හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කරන ලද බව කියන ප්‍රකාශයක් තුළින් අධිකරණ ක්ෂේත්‍රය වෙත බරපතළ අපහාසයක් කර ඇතැයි පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් හෙට (26) ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

ඉකුත් 09 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගයට රැස් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, විනිසුරුවරුන් පස් දෙනකුගෙන් සමන්විත වුවහොත් ඉන් තිදෙනකු මෙහාට හා දෙකක් එහාට වන නිසා තීන්දුව තම පිලට වාසිදායක වනු ඇතැයි ඉකුත් 20 වැනිදා දෙරණ  නාළිකාවේ ‘වාදපිටිය’ සංවාදයට සහභාගි වෙමින් රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් කරන ලදැයි චෝදනා කරමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් අදාළ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිල්ලක්ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි.

ඉෂාර රත්නකාර