ප්‍රභූ ඝාතන ඉලක්ක ඇතුළු ත්‍රස්ත ක්‍රියා සඳහා පුදුකුඩිඉරිප්පු කේන්ද්‍ර කර ගනිමින් හිස එසවූ කොටි සාමාජිකයන් ප්‍රභූ ඝාතනයක් සඳහා එවූ තවත් නවීකරණය කරන ලද ස්නයිපර් අවියක් අතුරුදන් වී ඇතැයි බුද්ධි අංශ වාර්තා අනුව හෙළි වී ඇත.

ඔඩ්ඩුසුඩාන්හිදී ක්‍ලේමෝ බෝම්බ සමග මෙම වසරේ ජුනි 21දා අත්අඩංගුවට ගත් යළි නැගිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශය කල් තියා ජාතික ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ස්නයිපර් අවි දෙකක් ප්‍රභූ ඝාතන සඳහා වන්නියේ කුමාන්කුලම් සිට රැගෙන ආ බවට අනාවරණය වී ඇත. මේ සම්බන්ධව ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත ‍පොලිස්පති නියමයෙන් විමර්ශන භාර කර තිබුණේ ප්‍රභූ ඝාතන චෝදනාවට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාටය. ඔහු යටතේ කළ විමර්ශනවලදී නැගෙනහිරට එවූ ස්නයිපර් අවියක් අතුරුදන් වීමක් ගැන කලින් හෙළි වූ අතර එය ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි රහස් ‍පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත. කෙසේ වුවත් නවීකරණය කර හදන ලද ස්නයිපර් අවියට සිදුවූ දෙයක් තවමත් හෙළි වී නොමැති බවත් එයට සිදුවූයේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් බවත් බුද්ධි අංශ පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ප්‍රභූ ඝාතන සඳහා යළි හිස ඔසවන කොටි සාමාජිකයන් උත්සාහ ගත් බව බුද්ධි අංශ අනාවරණය කර තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා