මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට භාරදීම සඳහා දැවැන්ත මහජන පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු මේ මස 28 වැනිදා ආරම්භ කරන බව මව්බිම සුරකිමු ජාතික ව්‍යාපාරයේ සභාපති, නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ කටයුතු දීප ව්‍යාප්තව සිදුකරන බවද උන්වහන්සේ කියා සිටියහ.
කොළඹ නගරයේ කොටුව දුම්රිය ස්ථානය අසල, සම්බුද්ධාලෝක විහාරස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකදීම මහජනතාවට මෙම මහජන පෙත්සමට අත්සන් කිරීමට හැකි බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවලදී මෙන්ම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලදී ද මහජනතාවට මෙම මහජන පෙත්සමට අත්සන් කිරීමේ හැකියාව පවතින බව උන්වහන්සේ පැවසූහ.

මෙම මහජන පෙත්සම් සති දෙකක කාලයක් ඇතුළතදී ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බවත්, මහජන පෙත්සම සඳහා ලක්ෂ ගණනක් ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

සාලිය කුමාර ගුණසේකර