අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මරදන්කඩවල ප්‍රදේශයේ ජනතාව කුහුඹු ප්‍රශ්නයකින් බැටකන බව අප ඉකුත් සතියේදී අනාවරණය කළෙමු.  කොඩෙයිනමින් හඳුන්වනු ලබන මෙම කුහුඹුවන් විශේෂය කළු පැහැයට සමාන වර්ණයකින් යුතු බවත්, වසර දෙකක පමණ කාලයක සිට මරදන්කඩවල ප්‍රදේශයේ ජනතාව මෙම කුහුඹු ප්‍රශ්නයෙන් බැටකන බවට ගම්වාසීන් අප සමඟ කියා සිටියහ. අප මෙම සුවිශේෂී කුහුඹු විශේෂය සම්බන්ධයෙන් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයෙකුගෙන් විමසා සිටියෙමු.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන අංශයේ, කීට විද්‍යා අංශයේ, ප්‍රධාන කෘෂි විද්‍යාඥ එස්. එස්. වැලිගමගේ මහතා සමඟ අප මෙම කුහුඹු විශේෂය පිළිබඳව සාකච්ඡා කළෙමු.

සාමාන්‍ය කලු කුහුඹුවන් නොවෙයි මේ. මේ අයට අපි කොඩයොකියලා කියනවා,  කාකයෝකියලා කියනවා. විවිධ නම් වලින් මේ කුහුඹුවන් හඳුන්වනවා.  මෑත කාලයක සිට මේ කුහුඹු විශේෂයේ විශාල වර්ධනයක් දකින්න ලැබෙනවා. මේ අය ගෙවල් ඇතුළටත් එනවා. යැයි වැලිගමගේ මහතා පැවසීය.

මෙම කුහුඹු විශේෂය විදෙස් රටකින් මෙරටට පැමිණි විශේෂයක්ද, නැතහොත් ලංකාවේ සිටි කුහුඹු විශේෂයක්ද යන්න පිළිබඳව මතෛක් පර්යේෂණ සිදුකෙරී නැත.

මේ කුහුඹුවන් විශේෂයෙන්ම ආහාරයට ගන්නේ සතුන්ගේ මස්. ඊට අමතරව සීනිත් ආහාරයට ගන්නවා. මැරුනු සතුන්, මාළු, කරවල, මස් මේ කුහුඹුවන් ආහාරයට ගන්නවා. මේ කුහුඹුවන් ගෙවල් ඇතුලටත් එන්නේ මස්, කරවල, සීනි ආදිය කන්න. මේ කුහුඹුවන් කුඩා සතුන් අල්ලාගෙන කනවා. මිනිස්සුන්ට දෂ්ට කරනවා. මේ කුහුඹුවන්ගේ සාමාන්‍ය විසක් තිබෙනවා. මී මැස්සෝ කෑවා තරම් විස නැති වුනත් නයි කූඹි කෑවා වගේ විසයි. සාමාන්‍ය කුහුඹුවාට වඩා මේ කුහුඹුවා ටිකක් විශාලයි. අපි මේ කුහුඹුවාගේ කූඩුවට පහරදුන් විට කුහුඹුවා උදරය ප්‍රදේශය උස්සාගෙන තමයි දෂ්ට කරන්න දඟලන්නේ. මේ කුහුඹුවා තද දුඹුරු පාටයි. යැයිද වැලිගමගේ මහතා පැවසුවේය.

මෙම කුහුඹුවන්ගේ කූඩුවල විශේෂත්වයක් තිබෙන බවද කෘෂි විද්‍යාඥ වැලිගමගේ මහතා කීවේය.
මේ අය කූඩු හදන්නේ ගස් වලයි. මේ අය ගස්වල කොල කොටස් හපලා ඒ අයගේ කෙළත් සමඟ මිශ්‍ර කරලායි. සෙලියුලෝස් වලින් හදන්නේ. ගස්වල හදන මේ කූඩුවට වතුර උරන්නේ නැහැ. ඊට හේතුව තමයි ඒ කූඩුව තට්ටු වශයෙන්  සකසා තිබිමයි. හරියට මේ කූඩුව දිස්වන්නේ දෙබර කූඩුවක් ආකාරයෙනුයි. ඉතින් මේ නිසා කූඩු වලට වතුර හෝ කෘමි නාශක දියර ඉස්සත් කූඩුව ඇතුලට යන්නේ නැහැ. මුලින්ම තියෙන ‍ලේයර් දෙක තුනක ගෑවිලා නවතිනවා. ඒවා ඇතුලට විසිරෙන්නේ නැහැ.  මේ කුහුඹුවෝ සිය කූඩු වලට වෙලා ඉන්නවා. මේ නිසා මේ කුහුඹු විශේෂය මර්ධනය කරන්න ටිකක් අමාරුයි. යැයි ඒ මහතා පැවසීය.
මෙම කුහුඹු විශේෂය වඳ කළ හැකි බවද ඒ මහතා පවසන්නේය.

අපි දැකලා තියෙනවා මේ කුහුඹුවන්ගේ කූඩුවලට භූමි තෙල් ඉසින්න පුළුවන්. වෙනත් කෘමි  නාශක වර්ගත් ඒ වගේම ඉසින්න පුළුවන්. ඒ නිසා ඒවායින් කාලයක් ගිහින් එම කුහුඹුවන් මියයන තත්වයක් දකින්න පුළුවන්. නිවෙස් වල සිටින කලු කුහුඹුවෝ මේ කුහුඹුවන්ට තර්ජනයක්. සාමාන්‍ය කලු කුහුඹුවන් කොඩයොන්ගේ බිත්තර සහ පිලව්, කීටයෝ ආහාරයට ගන්නවා. ඒ වගේම, ඒ නිසා මෙම කොඩයො වඳවීමකට ලක්වෙනවා. අපිට පුළුවන් නම් සාමාන්‍ය කලු කුහුඹුවන් ආරක්ෂා කරගැනීමට, බෝකර ගැනීමට එවිට මේ කුහුඹු තර්ජනයෙන් ගැලවෙන්න පුළුවන්.

මේ කුහුඹුවන් සිටින කූඩු වලට භූමිතෙල් ඉසින එක, කූඩු කඩන එක වගේම කූඩු පුළුස්සන එකත් මේ කුහුඹුවන් වඳ කිරීම සඳහා ගැනීමට පුළුවන් ක්‍රියාමාර්ග ලෙස සඳහන් කරන්න පුළුවන්. කෙක්කක් පන්දමක් වගේ සකස් කරලා ඉන් කූඩු පුළුස්සන එක, වහලට ගෑවෙන ගස්වල අතු කපන එක, ගේ වටේ සිමෙන්ති ‍පොළොවේ කැර‍පොතු චෝක් වලින් ඉරි ඇඳීම, එම කුහුඹුවන් නිවසට එන ස්ථාන වල ග්‍රීස් ආ‍ලේප කිරීම, සමහර කෘමි නාශක වර්ග වලින් පටියක් ආකාරයෙන් නිවස වටේ ඉසීම, කුහුඹුවන් සිටින කූඩු සහිත ගස් තනි  කිරීම, ඊට හේතුව  තමයි ගස් එකිනෙක ආසන්නව තියෙද්දී මේ අය ගහෙන් ගහට යනවා. එතකොට මේ අයට ගසේ කඳෙන් විතරයි එන්න පුළුවන්. ගස වටේටත් කෘමි නාශක පටියක් ආකාරයෙන් ඉසීමත් මේ කුහුඹුවන් මර්දනයට පිළියමක්.

තවත් ක්‍රමයක් තමයි දෙපැත්තම ඇලෙන සෙලෝටේප් වලින් ගසේ කඳ වටා ආවරණය කිරීම. ‍පොලිතින් එකක් ගසේ කඳ වටා ඔතා එහි පිට පැත්තේ ග්‍රීස් ආ‍ලේප කිරීම. මෙවැනි උපක්‍රම වලින් මේ කුහුඹුවන් පාලනය වීම සිදුවෙනවා. මොකද කියනවා නම් එමගින් කඳ දිගේ එන කුහුඹුවන් සෙලෝටේප් එකේ හෝ ග්‍රීස් තට්ටුවේ ඇලෙනවා.  මේ කටයුත්තට හැම දෙනාම සම්බන්ධ විය යුතුයි. තමන්ගේ වතුවල ගස්වල තිබෙන මේ කුහුඹුවන්ගේ කූඩු විනාශ කළ යුතුයි. යැයි වැඩිදුරටත් වැලිගමගේ මහතා පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com