1977 මැයි 20 වන දින තිරගත කරන ලද දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණය කතාව තිර රචනය සහ දෙබස් අරුණ ශාන්තිගේය. අරුණ ශාන්ති  හෙවත් සිරිල් පෙර්රා උපන්නේ 1926 පෙබරවාරි 12 වැනිදාය. ඒ වැලිවිට ප්‍රදේශයේ දීය. ඔහු ඉගෙනීම ආරම්භ කළේ බදුල්ල ධර්මදූත හා ශාන්ත බිඩිස් යන විදුහල් තුළිනි.

වැලිවිට දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ ගායකයකු ලෙස ඔහු ගීතිකා ගැයුවේය. ඔහුගේ මිහිරි කටහඬ නිසා විවිධ උත්සවවලදී ගායනා කිරීමේ අවස්ථාව ඔහුට ලැබිණි. ඒ අතර ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතය සැපයූ ටවර් හෝල් නාට්‍ය යුගයේ නගර ශෝබනී නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. ඒ අතරතුර ඔහු බි.ඒ.ඩබ්. ජයමාන්නගේ නාට්‍ය රඟපෑමේ පරීක්ෂණයකට පෙනී සිටියේය.  එහිදී ඔහුට දුන් දෙබස් කාණ්ඩය ඔහු රඟපාමින් පැවසූ ආකාරයට ජයමාන්ත මහත්සේ සතුටට පත්විය. තමුසෙට ගී ගායනා කරන්න පුළුවන් නම් ලංකාවේ දක්ෂම ගායිකා නිළිය වූ රුක්මණීදේවි සමග ප්‍රධාන චරිතය රඟපාන්නට දෙන බව පැවසීය. එහිදී  සිරිල් පෙරේරා දුකසැප නිති පෙරළේ ගීතය ගායනා කළේය.

1948 දෙසැම්බර් 30 වනදා චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉන්දියාවට ගිය නළුනිළියන් සමග සිරිල් පෙරේරා ද ගියේය. ඉන්දියා යන අතරමගදී රුක්මණී දේවියගේ සමීප මිතුරෙකු වීමේ අවස්ථාව ඔහුට හිමිවිය. ඉන්දියාවේදී චිත්‍රපටයේ වැඩ කටයුතු කෙරීගෙන යද්දී රුක්මණීදේවි අරුණශාන්ති අලළා කටකතා පැතිර ගියේය.
කෙසේ වෙතත් ඉන් එඩී ජයමාන්න කෝපයට පත්වී විවිධ බාධාවන් සිරිල් පෙරේරාට එල්ල වුවද ඔහු දක්ෂ නළුවකු බව පෙන්වමින් විශිෂ්ට රංගනයක යෙදුණේය. චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර ප්‍රදර්ශනය කළයුතු නාමාවලියේ රුක්මනී දේවියගේ නම සමග සිරිල් පෙරේරාගේ නම සඳහන් නොකරන ලෙස විරෝධයක් එඩී ජයමාන්නගෙන් එල්ල විය.

මේ ප්‍රශ්නයට මැදිවී සිටි බි.ඒ.ඩබ්. ජයමාන්නගේ ළඟම මිතුරෙක් හරි අපි ඔහුට අරුණශාන්ති කියලා ආරූඪ නාමයක් තබමු කීවේය.  පෙරළෙන ඉරණම ලංකවේ ප්‍රදර්ශනය ආරම්භ කළේ 1949 ඔක්තෝබර් 20 වැනිදාය. සිරිල් පෙරේරා නමින් ඉන්දියාවට ගිය ප්‍රධාන නළුවා චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරන විට අරුණ ශාන්ති නමින් බෞතිස්ම වී සිටියේය.

අරුණ ශාන්ති නමට සිරිල් පෙරේරා ද ඇලුම් කළේය. ඔහු එතැන් පටන් චිත්‍රපට රාශියක රඟපෑවේ අරුණ ශාන්ති නමිනි. ඒ.බි. රාජ් අධ්‍යක්ෂණය කළ ප්‍රේම තරඟය චිත්‍රටයේ  අයෙෂා වීරකෝන් සමග රඟපෑවේය. අනතුරුව රම්‍යලතා සොහොයුරෝ මා ආලය කළ තරුණිය වනමල පටාචාරා සසරක හැටි හොඳයි නරකයි දුප්පාගේ හිතවතා නිල්ල සොයා ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවේය.

චිත්‍රපට කර්මාන්තය ගැන මනා අධ්‍යයනයක් ලැබ සිටි ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අභිලාශයෙන් සිටියේය.  අරුණ ශාන්තිගේ නෑයෙකු වූ ජෝශප් වනිගරත්න නිෂ්පාදනය කරන ලද දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුගේය. එහි තිරනාටකයද ඔහු විසින් ලියන ලදී.
එහි කතාව මෙසේය.

එය මුහුදුකර ප්‍රදේශයකි. ගමේ සියල්ලන්ම ධීවර කර්මාන්තයෙන් ජීවත්වන කතෝලිකයන්ය. පල්ලිය සුවාමි මොවුන්ගේ ජීවිත විය. මෙම ගමේ සුවාමි සෙබස්තියන් පියතුමාය. එතුමා තරුණ වියත් මැදිවියත් අතර වූ කඩවසම් පුද්ගලයෙකි. බොනී සුවාමිගේ ආවතේව කරන තරුණයාය. ඔහු ද නැවතී සිටින්නේ පල්ලියේමය. පියතුමාගේ කෑම බිම සකසා දෙන ඔහු ගමේ කෙනෙක් නොවේ.

එලිසබෙත් ගමේ ධීවර පවුලකට අයත් රූමත් තරුණියකි. බොනී සහ එලිසබෙත් අතර පෙම් පලහිලව්වක් ඇතිවේ. පල්ලියේ අන්නවිරාලට වත් අගිදාට වත් පියතුමාටවත් මොවුන්ගේ පෙම් පලහිලව්ව ගැන කිසිදු හෝඩුවාවක් නොදැනෙන්නට ඔවුන් මේ ඇසුර ගෙන ගියා. සෙබස්තියන් පියතුමා  තම පාපැදියෙන් ගමවටා ගොස් දුප්පතුන්ට දීම සඳහා මුදල්, වියළි ආහාර වැනි දේවල් එකතු කරයි. ගමේ හැම ප්‍රශ්නයකටම පියතුමා මුහුණ දෙයි. ගම් වැසියන්ට කිසියම් ප්‍රශ්නයක් වූ විට ඔවුන් යන්නෙ ද සෙබස්තියන් පියතුමා ළඟටය.  ගම් වැසියන් සහ පියතුමාගේ අතර තිබුණේ එතරම් හොඳ අනේ‍යාන්‍ය සබඳතාවකි.

මේ අතර එලිසබෙත් ගැබිනියක් විය. ඇය වහා බොනි හමුවීමට ගොස් කාරණාව කීවේය. බොනී බොහොම සාමකාමී වී මෙවර ඔහු ගමේ ගොස් පැමිණි වහාම එලිසබෙත් කසාද බඳින බවට ‍පොරොන්දු විය. එලෙසින්ම ඔහු ඇයගෙන් ද  ‍පොරොන්දුවක් ගත්තේය. ඒ මේ පිළිබඳව තමා ගමේ ගොස් පැමිණෙන තෙක් කිසිවකුට නොකියන ලෙසය.

බොනී පසුදාම ගමේ ගියේ දින තුනකින් නැවත එනබව සෙබස්තියන් පියතුමාට පවසමිනි. එහෙත් ඔහු නැවත පැමිණියේ නැත. එලිසබෙත් මාස දෙකුනක් තිස්සේම පල්ලිය ළඟ කරකැවීම ජුවන් අන්නවිරාලගේ සහ අගිදාගේ උකුසු ඇසට ලක්විය.  එහෙත් නියම ඇත්ත සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එලිසබෙතක් පියතුමාගෙන් බොනිගේ නොපැමිණීම ගැන වහෙන් ඔරෝ භාෂාවෙන් විමසුවත් පියතුමාට ද එම ගැටලුව විසඳීමට නොහැකි විය. තවත්නම් බලාසිටියොත් විශාල ප්‍රශ්නයකට  මුහුණදීමට සිදුවන හෙයින් මෙම ප්‍රශ්නය සෙබස්තියන් පියතුමාට කිවයුතුයයි ඇයට සිතුනි. ඇය වහාම එතුමා හමුවීමට ගියේය. පියතුමා එලිසබත්ට කන්දුන්නේය. පියතුමා සමග එලිසබත් කතා කරන විට අගිදා එයට සවන්දුන්නාය. ඒ දෙබසින් අගිදා තේරුම් ගත්තේ සුවාමිගෙන් එලිසබත්ට බබෙක් කියාය. අගිදා මෙම සිදුවීම ගම වටා පැතිරෙව්වේය. එලිසබත් ද එම කතාව එලෙසම කීවේය.

පියතුමාට උපරිම වදදුන් ගම්මු එතුමා ගමෙන් පිට කළේය. එතුමා ඉබාගාතේ ගොස් නවතින්නේ බෞද්ධ ආරාමයකය. එක් දිනක් හදිස්සියේ මෙම පන්සලට පැමිණි  බොනී පියතුමා හිඟන්නෙක් ලෙස සිටිනු දැක තමා කළ වරද වටහාගෙන ගම්මුන්ට ඇත්ත ඇති සැටියෙන්  කියා පෑවේය. මුළු ගමම බොනීව සහ එලිසබත්ව මරන්ට තැත් කළේ ඔවුන් අතින් පියතුමාට සිදුවූ වැරැද්ද නිවැරදි කරන්නටය. එතුමා ඔවුන් දෙදෙනා ගම්මුන්ගෙන් බේරාගත්තේය.

මේ චිත්‍රපටය ඉදිරිපත් කිරීම ඩිකෝ ෆිල්ම්ස් මගිනි. නිෂ්පාදනය ජෝශප් වනිගරත්න වන අතර සම අධ්‍යක්ෂණය අරුණ ශාන්ති සහ ඇන්ටන් ගේ‍රගරිය. කැමරා අධ්‍යක්ෂණය වී. වාමදේවන් විසිනි.  කැමරා සහාය මයිකල් ජේ. වික්ටෝරියා සංස්කරණය ඩබ්ලිව්.ඩී.කේ. රූබන්ය. සහාය සංස්කරණය නිව්ටන් වීරසිංහ සමග ගාමිණී ජයමාන්නය. වේශ නිරූපණය ඩී.බි.  ඇන්ටනි සමග කේ. සුබ්බයියා විසිනි. කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය ජේ.ඒ. වින්සන්ට්.

පසුබිම් සංගීතය ඇම්.කේ. රොක්ෂාමි, සංගීතය අධ්‍යක්ෂණය ඩබ්.ඩී. අමරදේව. ඇම්.කේ. රොක්ෂාමි. ගීත පබැඳුම මහගමසේකර.  ගරු අබා කොස්තා පියනම. ධර්මසිරි ගමගේ යනාදීන්ගෙනි.

නළුනිළියන්: ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, මයිකල් වනිගරත්න ලැඩී රණසිංහ, බැප්ටිස් ප්‍රනාන්දු, මාක් සමරනායක, එඩී ජයමාන්න, ඇන්තනී සී. පෙරේරා, සෝමසිරි දෙහිපිටිය, වින්සන්ට් වාස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එම්.ඩී. කුලතුංග අරුණශාන්ති, ඩී.ආර්. නානායක්කාර, ශානති ‍ලේඛා, රුක්මණී දේවී, සෝනියා දිසා, ලතා ප්‍රනාන්දු, ජෝශප් සෙනෙවිරත්න, ග්‍රේස් ජයමාන්ත, ලීනා ප්‍රනාන්දු.

ඔස්කා මෙන්ඩිස්