බොහෝ රජයේ කාර්යාල සුන්දර වටපිටාවකින් යුතුව පවත්වාගෙන යාමට රජයේ සේවකයින් තවමත් දක්වන්නේ අඩු උනන්දුවක් යැයි කිවහොත් නිවැරදිය. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථානවල සේම උප දුම්රිය ස්ථානවල තත්ත්වයද මෙයමය. යම් රජයේ ආයතනයක් සුන්දර වටපිටාවක් සහිතව පවත්වාගෙන යාමට රජයේ සේවකයකු සිය පෞද්ගලික මුදලක් වැය කරනු ලබයි නම් එය කලාතුරකින් අසන්නට ලැබෙන පුවතකි. සිය මුදල් වැය කරමින් සිය සේවා ස්ථානය තුළ සුන්දර වටපිටාවක් නිර්මාණය කරන අයකු පසුගියදා අපට මුණ ගැහුණේ මහයියාව උප දුම්රිය ස්ථානයේදීය.

මහනුවර නගරය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබේ. පේරාදෙණිය උද්භිද උද්‍යානය, මහනුවර වැව රවුම ආදිය මින් ප්‍රමුඛස්ථානයක් හිමිවේ. නමුත් මහනුවර රජයේ කාර්යාල රැසක මෙවන් සුන්දර වටපිටාවක් දැකිය නොහැකිය. මහනුවර ලෝක උරුම නගරයක් වුවත් එහි සුන්දරත්වය වැඩි කිරීමට බලධාරීන් නිසි උනන්දුවක් නොදැක්වීම විමතිය දනවන කරුණකි.

මහයියාව දුම්රිය ස්ථානය මාත‍ලේ දුම්රිය මාර්ගයේ පිහිටා තිබෙන උප දුම්රිය ස්ථානයකි. සරසවි උයන, මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය පසුකළ විට තුන්වැනියට හමුවන්නේ මහයියාව උප දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය ස්ථානයේ සුවිශේෂී කරුණක්ද වෙයි. එය නම් මාත‍ලේ දුම්රිය මාර්ගය ඉදිකරන සමයේම මෙම දුම්රිය‍පොළද ඉදිකර තිබිමයි. මාත‍ලේ සහ මහනුවර අතර දුම්රිය ගමන්වාර 12 ක් පමණ සිදුවන අතර, එම සෑම අවස්ථාවකදීම දුම්රිය මහයියාව දුම්රිය‍පොළේද නතර කෙරෙයි.

මහයියාව කනත්ත ආසන්නව ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති මෙම උප දුම්රිය ස්ථානය පසුගිය කාලය පුරාවටම පැවතියේ අපිරිසිදු තත්ත්වයෙනි. දුම්රිය ස්ථාන භූමියද කැලෑ වැදී තිබුණේය. මහයියාව ප්‍රදේශය විවිධ ජාවාරම්කරුවන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් ලෙසද සඳහන් කළ හැකිය. ගංජා,මත්කුඩු ජාවාරම මෙම ප්‍රදේශයේ යහමින් සිදුවේ. මෙම දුම්රිය‍පොළ වටා ප්‍රදේශය ගංජා පානය කරන්නන්ගේ තෝතැන්නක් බවට පසුගිය කාලයේ පත්ව තිබුණි. අපිරිසිදු දෑ දුම්රිය‍පොළ වටා බැහැර කිරීම නිසා දුම්රිය‍පොළ පැවතියේ ජරාජීර්ණවය.

මෙම උප දුම්රිය ස්ථානයට ස්ථිර දුම්රිය ස්ථානාධිපතිවරයකු නොමැති බැවින්, මහනුවර දුම්රිය ස්ථානයට අයත් උප දුම්රිය ස්ථාන භාරව කටයුතු කරනු ලැබූ ඉන්දික කුමාරසිංහ මහතා තාවකාලිකව මහයියාව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ කටයුතු භාර ගත්තේ දැනට මාස හතරකට පමණ පෙරය. අපිරිසිදු තත්ත්වයේ පැවති දුම්රිය ස්ථානය සිත්ගන්නාසුළු ස්ථානයක් බවට පත්කළ යුතු යැයි ඔහු සිතුවේය.

ඒ අනුව ඔහු සිය පෞද්ගලික මුදල් වැය කරමින් දුම්රිය ස්ථානය අලංකාර කිරීමට කටයුතු කළේය. තණකොළවලින් ගහණව පිහිටි පරිසරය සුද්ද පවිත්‍ර කළේය. ‍පොලිතින්, කඩදාසි ආදිය සියල්ල ඉවත් කළේය. සුද්ද පවිත්‍ර කළ දුම්රිය ස්ථානය වටා විවිධ මල් වර්ග සිටවූවේය. මල් ‍පෝච්චි ගෙනැවිත් තැබුවේය. සැබවින්ම මහයියාව දුම්රිය ස්ථානය කෙටි කලකදී ඔහු කණපිට පෙරලුවේය.

මීට පෙර මෙම දුම්රිය ස්ථානය අලංකාර කිරීමට ප්‍රදේශයේ ඇතැම් පෞද්ගලික ආයතන භාර ගත්තද එම කටයුතු නිසි පරිදි සිදුවී නොතිබිණි.

ඇත්තටම කාලයක් මේ දුම්රිය ස්ථානය අපිරිසිදුවයි පැවතුණේ. හැම තැනම කුණු පිරිලා. හවසට මෙතන සමහරු ගංජා ගහනවා. කුඩු උරනවා. ගෑනු ළමයකුටවත් එන්න බැරි තත්ත්වයකයි තිබුණේ. මේ දුම්රිය ස්ථානාධිපතිවරයා ආවාට පස්සේ මෙතැන පිළිවෙළක් කළා. ‍පොලීතින් ආදිය නිසි තැන්වලට බැහැර කළ යුතුයි. ඇත්තටම දැන්නම් මේ දුම්රිය ස්ථානය උද්‍යානයක් වගේ අලංකාරයි. යැයි මහයියාව දුම්රිය ස්ථානයේ සිටි මගියකු කීවේය.

ඉන්දික කුමාරසිංහ මහතා මෙම ස්ථානය අලංකාර කරනු ලැබුවේ විවිධ බාධාවන් මධ්‍යයේය. වරෙක ඔහු ප්ලාස්ටික් මල් ‍පෝච්චි කිහිපයක මල් පැළ සිටුවා දුම්රිය ස්ථානය ඉදිරිපිට තැබුවේය. එහෙත් පසුදින දක්නට ලැබුවේ එම මල්‍පෝච්චි ‍පොළොවේ ගසා කඩා බිඳ දමා ඇති අයුරුය. කොපමණ බාධා පැමිණියද ඔහු දුම්රිය ස්ථානය අලංකාර කිරීමේ කටයුතු අත්නොහළේය.

ප්‍රදේශයේ ඇතැමුන් දුම්රිය ස්ථානයේ බිත්ති හාරා බිත්තිවල අසැබි වදන් පවා ලියා තිබූ අවස්ථා පැවති බව දුම්රිය මගීන් පවසති. මෙම දුම්රිය ස්ථානයේ ගොඩනැගිලි තවමත් පැරණිය. වහලය අබලන් තත්ත්වයේ පවතින බැවින් වැසි දිනවලට වැසි ජලයෙන් දුම්රිය ස්ථානය පිරී යන්නේය. මෙම අඩුපාඩු සපුරාලීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවධානය යොමුකළ යුතු බව දුම්රිය මගීන් කියා සිටිති.

ඉන්දික කුමාරසිංහ මහතා සරසවි උයන දුම්රිය ස්ථානයේද කටයුතු කළේය. එහිදී ඔහු දුම්රිය මගීන්ගේ සහ තවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනකුගේ සහාය ඇතිව එම දුම්රිය ස්ථානයද අලංකාර කිරීමට කටයුතු කළේය. රඹුක්කන දුම්රිය ස්ථානයට ආසන්න යටගම උප දුම්රිය ස්ථානයද ඔහු අලංකාර කළේය.

පරිසරයට මහත් ලැදිකමක් දක්වන ඉන්දික කුමාරසිංහ ජනමාධ්‍ය විද්‍යාලයයේ පාඨමාලාවක්ද හදාරා ඇති අයෙකි.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com

a