ජාත්‍යන්තර සිනමාව සමග නිතර ගනුදෙනු කරන ඔහු අපේ රටේ සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු චන්ද්‍රන් රත්නම්ය. ඔහුගේ අකෝඩිං ටු මැතිව් චිත්‍රපට මේ දිනවල තිරගත වන නිසා මේ ඉඩ ඔහුට වෙන්කළා.

* අකෝඩිං ටු මැතිව් චිත්‍රපටයට මේ වෙනකොට තියෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇත්තටම සතුටුයි.

* චිත්‍රපටය රටවල් කීයක තිරගත වෙනවද?
මුළු ලෝකයේම තිරගත වෙනවා.

* සත්‍ය කතාවක් ඇසුරින් මේ චිත්‍රපටය ගොඩනගන්න හේතු වුණේ ඇයි?
ෆාදර් මැතිව් අපේ පවු‍ලේ හිතවතෙක්. මොකද අපේ ගෙදර මඟුල්, මරණ දේවල්වලදි එතුමා සහභාගි වුණා. චිත්‍රපටයක වැඩ වගයකට මට දවසක් වැලිකඩ හිරගෙදරට යන්න වෙනවා. එතැනදි මට ෆාදර් මැතිව් මුණ ගැහෙනවා. ඒ ෆාදර් කෙනෙක් විදිහට ‍නෙවෙයි ජම්පරයක් ඇඳගෙන. එතුමා මගෙන් ඉල්ලීමක් කළා එයාගෙ කතාව චිත්‍රපටයකට නගන්න කියලා. උසාවියෙන් තොරතුරු ගත්තහම තියෙන්නේ ඔහු වැරදිකරු ලෙස නම් කරලා එල්ලලා මරන්න. ෆාදර් කිව්වේ එයා නැවත අභියාචනාධිකරණයට යනවා. ඒ නිසා වැරදි වැඩ කරන්න එපා කියලා. ඒ නිසා මම මේ කතාවෙන් අයින් වෙනවා කියලා. ඔහු පසුව ජනාධිපතිනියගේ සමාව ලැබිලා ඇවිත් අවුරුද්දකින් ස්වර්ගස්ථ වුණා. ඇලිස්ටන් කොක් කියන්නේ මගේ හිතවතෙක්. මේ කතාව මම ඔහුට කියලා තියෙනවා. මේ කතාව චිත්‍රපටයකට නගන්න අදිමදි කරද්දි ඔහු තමයි මාව උනන්දු කරන්නේ. අන්තිමට ඔහුව ෆාදර් මැතිව්ගේ චරිතයට යොදා ගන්නවා.

  ෆාදර් මැතිව්ගේ චරිතය ගොඩනගද්දි බාධක ආවේ නැද්ද?
ආවා. ෆාදර් මැතිව්ගේ පවුලෙන් විරෝධයක් ආවා. දුරකථන ඇමැතුම් ආවා. උසාවියට යනවා කීවා. ඒ ආගමික නායකයන්ගෙන් විරෝධය ආවා. චිත්‍රපටය තහනම් කරන්න කියලා ජනාධිපතිට ලියුම් ගිහින් තියෙනවා. දැන් ඒ සියල්ල විසඳලා චිත්‍රපටය තිරගත වෙනවා.

* බාධක, අභියෝග මැද්දේ කොහොමද රූගත කිරීම් ආරම්භ කරන්නේ?
අපට කිසිම පල්ලියකින් අවසර ලබාදුන්නේ නැහැ චිත්‍රපටය කරන්න. මගේ චිත්‍රපටයට ඉඩ දෙන්න එපා කියලා ඔවුන්ට දැනුම් දීලා තිබුණා. පස්සේ අපි පල්ලියක් නිර්මාණය කළා. කාටවත්ම බැහැ නිර්මාණකරුවකු නතර කරන්න. ලංකාවේ කරන්න දුන්නෙ නැත්නම් ඉන්දියාවේ හරි මැ‍ලේසියාවේ හරි ගිහින් චිත්‍රපටය කරන්න හිතාගෙන හිටියා. මම කොහොමත් අභියෝගවලට කැමති කෙනෙක්.

* තවමත් මේ සඳහා විරෝධය එල්ල වෙනවද?
නැහැ. චිත්‍රපටය බලන්න ඕන නම් ඒ අය එයි. මම හිතන්නේ බලපු චිත්‍රපටය තව පාරක් බලන්න හිතෙනවා නම් ඒ චිත්‍රපටය සාර්ථකයි කියලා.

* දෙසැම්බර් මාසයේ චිත්‍රපටය තිරගත කිරීමෙන් ප්‍රතිචාරවල අඩුවක් වෙයි කියලා හිතෙන්නැද්ද?
නැහැ. මම හිතන්නේ නැහැ. මොකද ප්‍රදර්ශනය කරන්න ලැබුණු දිනයට තමයි චිත්‍රපටය තිරගත කළේ. මේක කාටවත් පහර ගහන්න හදපු නිර්මාණයක් ‍නෙවෙයි. ප්‍රශ්නවලදි අපේ ආගමේ නායකයන් මුණගැහෙන්න අපි යනවා. ඒ වගේ වෙලාවකදි අපේ දරුවන්ට අපයෝජනයක් කළොත්, මේ වගේ කී දෙනකුට මෙවැනි අකටයුතුකම් වෙලා තියෙනවද? මෙතුමාගේ බිරිඳ වගේම අනියම් බිරිඳත් මේ පුද්ගලයා කරපු වැරදි වැඩ දැනගෙන හිටියා. පල්ලියේ අයත් මේ පිළිබඳව දැනුවත් වෙලා හිටියා. එදා ඒ අය මෙවැනි වැරදි වැඩ කරන්න එපා කියලා කටක් ඇරලා ඔහුට කීවේ නැහැ.

* මෙම කතාව සිනමාවට නගද්දි ඇතැම් සිද්ධි වෙනස් කරන්න වුණාද?
නැහැ. කතාව වෙනස් කරලා නැහැ. ෆාදර්ට පුදුම බලයක් වගේම හැකියාවක් තිබුණා ඕනම කෙනෙක් ‍පොලඹවා ගන්න. ඒ නිසා ඔහු හිතුවේ කවදාවත් ඔහු වැරදිකාරයෙක් ලෙස අසුවන්නේ නැහැ කියලා. මම අද ආඩම්බර වෙනවා මේ චිත්‍රපටය නිර්මාණය කිරීම ගැන. අපේ දරුවන් අපේ අනාගතය. ඔවුන්ව අපි රැක ගන්න ඕන. මේ ගැටලු ලෝකයේ හැමතැනටම ‍පොදුයි. ඒ නිසා මේ චිත්‍රපටය ඇමෙරිකාවෙන් පවා ඉල්ලනවා.

* ඔබේ නිර්මාණ සඳහා ඇතැම් අවස්ථාවලදී ලෝක සිනමාවේ ජනප්‍රිය චරිත යොදා ගන්නේ චිත්‍රපටය විකුණ ගන්න නේද?
ඒක නිසා ‍නෙවෙයි. මම ඕන තරම් මගේ චිත්‍රපට සඳහා නවකයන්ට අවස්ථාව ලබාදීලා තියෙනවා. අලිමංකඩ, මේ වගේ ආදරයක් වගේ නිර්මාණවලට යොදාගත්තේ අලුත් මුහුණු.

* ඒ ක්‍රමය නිතරම සාර්ථක නැහැ නේද?
ඔව්. අපි නිතරම සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වගේම අසාර්ථක වෙන අවස්ථාත් තියෙනවා.

* මෙය ලාංකික නිර්මාණයක් ලෙසද ලෝකයට යන්නේ?
ඔව්. මෙය ලාංකික නිෂ්පාදනයක් ලෙසයි ලොව පුරා බෙදාහරින්නේ. මේ චිත්‍රපටයේ සියලුම නළු නිළියන් ලාංකිකයෝ. ඇල්ස්ටන් කොක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණාට ඔහුත් ලංකාවේ කෙනෙක්.

* අකෝඩිං ටු මැතිව් චිත්‍රපටයේ බ්‍රෑන්ඩ් නේම් එක ජැකලින්ද?
ඇය එක සාධකයක් විතරයි. මේ චිත්‍රපටය කරද්දි ජැකලින් ගොඩක්ම ජනප්‍රිය නැහැ. අවුරුදු දෙකහමාරකට කලින් ඇය අංක එක ‍නෙවෙයි ඉන්දියාවල. නමුත් අද ජැකලින් ඉන්දියාවේ අංක එක වෙලා තියෙනවා. නිතරම අපි කතාව ගැන හිතන්න ඕන. මොකද කතාන්දරය හරි ගියොත් තමයි චිත්‍රපටයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ. මේ කතාවට අපිට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා බලා‍පොරොත්තු වෙනවා.

* ඔබ නිතරම උත්සාහ කරන්නේ විශාල ප්‍රේක්ෂකාගාරයක් හදන්න. කොහොමද ඔබ ඒ අභියෝගය ජයගන්න වසරින් වසර අලුත් වෙන්නේ?
අපි නිතරම බලන්න ඕන චිත්‍රපටය කොහොමද අලෙවි කරන්නේ කියලා. නිතරම හිතන්න ඕන මිලියන ගණනක් ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයක් නරඹන තැනට වැඩ කරන්න. නිතරම ලෝක වෙළෙඳ‍පොළ වගේම අපේ අවට රටවල වෙළෙඳ‍පොළ ගැන සිතන්න ඕන. සිංහල ප්‍රේක්ෂකාගාරය සඳහා පමණක් චිත්‍රපට තනනවා නම් ඉතින් ලැබෙන්නේ ඉතා කුඩා ආදායමක්. මම යන්නේ හොලිවුඩ් සිස්ටම් එකට. චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන්නේ ටීම් වර්ක් එකක්. මට තනියම චිත්‍රපටයක් කරන්න බැහැ. හැමෝගෙන්ම ලැබෙන සහයෝගය නිසා තමයි චිත්‍රපටය සාර්ථක වෙන්නේ.

* ලෝක සිනමාවත් එක්ක ඔබේ ගනුදෙනුව මොන වගේද?
හොඳ සම්බන්ධයක් තියෙනවා. මොකද වසර ගණනාවක්ම ඔවුන්ගේ චිත්‍රපටත් එක්ක මම වැඩ කළා. වසර හතළිහක් මම බොලිවුඩ්වල හිටියේ. නිතරම මම ගනුදෙනු කරන්නේ ලෝක සිනමාවත් එක්කයි.

* චන්ද්‍රන් රත්නම්ගෙන් මෙරට සිනමාවට ලැබුණු දායකත්වය ප්‍රමාණවත්ද?
මම හිතනවා ප්‍රමාණවත් කියලා. මම සිංහල චිත්‍රපට හතක් හැදුවා. ඉස්සරහටත් හදනවා. ඒ වගේම මට ජාත්‍යන්තර ප්‍රේක්ෂකයොත් ඕන. කොමන් මෑන් චිත්‍රපට මෙඩ්රිඩ් උළෙ‍ලේ හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය වගේම හොඳම චිත්‍රපටයට හිමි සම්මාන ලැබුණා. ඒක අපේ රටට ලොකු ආඩම්බරයක්.

* දැනුම බෙදාහදා ගන්න අදහසක් නැද්ද?
මම ඒ දේ කරලා තියෙනවා. ඒ ගැන ප්‍රසිද්ධියේ කියන කෙනෙක් ‍නෙවෙයි මම.

 * වර්තමාන සිනමාව ගැන ඔබේ අදහස?
අපේ සංස්කෘතියත් එක්ක අපට හොඳ කතන්දර තියෙනවා. ඒවා වෙළෙඳ‍පොළට ගැළපෙන විදිහට නිර්මාණය කරලා ලෝකෙටම පෙන්වන්න ඕන. කතාවක් නැතුව නිර්මාණ කරන්න එපා. එහෙම කියන්නේ අපේ සිනමා කර්මාන්තයට විරුද්ධව ‍නෙවෙයි. මම අපේ සිනමාවට ආදරෙයි. සාමූහිකත්වය තියෙන්න ඕන. ඒ වගේම බෙදාහැරීම ක්‍රමවත් වෙන්න ඕන.

* තවත් අලුත් වැඩක් ආරම්භ කරන්නේ කවදාද?
ටු මයි කියලා අලුත් චිත්‍රපටයක් හදනවා. ඒක ළමයෙක්ගේ කතාවක්. ෆේස්බුක් එකෙන් තමයි ඒ කතාව නිර්මාණය කළේ. වියදම ඩොලර් මිලියන පහළොවක්. රඟපාන්නේ අමිතාබ් භච්චන් එක්ක පී.එස්. බ්‍රෝස්නස්, අලුත් අවුරුද්දේ ඉන්දියාවේ ඇසෑම්වලත්, ලංකාවේත් ෂූටින් පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා.

තිළිණි කරුණාරත්න

Untitled-20 Untitled-21 Untitled-22 Untitled-23 Untitled-24