිළියෙල කරගත්හ. එමෙන්ම විවිධ සත්ත්ව මාංශ ද ඒ අතර විය.Dr-Thilini

වර්තමානයේ ජනගහන වර්ධනයත්, කාර්මික හා තාක්ෂණික දියුණුවත්, නාගරීකරණයත් නිසා බොහෝ ආහාර වාණිජ මට්ටමින්, මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කිරීමට සිදුවී ඇත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එළවළු වර්ග කීපයක් හා මාංශ ආහාර  වර්ග කිහිපයක් නිතරම ආහාරයට ගැනීමට වර්තමාන පරපුරට සිදුවී ඇත.

පහසුවෙන් පිළියෙල කරගැනීමට හැකිවීමත්, රස කාරක නිසා ඇතිවන ප්‍රියජනකභාවයත් නිසා වර්තමාන පරපුර මෙම ආහාර බොහෝ සෙයින් ප්‍රිය කරති. ආහාර නිෂ්පාදන ආයතනවලින් සිදුකරන  විචිත්‍ර දැන්වීම් හා නොමග යවන සුළු ‍පෝෂ්‍යදායි බව පිළිබඳ ප්‍රචාරණ තව දුරටත් මෙම ආහාර රාමු තුළ මිනිසුන් සිරකිරීමට සමත්ව ඇත.

මේ අතරතුර අපේ දරු පරපුර මෙම සීමා සහිත ආහාර අතුරෙන් පවා ආහාර තේරීමට පුරුදුව ඇත. සමහර  දරුවන් ඉතා සීමිත ආහාර වර්ග කීපයක් පමණක් දිනපතා ආහාරයට ගන්නා අතර අලුත් ආහාර හඳුන්වාදීමේදී බරපතළ ලෙස ඒවා ප්‍රතික්ෂේප කරනු  ලබයි.

මෙසේ සීමාසහිත ආහාර අනුභවය විශේෂයෙන් දරුවන් හට  ඛනිජ ලවන ඌණතාවන් ඇති කර මන්ද‍පෝෂණය ඇතිකිරීමට පවා හේතුවිය හැක.

මෙසේ තෝරා බේරා ගනිමින් ආහාර ගන්නා දරුවන් පහත ‍පෝෂණ ගැටලුවලට පහසුවෙන් ගොදුරු වෙති.

1. වයසට සරිලන උස නොමැතිකම
2.උසට සරිලන බර නොමැතිකම
3.ස්ථුලභාවය
4.යකඩ, සින්ක්, විටමින් ඒ විටමින් ඕ වැනි ක්ෂුද්‍ර ‍පෝෂණ ඌණතා’

මෙලෙස  ශරීරයට අවශ්‍ය ශක්තිය, වර්ධක ‍පෝෂක, ක්ෂුද්‍ර ‍පෝෂක වන විටමින් ඛනිජ ලවණ නොමැති විට දරුවෝ පහත රෝග ලක්ෂණ පෙන්වති

1. අලස බව/නිදිමත බව
2.ඉතා සමෛන් වැඩ කිරීම
3. පහසුවෙන් වෙහෙසකර ගතියකට පත්වීම
4.අවධානය යොමුකිරීමේ හැකියාව අඩුවීම
5. ඉගෙනීමේ දුර්වලතා
6.පහසුවෙන් සෙම් රෝග, අජීර්ණ රෝග වැනි බෝවන රෝග බෝවීම.
7.ක්‍රීඩා කිරීමේදී අවශ්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටම්වලට පැමිණීමට නොහැකිවීම.
8.පාසල් පැමිණීම දුර්වලවීම

එබැවින් නිසි ‍පෝෂණය නොමැති දරුවන් කායික හා මානසික වශයෙන් ඉතා දුර්වල ළමා පරපුරක් බිහිවීමට හේතු වේ.
දරුවන් තෝරාගත් ආහාර කිහිපයක් ගැනීමට හා අලුත් ආහාර ප්‍රතික්ෂේප කිරීමට  බොහෝ හේතු තිබිය හැක. ඒ අතරින් ප්‍රධාන වන්නේ

1. දරුවා විවිධ ආහාරවල රස, සුවඳ වයනය හුරුපුරුදු නොවීම.
2.සමහර  ආහාරවල පෙනුමට, රසට, සුවඳට දරුවන් අකමැතිවීම.
3.සමහර ආහාර අනාගැනීමට, හොඳින් සපා ආහාරයට ගැනීමට මැලිකමක් දැක්වීම.
4.මීට  පෙර එම ආහාරය ගැනීමේදී ඇතිවූ අපහසුතාවක් නිසා එය ප්‍රතික්ෂේප කිරීම.
උදා: පෙර අවස්ථාවක එම ආහාරය ගිලීමේ අපහසුතා ඔක්කාරය, වමනය ඇති වීම.

වෛද්‍ය විද්‍යාත්මකව බැලීමේදී දරුවා ආහාරවල රස ආදී ලක්ෂණ හඳුනාගන්නේ මව් කුසේ සිටියදීම බව හඳුනාගෙන ඇත. මව ගන්නා ආහාරවල ඇති රසායනික කොටස් දරුවා වට පිහිටි වතුර කොටසට එකතුවේ.  එය දරුවා ගිලීම ආදිය සිදු කරන බැවින් දරුවා මවගේ අහාර රටා මව් කුසේදීම අත්විඳියි. එම ආහාර ඔහු රුචිකත්වයක් ගොඩනගා ගනී. උපතෙන් පසුව මව්කිරි සමග ද මවගේ ආහාරයේ ඇති රස කොටස් දරුවා වෙත ලැබේ. ඉන් පසු හඳුන්වාදෙන අමතර ආහාර මගින් ද දරුවා  ක්‍රමයෙන් කැමති අකමැති ආහාර පිළිබඳ අදහස් ඇති කර ගනියි. එම නිසා මව් කුස පිළිසිඳගත් දා සිට මුල් ළමා විය දක්වා දරුවාට විවිධ ආහාර වර්ග  ලබා දීමෙන් දරුවා විවිධ අහාර ගැනීමට රුචිකත්වයක් දක්වන දරුවකු බවට පත් කර ගත හැක.

බොහෝ විට  ගැබිනි සමයේදී ඇතිවන ඔක්කාරය හා වමනය නිසා මවගේ ආහාර සීමාවේ. ජාතික හා ආගමික වශයෙන් පවතින සිරිත් විරිත් නිසාද ගැබිනි හා කිරිදෙන සමයේදී මවගේ ආහාර සීමා සහිත රාමුවකට  කොටුවේ. අමතර ආහාර හඳුන්වාදෙන සමයේදී ද සෙම සැර උෂ්ණ සීතල ආදී ලෙස හඳුන්වමින් දරුවාට ලබා දෙන අහාර සීමා කරති. මෙසේ විවිධත්වයෙන් අඩු ආහාර ලබා ගන්නා දරුවන් බොහෝ විට ආහාර තෝරමින් ඉතා සීමා සහිත ආහාර වර්ග ප්‍රමාණයක් ගැනීමට පුරුදු වෙති.

දැනටමත් ඔබේ දරුවා ආහාර තෝරන දරුවකු නම් එය මගහරවා ගැනීමට  ඔබට කටයුතු කළ හැක.  එහිදී ඔබට පහත දේ සිදු කළ හැක.

1. පවු‍ලේ සියලු දෙනා එක්ව ආහාරගැනීම
2. එහිදී ආහාරවල රස ගුණ ආදිය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම.
3.‍පොත් කියවීම, රූපවාහිනිය නැරඹීම, රේඩියෝව ඇසීම, ජංගම දුරකථන, ටැබ්ලට් හෝ වෙනත් පරිගණක උපාංග ආහාර ගැනීම අතරතුරදී නොකිරීම.
4.විවිධ ආහාර වර්ග විවිධ ආකාරයෙන් පිළියෙල කර අලුත් අත්දැකීමක් ලැබෙන අකාරයට පිළිගන්වන්න.

මෙසේ කටයුතු කිරීමෙන් ආහාර ගන්නා අවස්ථාව දරුවාට පී්‍රතිමත් අවස්ථාවක් බවට පත්වේ. එසේ පී්‍රතියෙන් සිටින දරුවාට නව ආහාර හඳුන්වා දීම පහසුය.

එමෙන්ම දරුවන් එක වරක් ආහාර පිළිගැන්වූ පමණින් එය පිළිගන්නේ නැත. ඔවුන් කිහිපවරක් ප්‍රතික්ෂේප කළද විවිධ ආකාරයෙන් ගුණාත්මක  ආහාර පිළිගන්වා බොහෝ වාර ගණනක් උත්සාහ කර දරුවා අලුත් ආහාර රුචි කරන දරුවකු බවට පත්කර ගත හැක.

ඉහත අලුත් ආහාර පවු‍ලේ සියලු දෙනාම එක්ව ගත යුතුවේ. ගුණාත්මක ආහාර පුරුදු දරුවාගේ පමණක් නොව පවු‍ලේ සියලු දෙනාගේ ‍පෝෂණ හා සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවයි. තවද කුඩා දරුවන් අනුගමනය කරන්නේ තම පවු‍ලේ ආහාර පුරුදුයි. පවු‍ලේ ආහාර පුරුදු සුදුසු පරිදි ඉහළ නැංවීමෙන් විවිධත්වයෙන්, ගුණාත්මක බවින් හා රසයෙන් ඉහළ ආහාර ගැනීමට දරුවන් නිතැතින්ම පුරුදු වෙති.

හොඳ ආහාර පුරුදු ඇගයීමද වැඩිහිටියන් අතින් සිදුවිය යුතු වැදගත් කාර්යයකි. බොහෝවිට වැඩිහිටියන් නරක ආහාර පුරුදු සඳහා අවවාද කිරීම හෝ අවලාද නැගීම සිදු කළත් හොඳ ආහාර පුරුදු ඇගයීම ඉතා අඩුවෙන් කරති. අවවාද කිරීමට වඩා හොඳ පුරුදු ඇගයීමෙන් දරුවා තුළ හොඳ පුරුදු වඩාත් ස්ථාපිත කළ හැක.

එසේ වුවද සමහර දරුවන් ඉතා දරදඬු ලෙස ආහාර ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබේ. එවිට දරුවා සමග ගැටුම් ඇතිකර නොගත යුතුය. එහිදී දරුවා එම ආහාරය ප්‍රතික්ෂේප කිරීමේ හේතුව දරුවාගෙන් අසා දැනගන්න. එය සුවඳ, රස,  පෙනුම තද හෝ මෘදු බව නිසා ඇතිවන්නක් නම් එය වෙනස්කර පිළිගන්වන්න.

එයද සාර්ථක නොවේ නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගෙන් උපදෙස් ගන්න. ඊට අමතරව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු මෙන්ම ළමා මානසික රෝග වෛද්‍යවරුන් ද  මෙවන් දරුවන් සඳහා  උපදෙස් ලබා දෙති. ඔබගේ රෝහ‍ලේ ‍පෝෂණ සායනයද මේ සඳහාම විශේෂිත ස්ථානයකි. එසේ වෛද්‍ය උපදෙස් මත ඔබට ඔබේ දරුවා ක්‍රමයෙන් වඩා නිවැරදි ආහාර පුරුදුවලට හුරු කරගත හැකිවේ.

මෙහිදී දෙමව්පිය වැඩිහිටියන්ගේ කැපවීම හා උනන්දුව දරුවා කෙරෙහි සංවේදී වීම ඉතාමත් අවශ්‍ය වේ.