සීත කඳුකරයේ සොඳුරු මිටියාවතක පිහිටි සුන්දර ගම්මානයේ ටියුලිප් කැකුළියක් බඳු රූසිරින් යුතු යුවතියක විය. ඇය නමින් රුක්ෂාණි වීරසේකරයි. රුක්ෂාණිගේ පියා නම ගිය රජයේ උසස් ආයතනයක සභාපතිවරයකු විය. රුක්ෂාණිගේ මව විවාහයට පෙර පෞද්ගලික අංශයෙහි විධායක ශ්‍රේණියේ රැකියාවක් සිදුකර තිබුණද විවාහයෙන් පසුව ඇයට රැකියාවට සමුදීමට සිදුවී තිබුණේ රුක්ෂාණිගේ පියාගේ කුල පරම්පරාවෙහි ඉගෙන ගැනීමට මිස රැකියා කිරීමට කුල කතුන්ට තිබූ තහංචිය හේතුවෙනි. වීරසේකර පවුලෙහි පිරිමි පාර්ශ්වයේ සියලු දෙනාම උසස් රැකියාවල නිරත වූ අතර ඔවුන්ට පරම්පරාවෙන් උරුම වූ දේ‍පොළ ඉඩකඩම්ද යහමින් පැවතුණු බැවින් අතමිටෙහි හිඟ පාඩුවක් නොවීය.

නිවසෙහි මෙහෙකරුවන් කිහිප දෙනකුම සිටි බැවින් වීරසේකර පවු‍ලේ සෑම කාන්තාවක්ම නිවෙසට වී ගත කරනු ලැබූයේ ඉතා අලස ජීවිතයකි. රුක්ෂාණිගේ මවගේ ජීවිතයද මේ ජීවන රටාවෙන් වෙනස් වූයේ නැත.

රුක්ෂාණිට සිටියේ එක් බාල සහෝදරයකු පමණි. මිල මුදල් යහමින් පවතිනවා සේම වීරසේකර පවු‍ලේ ‍ලේ උරුමයෙන් අධ්‍යාපන දක්ෂතාවයද ඉතා ඉහළින් පැවතුණු බැවින් රුක්ෂාණි මෙන්ම රුක්ෂාණිගේ සොහොයුරාද ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු හදාරනු ලැබිය. රුක්ෂාණි සරසවියේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන විට උසස් පෙළ ඉහළින්ම සමත් වූ රුක්ෂාණිගේ සොහොයුරා වූ රුක්ෂාන්ද රුක්ෂාණිගේම විශ්වවිද්‍යාලයට පැමිණ උපාධිය සම්පූර්ණ කිරීම ඇරඹූහ

රුක්ෂාණි උපාධිධාරිනියක වී දෙවසරක් ගතවී යනවිට සොහොයුරා වූ රුක්ෂාන්ද ඉතා ඉහළින් උපාධිය සම්පූර්ණ කර උපාධිධාරියකු විය. ප්‍රදේශයේ බලසම්පන්න පවුලක් වූ වීරසේකර පවුලට දේශපාලන සබඳතාවන්ද යහමින් තිබූ බැවින් රුක්ෂාන්ටද රජයේ ඉහළ තනතුරක් හිමි රැකියාවකට වරම් ලැබුණි.gunasekara

රැකියාවක් නොකළද රුක්ෂාණිද ගත කරනු ලැබූයේ අති සුඛෝපභෝගී ජීවිතයකි. රුක්ෂාණිගේ වැඩ කටයුතු සිදු කිරීම සඳහාම මෙහෙකාරියන් දෙදෙනකු යොදවා තිබුණි. එසේම සුඛෝපභෝගී රථයක්ද ඇය වෙනුවෙන් වෙන්වී තිබුණි. රුක්ෂාණිගේ මව්පියන්ගේ ඒකායන අරමුණවූයේ රුක්ෂාණිට සුදුසු මනාලයකු සොයා දීමයි.

ඉතා සතුටින් දුව පැන ඇවිදිමින් අතිශය සරල සැහැල්ලු ජීවිතයක් ගත කරමින් සිටි රුක්ෂාණි හිටි හැටියේම කිසිවකු සමග කතාබහ නොකරමින් බලාගත් අත බලා සිටින්නට විය. මව්පියන් දෙදෙනාද සහෝදරයාද ඇයට හතුරන් මෙන් විය. නෑදෑ හිතමිතුරන් පිළිබඳවද ඇයගේ තිබූ පැහැදීම අඩු විය. ඇය හිටිවනම ක්ලාන්ත වී බිම ඇද වැටුණි. ඇතැම් විට තද හිසරදයක් පැමිණෙන බව පවසමින් වේදනාවෙන් ඇඹරෙන්නට විය. ඇයට ඉතා දක්ෂ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර සිදුකළද සුවයක් නොවූ තැන මව්පියන් විසින් රුක්ෂාණි මනෝ උපදේශන සේවාවක් වෙත රැගෙන යනු ලැබිය. එහිදී මෝහන නිද්‍රාවට පත්කර රෝග නිධානය සොයා ගැනීම සඳහා මනෝ උපදේශකවරයා විසින් මෝහන නිද්‍රාවේ සිටි රුක්ෂාණි සමග කතාබහ කරන විට ඇය පැවසුවේ මෙබඳු කතාවකි.

“අපේ පවු‍ලේ ගෑනු අය හැමෝටම උරුම කාලා බිලා ගෙදරට වෙලා ඉන්නයි. මල්ලියි, මායි දෙන්නම පාස් කළේ එකම උපාධිය. එයාට වඩා මම ඉහළින්ම උපාධිය පාස්වුණා. ඒත් මම ගෙදර. එයා හොඳ ජොබ් එකක් කරනවා. ඒ විතරද?

දැන් අම්මලා මට මනමාලයෝ හොයනවා. මගේ කැමැත්තට මගේ ජීවිතේ කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. මම ඒ හැමදේම දරාගෙන ජීවත් වුණා. දැන් මගේ කසාදෙත් එයාලට ඕන විදියට වෙන්නයි යන්නේ. මම පිරිමි ළමයකුට ආදරේ කරනවා. එයා අපි තරම් ‍පොහොසත් නෑ. ඒත් එයා මට ආදරෙයි. මාත් එහෙමයි. මට වෙලාවකට මේ හැමදේම දාලා එයා එක්ක යන්න හිතෙනවා. ඒත අපේ තාත්ති මාවයි, එයාවයි දෙන්නම මරලා දාවිද කියලත් මට බයයි. මේ ගැන හිතද්දි මට ඔළුව රිදෙනවා. කන්නත් බෑ. මේ අපාගත ජීවිතයෙන් මිදෙන්නයි මට ඕන. මට රස්සාවකට යන්නත් නෑ. මට මගේ ජීවිතේ නැතිකර ගන්නත් හිතෙනවා.

රුක්ෂාණිගේ දුක්බර කතාව අසා සිටි මනෝ උපදේශකවරයා ඇයගේ අනාගතය සුබවාදී කරන බවට ‍පොරොන්දු දී ඇයව මෝහන නිද්‍රාවෙන් අවදි කරනු ලැබිය. එසේම රුක්ෂාණිගේ මවට සහ පියාටද උපදෙස් ලබාදී දරුවන්ට ඔවුන්ගේ ජීවිත නිසි වයසේදී භාරදීමේ වැදගත්කම පහදා දී මුළු පවුලම සමාදාන කළහ.