”මෙන්න ආමි ඇවිල්ලා ඉන්නවා” යැයි එක්වරම එම මහලූ මිනිසා දෙමළෙන් කෑ ගසන්නට විය. මේ වන විටත් ලූතිනන් රත්නායක ඇතුළු පිරිස සිටියේ හමුදා නිල ඇඳුමින් සැරසී තම අවි ආයුධද සමගය. මහලූ මිනිසාගේ කෑ ගැසීමෙන් කලබලයට පත්වූ ගම්වැසියන් තම නිවෙස් අතහැර දිවයන්නට වූහ.

”දැන් මෙතැන හිටියොත් අපිව මාට්ටු වෙනවා. මේ වැඬේ හරියන්නේ නැහැ. අපි දැන් බඩගින්නේ ඉන්නේ දැන් ගමට යමු”යි ලූතිනන් රත්නායක යෝජනා කළේය.

”මිනිස්සු දුවද්දි අපිත් ගම තුළට දිව්වා. මුලින්ම ළිඳක් ළඟට දුවලා ඇතිවෙන්න වතුර බිව්වා. ඊටපස්සේ එතැනම තිබ්බ ගෙදර කුස්සියට කන්න දෙයක් හොයාගෙන රිංගුවා. බත් මුට්ටියක්, මුරුංගා හොදි, මඤ්ඤොක්කා එහෙම එතැන තිබුණා. බත් මුට්ටියට ඔක්කොම එළවළු ටික හලාගත්තා. හයදෙනාම වටවෙලා එක හට්ටියට අත් දාගෙන දඩි බිඩියේ කෑවා”

දවස් ගණනකින් කෑමක් දකින්නවත් නොවූයෙන් මෙය දිව්‍ය ඖෂධයක් මෙන් විය. මෙම නිවසේ කුඩා ළමයින් සිටින බව සෙල්ලම් බඩු වලින් පසක් විය.

”පව් බං මේ ගෙදර පොඩි එවුන් ඉන්නවා. මුන්ට කන්න උයාගත්ත එකනේ අපි කෑවේ. මුන් දුප්පත් මිනිස්සු යැයි බත් මුට්ටිය හිස් කරද්දි ලූතිනන් රත්නායක තම සගයන්ට කීවේය. එසේ කියූ ලූතිනන් රත්නායක තමා ළඟ තිබූ රුපියල් පනහක් කුස්සියේ වූ බත් මුට්ටියට දැමුවේය. ඉතිරි කණ්ඩායමද තමන් සතු වූ මුදලෙන් රුපියල් පනහක් එකතු කර එම බත් මුට්ටියට දමන්නට තරම් හිත් උණු වූවන් වූහ.

”ඒත් එක්කම අපි තව ගෙදරකට රිංගුවා. එහෙත් බතුයි, මුරුංගා, අල, වම්බටු එකට දාල හදපු හොද්දක් තිබුණා. ඒ ටිකත් එකට දාගෙන දඩි බිඩි ගාලා කෑවා. අපි ගෙවල් දෙක තුනකින් මේ ආකාරයට කෑවා. කාල ඉවර වුණ ගමන් ප‍්‍රනාන්දු පොල් ගසකට නැගලා පොල් කුරුම්බා  කඩලා ගෙනාවා. ඒකෙන් බඬේ ඉතිරිටිකත් පුරවා ගත්තා. තවත් වෙලාව ගත නොකර මෙතැනින් පැනගන්න අපි තීරණය කළා. අපි කැළේ පැත්තට ගිහින් ගිය මඟ වෙනස් කර ගම ආසන්නයටම වෙන තැනකින් ඇවිත් ලොකු ගහක් අසල සැඟවුණා. අපි ගම පේන නොපෙනෙන මානයට වෙලා හිටියා. කැලයට ගියොත් කැළේ ඇතුලට කොටි ඒවී කියලා අපිට සැකයක් ඇති වුණා. අපි ගමෙන් ගිහිල්ලා විනාඩි දහයක් යන්නත් කලින් තුවක්කු සවිකළ කැබ් එකක් ගමට ආවා. ගමට ඇවිත් කොටි දෙමළෙන් කෑ ගසන්නට වුණා.

මුක් අපි කැලය පැත්තට ගිය පැත්ත බලලා. කැලෙන් එළියට එන්න කියලා කෑගහන්න වුණා. ඊට පස්සේ කැබ් එකේ ආපු කොටි දිගට හරහට වෙඩි තියන්න වුණා. උන් හවස් වෙනකම්ම වෙඩි තිබ්බා. මෝටාර් ගැහුවා. අපි කැලය ඇතුළට යනවා වගේ ගිහිල්ලා හොරෙන් ගම ළඟට නෑවිත් කැලේ හැංගුණා නම් මේ ප‍්‍රහාරවලට අහුවෙනවා. අඳුර වැටෙනකම් වටේටම ගහලා උන් යන්න ගියා.

අපි කොටි එනකොටම බිම පෙරළී තිබුණු ලොකු ගහ ළඟ වැල්ලේ වලවල් හාරාගෙන නිදාගෙන වගේ ඇඟවල් වැලිවලින් වහගත්තා. කොටි අපිව හොයන්න ගමම පීරුවා. අපි ඉන්න ළඟටම ඇවිත් වෙඩි තිය තියා ගියා. මේ මොහොතේ බේරුණේ අනූනවයෙන්. රාත‍්‍රිය වනතුරු සැඟවී සිටි ලූතිනන් රත්නායක ඇතුළු හයදෙනා මුහුදු රළ ගසන ශබ්දය ඔස්සේ මුහුදු වෙරළ දෙසට පැමිණියහ. වෙරළ අයින දිගේ ගමන් කර මුතූර් ජැටිය වෙත යාමේ අදහසක් තිබුණද එය තවමත් කොටින්ගේ ග‍්‍රහණයේ ඇතැයි මෙම කණ්ඩායමට සැකයක් ඇති විණි. මේවන විටත් සහායක බළඇණි පැමිණ මුතූර් කඳවුර හා මෙම සටනේදී මගහැරුණු කොමාන්ඩෝ භටයින් බේරාගැනීමට සමත්වුවද පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර වැඩ නොකළෙන් සිදුවන්නේ කුමක්දැයි මොවුන්ට දැනගන්නට මගක් නොවිණි. මුතූර් ජැටිය කොටින් අතේ යැයි සංකල්පනය කළේ මේ නිසාය.

තවත් මෙම ප‍්‍රදේශයේ රැු`දී සිටීම අනතුරුදායක බැවින් බෝට්ටුවක් සොයාගෙන මුහුදින් පැනගැනීමට මෙම කණ්ඩායම සැලසුම් කර තිබිණි.

”අපිට තියෙන එකම විකල්පය බෝට්ටුවකින් මුහුදට ගිහින් හබල් ගහල යන එක විතරයි. හබල් ගහලා යනකොට අනිවාර්යෙන්ම ප‍්‍රීමා එක පේන්න  ඕන. අර ලයිට් එළිය අහසට තියෙන්නේ ටි‍්‍රන්කෝවල. අපි ඒ පැත්තට යන්න  ඕන” යැයි මෙම පිරිස කතිකා කර ගත්හ.

මෙම පිරිසට මීළඟට තිබුණු අභියෝගය වූයේ ගමනට බෝට්ටුවක් සොයා ගැනීමය. වෙරළ අයින දිගේ ඇවිද පැමිණ බෝට්ටුවක් සොයාගත්තද එය හිල් වී ගිය එකක් විය. උත්සහය අත්නොහළ මෙම පිරිස වෙරළ දිගේ ධීවර ගම්මානය දෙසට පැමිණෙද්දි ඔරු නවතා තිබෙන අයුරු දක්නට විය.

”අපි ඉක්මනට එතනට දුවලා ආවා. බෝට්ටු අතරේ තිබුණු ෆයිබර් ග්ලාස් බෝට්ටුව අපේ ගමනට තෝරාගත්තා. ඔරුවල නැගී යන ගමන අවදානම් විය හැකි නිසා බෝට්ටුව තෝරා ගන්නට අපි කතා කරගත්තා. හයදෙනාම හබල් ගහමු කියලා එතන තිබුණු හබල්වලින් හොඳ හයක් තෝරාගත්තා. ගමන දවස් කීයක් යන්න වෙයිද කියලා හිතාගන්න බැරි නිසා කෑම, බීම අරගෙන යමු කියලා අපි යෝජනා කළා.

යළිත් ගම්මුන්ට නොදැනෙන්නට ඒ අසල ඇති ගමට රිංගා කලයක්, මැටි මුට්ටි දෙකක් හා ඇලූමිනියම් මුට්ටි දෙකක් සොයා ගත්තේය. එක් අයෙක් මේවාට වතුර පුරවද්දී, තවත් අයෙක් අසල වූ උක් පඳුරක් කපාගෙන ආවේය. සුපුරුදු පරිද්දෙන් පොල් ගසකට නැගගත් ප‍්‍රනාන්දු ශබ්ද නොඇසෙන්නට පොල්, කුරුම්බා කඩාගෙන බිමට බැස්සේය. දැන් මෙහෙයුමකට මෙන් සියලූදෙනා කඩිමුඩියේ සියලූ දෑ බෝට්ටුවට පටවා ගත්හ. සියල්ල සූදානම් කරගෙන වෙරළේ තිබූ ඔරු මුහුදට තල්ලූ කරන්නට පියවර ගත්තේය. ඒ මෙම ඔරුවල නැගී කොටි ත‍්‍රස්තයන් තමන් පසුපස ඒවි යැයි සිතාගත් ආරක්ෂිත පියවරකි.

”සර් දැන් ඔක්කොම හරි. ගමනට බඩු ලෑස්තියි” යැයි ප‍්‍රනාන්දු ලූතිනන් රත්නායකට කීවේය. මේ අනුව බෝට්ටුවට නැගගත් හයදෙනාම හබල් ගසන්නට වූහ.

මෙතෙක් වෙලා කොටි කටේ මරු හා සටන් කළ මෙම අභීත විරුවන් හයදෙනා රැුගත් බෝට්ටුව ටිකෙන් ටික මුහුද මැදට ඇදී ගියේ ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් ඇතිකරමින්ය. කොටි කටෙන් නික්ම යන තුරු හැකිතරම් වෙර යොදා හබල් ගසන්නට වූහ.

ලූතිනන් රත්නායක ඇතුළු හයදෙනාම බෝට්ටුව හබල් ගසන්නට විය. ගොඩබිමේ සිටින කොටින්ට තමන්ව නිරීක්ෂණය වුවහොත් වෙඩි තබන බවට ඇති විශ්වාසය නිසාම ගොඩබිම නොපෙනෙන තරම් ඈතට බෝට්ටුව දියත් කරන්නට හබල් ගැසූහ.

පසුදිනට එළිය වැටෙන්නට තවත් තිබුණේ හෝරා කිහිපයකි. ශාන්ත ගීතදේවගේ මතකයේ හැටියට මේ වනවිට වේලාව අලූයම හතරට පමණ විය.

අපිට විනාඩි විස්සක් විතර එකදිගට හබල් ගාද්දි ගොඩබිමෙන්  ඈතටම යන්න පුළුවන් වුණා. දැන් ගොඩබිම පේන්නෙම නැහැ. නාවික හමුදාවේ ප‍්‍රහාරක යාත‍්‍රාවකින් වෙඩි පිටවන හඬ ඇහුණා. අපිට දැන් තේරුණා අපි ත‍්‍රිකුණාමලයට ළංවෙනවා කියලා. ත‍්‍රිකුණාමලේ ප‍්‍රීමා පිටි කම්හලේ ගොඩනැගිලිවල ලයිට් ඈතින් පේනකොට හිතට හරිම සතුටක් දැනුණා. අපි ඒ වෙනකොට පොල්, කුරුම්බා කාලයි ජීවත් වුණේ. අපිට ජීවත් වෙන්න තවමත් අවස්ථාව තිබෙන බව හැමෝටම දැනුණා. ඒ වන විට අපි ඔක්කොම හබල් ගහලා හෙම්බත් වෙලා තිබුණේ. හරිම මහන්සියක් දැනුණා. දැන් එළිවෙන්නත් කිට්ටුයි. ප‍්‍රීමා එකේ තට්ටු ගනින්න පුළුවන් ගානට අපි ළං වුණා. වරායට ඇතුළු වන පැත්තේ නාවික හමුදාවේ ඩෝරා යාත‍්‍රා අපිට හොඳට පෙනුණා. අපිට දැන් සන්තෝසය කියලා නිම කරන්න බැහැ. අපි මේ සමග හබල් ගසන වේගය අඩු කළා. හිමින් හිමින් හබල් ගැහුවා.

කොමාන්ඩෝ විරුවන් හයදෙනා රැුගත් බෝට්ටුව බිහිසුුණු ඉරණමකට මුහුණ පෑවේ මෙතැන් පටන්ය. සියලූදෙනා කොටින්ගේ  මරු කටින් බේරී ජීවිතයේ නව බලාපොරොත්තු තබමින් සිටි මොහොතක දෛවයේ සරදමක් සේ බෝට්ටුවේ පාලනය ඔවුන්ගෙන්  ගිලිනුනේය. ක‍්‍රම ක‍්‍රමයෙන් බෝට්ටුව පාවී යන්නට විය. තත්පරයෙන් තත්පරය ගොඩබිම දෙසින් ඈත්වී දියඹ දෙසට ඇදී යන බව සියලූ දෙනාට හැඟුණේය. යළිත් බලාපොරොත්තු බිඳ වැටුණේය.

ලබන සතියට…
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com