මෙලොව ජීවත්වන සියලු දෙනා දියුණුවීමට කැමතිය. ඒ සඳහා නෙක විද උත්සාහයන් දරයි. නිතැතින්ම මෙය තන්හාව නොවේ. එය අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමකි. නමුත් අසීමිත අවශ්‍යතා සීමිත වූ ආදායමකින් සපුරා ගැනීමට උත්සාහ දැරීම පවා ඥානාන්විත නොවන කරුණකි. තමාට තම පවුලට අවශ්‍ය අවශ්‍යතා සැපිරීමටත්  පැවරී ඇති යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමටත්, අනාගතය වෙනුවෙන් යම් ඉතිරියක් කිරීමටත් ලැබිම සුබවාදී ලෙස ක්‍රියාත්මක විය යුතුය. මෙලෙස ලැබිම් ළඟා කරගත හැකි පහසු වූ ක්‍රම කීපයක් ද මෙයට පෙර ලිපියකින් දැනුවත් කළ අතර අද විග්‍රහ කරනු ලබන්නේ දියුණුව හඹා යන්නන් වෙනුවෙන් කළ යුතු කාර්යයන්ය. එය නිතැතින් කළ යුතු නිසා ආයාසමය කාර්යයකි. නමුත් එහි ප්‍රතිඵල ඉතා විශිෂ්ටය. නිවස තුළ සිදුකරනු ලබන වන්දනා ක්‍රමය හා යන්තරයක් මෙයට මුල් වෙයි.

භාවිත කරනු ලබන යන්තරය:
මේ සඳහා ලක්ෂ්මී පූජිත යන්තරය භාවිත කරයි. එය සමචතුරශ්‍රාකාර දිගින් හා පළලින් සමාන වන පැත්තක දිග 7 හෝ 9 ක් වන අඟල් ප්‍රමාණයෙන් යුතුව ගෙන අවම වශයෙන් තඹ තහඩුවකවත් නිවැරදිව ඇඳ ඊට නියමිත පුද තබා මන්ත්‍ර විධීන්ගෙන් සම්පූර්ණ කරගත යුතුය.  අනතුරුව ඉතා සුරැකිව යන්තරයේ ඉදිරිපසට හානි නොවන පරිදි රාමු කරගත යුතුය.
sampath-astrology
වතාවත් හා පිළිවෙත්:
පිහිටි ‍පොළවේ පටන් අඩි 3කට වඩා උසින් සහ ගෘහ මූලිකයාගේ උසට අඩු උසකින් නැගෙනහිර හෝ උතුරු දිසාව බලා යන්තරය තැන්පත් කළ යුතුය. ඒ ඉදිරිපිට කුඩා මුට්ටියක් තබා ඒ මුට්ටිය මත මුඩ්ඩ සහිත ‍පොල් ගෙඩියක් තැබිය යුතුය. මෙම ‍පොල් ගෙඩිය හා මුට්ටිය අතර පරතරය වළකාලීම සඳහා බුලත් කොළ තුනක් තැබිය යුතුය. එම මුට්ටිය තුළ ජලය දමා හිස් නොවන සේ දකුණු දිශාවට පවත්වා ගත යුතුය. තවද ඒ ආසන්නයේ ධන ලක්ෂ්මී මෑණියන්ගේ රූපයක් ද තබා වන්දනා කිරීම සිදුකළ යුතු අතර එම රූපය ද යන්තරයට මුහුණලා තැබිය යුතුය. තවද හඳුන් කූරක් දල්වා යන්තරයේ ඉදිරිපිට දක්ෂාණාවෘතව හත්වරක් කැරකැවිය යුතුය. ලක්ෂ්මී ස්තේ‍රා්ත්‍ර ගායනා කිරීම මෙවිට සිදු කරන්නේ නම් ඉතා ප්‍රබල වේ. දිනපතා නිවසින් පිටව යන විට වැඳ නමස්කාර කිරීමත් ඉතා යෝග්‍ය වන අතර ඉතා ප්‍රබල ප්‍රතිඵල තවත් වැඩිවන සාධකයකි.

මෙහි ගුණයන්:
ප්‍රබල ලැබිම් කාරකයකි. මුදල් ඉතිරිය වැඩිවේ. තැම්පත් ධනයට උරුමකම් කියයි. ලැබිම අතින් ප්‍රබලතම යන්තරය මෙයයි. ව්‍යාපාරික ස්ථානයක තබා වතාවත් සිදුකරන්නේ නම් ගැනුම්කරුවන් ආකර්ශනය වී ලැබිම් අධික කරයි. අනවශ්‍ය වියදම් අවම කරයි. සොරකම් කිරීම පාඩු ලැබිම ආදිය සඳහා සිත නොදෙයි. මෙකී නොකී ප්‍රතිඵල බොහෝ ක්‍රියාත්මක වනු ඇත.

යන්තර බලය තීව්‍ර කිරීම:
නියමිත දිශාවට තැබූ යන්ත්‍රය ඉදිරිපස ආවරණය කර තැබිමත් පිටස්තර පුද්ගලයින්ට පෙන්වීම හෝ ස්පර්ශයට ඉඩ නොතැබිමත් සතියකට වරක්වත් සාම්බ්‍රානි දුම් ඇල්ලීමත් තම ආගමික වතාවත් වලින් අනතුරුව මෙකී වතාවත්වලට යොමුවීමත් යන්තර බලය තීව්‍ර කරගැනීමේ සාධකයෝය.

මෙලෙස නිවස තුළ අසුබ ඥාති බලවේගවලින් තොරව වතාවත් සිදුකරන්නේ නම් ඉන් ලැබිය හැකි ප්‍රතිඵල ඉතා වාසනාවන්ත ප්‍රතිඵල වේ. මෙය ඉතා ප්‍රත්‍යක්ෂ වූ කටයුත්තකි.

කුමන රැකියාවක නිරත වුවද, කුමන ව්‍යාපාරයක් සිදු කළ ද තමා සිටින ආර්ථික තත්ත්වය ඉහළ ආර්ථිකයකට ළඟාවීමට මෙය මහත් පිටිවහලකි. ඉහළ ආදායම්ලාභීන්ට ද තම ආදායම් ස්ථිරව පවත්වා ගැනීමට මෙමගින් මහත් පිටිවහලක් ලැබේ. ‍පොදුවේ ගත්කල මෙමගින් තම නිවස හෝ ව්‍යාපාර නිතැතින්ම ලක්ෂ්මී වාසයක් වන්නේය.