බන්ධනාගාර භාරයේ සිටි සුවිශේෂි ගණයේ රැඳවූවෙක් අතුරුදන් වීමක් ගැන මේ වන විට ඇත්තේ දැඩි ආන්දෝලනයකි. සමස්ත බන්ධනාගර පද්ධතියේම ආරක්ෂාව පිළිබඳව නැවත වතාවක් සිතා බැලීමට බලධාරීන්ගේ අවධානය යොමු කෙරෙන්නා වූ එම රැඳවියා අතුරුදන්වූයේ කෙසේදැයි තවමත් අබිරහසකි. රැඳවියා අතුරුදන් වූයේ කොතැනකදීදැයි නිශ්චිතවම තවමත් අනාවරණය වී නැතත් කියැවෙන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රයේදි ඔහු අතුරුදන් වී ඇති බවය.

බන්ධනාගාර බස් රථයට සමාන ආකාරයේ බස් රථයකින් බන්ධනාගාර නිල ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් බටහිර චිත්‍රපටයක් සිහි ගන්වමින් ඔහුව රැගෙන ගිය බවට වූ කථාවක්ද මේ වන විට ගොඩනැගී හමාරය. එසේ එම රැඳවියාව රැගෙන ගියේ යැයි කියැවෙන්නේ ඉකුත් 17 වෙනි සෙනසුරාදා දහවල් කාලයේදීය. සුනිල් ශාන්ත වීරක්කොඩි නමැති එම රැඳවියා මේ වන විට ඩුබායිහි රැඳී සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් බව ඇතැම්හු කියති.

තවත් පිරිසක් කියන්නේ ඔහු මේ වන විට බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් සිද්ධික්ගේ සහ මොහොමඩ් සුසෙයිගේ ගෝලයෙක් බවය. මොහොමඩ් සුසෙයි මේ වන විට සිටින්නේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ලෙසිනි. ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පසුගිය ජූලි මාසයේදී බත්තරමුල්‍ලේ සුවිසල් නිවසකින් සොයා ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 101ද සුසෙයිගේය. සුනිල් ශාන්තව බන්ධනාගාරයෙන් පැන්නුවේ මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව බවට වූ කතාබහද සමාජයේ නැතුවාම නොවේ.

මේ සියල්ලම ඇත්තේ ඕපාදූප කථා හැටියටය. එහි ඇත්ත නැත්ත හෙළිකර ගන්නට නම් විමර්ශනයක් පැවැත්විය යුතුය. සාමන්‍යයෙන් සිදුවන්නේ යම් බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියෙක් හෝ රැඳවූවෙක් පලායාමකදී හෝ අතුරුදන්වීමකදී ඒ ගැන ‍පොලිසියට පැමිණිලි කිරීමය. එහෙත් සුනිල් ශාන්තගේ අතුරුදන්වීම ගැන මේ ලිපිය සටහන් තබන 23 වෙනිදා සවස් වන විටත් බන්ධනාගාර බලධාරීන් ‍පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ නැත. ඒ සුනිල් ශාන්ත අතුරුදන් වූයේ කෙසේදැයි කෙහෙදීදැයිවත් නිශ්චිත වශයෙන් කියන්නටවත් බන්ධනාගර බලධාරීන් මේ වන විටත් අ‍පොහොසත් වී ඇති නිසා වන්නට පුළුවන.

සුනිල් ශාන්ත වීරක්කොඩි නමැති මේ රැඳවියා  මත්කුඩු ජාවාරම්කරුවෙකි. ගෙවල් බිඳින සොරෙකි. මත්කුඩු පානයටද තදින් ඇබ්බැහි වූවෙකි. ඔහුගේ ගම් පළාත ලෙස සැලකෙන්නේ ගාල්ලය.

සුළු හොරකම්වලට බන්ධනාගාරගතවූ සුනිල් ශාන්ත මත්කුඩු ජාවාරමට අත‍පොත් තබන්නේ  බන්ධනාගාරයේදී දැනහඳුනා ගන්නා ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගෝලයෙක් ලෙසිනි. ඔහු කාලයක් තිස්සේ කොළඹට මත්කුඩු බෙදුවේ නාට්ටාමියෙක් ලෙස පෙනී සිටිමින් පිටකොටුවේ මුට්ට කරගසමිනි. ඒ ගැන ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඉව වැටීමත් සමග පසුගිය මැයි මාසයේදී ඔහුව අත්අඩංගුවට ගන්නේ හෙරොයින් ග්රෑම් 100ක් සමගිනි. අනතුරුව හොරණ මොරගහහේනේ පිහිටි ඔහු පදිංචිව සිටි නිවස පරීක්ෂාකර එහි තිබුණු සේප්පුවකින් තවත් හෙරොයින් කිලෝ දෙකයි ග්රෑම් 268ක් සොයා ගන්නට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වී තිබුණේය. ඒ වන විට ඔහුට එරෙහිව රට වටේම අධිකරණවලින් නිකුත්ව තිබුණූ වරෙන්තු ගණන පමණක් 07කි. ඒ සියලුම වරෙන්තු ඔහුට නිකුත්ව තිබුණේ සොරකම් නඩු සඳහා අධිකරණ හමුවේ පෙනී නොසිටීම නිසාය.

එදා මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත වීරක්කොඩිව ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඉදිරිපත් කරන්නේ හොරණ අධිකරණයටය. එහිදී ඔහුව රිමාන්ඩ්භාරයට පත් කිරීමෙන් පසු රඳවා තැබෙන්නේ කළුතර බන්ධනාගාරයේය. එහි රඳවා තැබුවත් ඔහුට එරෙහිව රට වටේම අධිකරණවල ඇති නඩු සඳහා ඔහුව ඉදිරිපත් කරන්නට බන්ධනාගාර බලධාරීන් වගබලා ගත්තේය. කෑගල්ල බන්ධනාගාරයට ඔහුව පසුගිය දිනක රැගෙන යන්නේ ඒ අනුවය.

ඒ ‍පොල්ගහවෙල අධිකරණයේ විභාග වන හොරකම් නඩුවකට ඉදිරිපත් කරන්නටය. සුනිල් ශාන්තගේ අතුරුදන්වීම සිදුවන්නේ කෑගල්ල බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුවය.

කෑගල්ල බන්ධනාගාරය පැත්තෙන් කියැවෙන්නේ පසුගිය 17 වෙනිදා උදෑසන රැඳවියන් 31 දෙනෙක් සමග සුනිල් ශාන්ත වීරක්කොඩිව කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන විත් භාරදුන් බවය. ඒ අය අතර 15 දෙනෙක්ම සිට ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට භාර දෙන රැඳවියන්ය. සෙසු රැඳවූවන් වෙනත් බන්ධනාගාරවලට රැගෙන යා යුතු අයය. එහි සිටි සුනිල් ශාන්ත විශේෂ ආරක්ෂණය යටතේ රඳවා තබා ගත වූවකි. ඔහුව රැගෙන යාමට නියමිතව තිබුණේ කළුතර බන්ධනාගාරයටය.

කළුතර බන්ධනාගාරයට රැගෙන යා යුතු රැඳවූවෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එන්නේ රැඳවූවන් බන්ධනාගාර අතර හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී වන බැවිනි. එදා දහවල් 12.00 පමණ වන විට කෑගල්ල බන්ධනාගාරයේ රැඳවූවන් රැගෙන ආ බස් රථයට අමතරව අනුරාධපුර, කළුතර, බදුල්ල, දුම්බර, ආදී බන්ධනාගාර රැසකම බස් රථ රැඳවූවන්ද සමග කොළඹ රිමාන්ඩ් බන්ධනාගර පරිශ්‍රයට පැමිණ තිබුනේය. කෑගල්ල බන්ධනාගාරය පැත්තෙන් කියැවෙන්නේ සුපුරුදු ලෙස තමන් රැගෙන පැමිණි රැඳවූවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට භාර දුන් බවය. සුනිල් ශාන්ත විශේෂ ආරක්ෂණය යටතේ සිටින රැඳවූවෙක් වන බැවින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර මැදිරියෙන් පිටතට ගත් ඔහුව කළුතර බන්ධනාගාරයෙන් පැමිණ සිටි නිලධාරීන්ට ආරක්ෂා සහිතව භාරදුන් බවය. කෑගල්ල බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ  කළුතර බන්ධනාගාර බස් රථය බන්ධනාගර රෝහල ආසන්නයේ නතර කර තිබුණු බැවින් කළුතර බන්ධනාගාරයේ නිලධාරීන් සමග බස් රථය අසලටම තමන් සුනිල් ශාන්ත සමග ගමන් කළ බවය. බස් රථය ඇතුළට සුනිල් ශාන්තව දමා එහි අගුල් ලෑවේද තමන් බව කෑගල්ල බන්ධනගාර නිලධාරීන් පවසති.

එසේ කළුතර බන්ධනාගාර නිලධාරීන්ට භාරදුන් බව කියන සුනිල් ශාන්ත අතුරුදන් වී ඇති බව හෙළිවන්නේ 19 වෙනි සඳුදා  හෙරොයින් කිලෝදෙකේ නඩුවට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමට ඔහුගේ නම  කථා කරන විටදීය. ඒ අනුව කළුතර බන්ධනාගාර බලධාරීන් ‍ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ කෑගල්ලට රැගෙන ගිය ඔහුව ඒ වන විටත් කළුතර බන්ධනාගාරයට රැගෙන විත් නැති බවය. කෑගල්ල බන්ධනාගාරයෙන් සුනිල් ශාන්ත ගැන විමසීමක් කරන්නේ ඒ අනුවය. එහිදී කෑගල්ල බන්ධනාගාරයෙන් ඊට පිළිතුරු ලැබෙන්නේ 17 වෙනිදා ඔහුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගරයට රැගෙන ගිය බවය. ඒ අනුව කළුතර බන්ධනාගාර බලධාරීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පරීක්ෂා කර බලන්නේ සුනිල් ශාන්ත වැරදීමකින් වත් එහි සිටීදැයි කියාය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන්ද  ඊට පිළිතුරු ලැබෙන්නේ සුනිල් ශාන්ත යැයි කියා රැඳවූවෙක් 17 වෙනිදා කෑගල්ලෙන් රැගෙන විත් නැති බවය. සුනිල් ශාන්ත නම් වූ රැඳවූවෙක් අතුරුදන්ව ඇති බව බන්ධනාගාර බලධාරීන් පවා දැන ගත්නේ ඒත් එක්කමය. ඔහු අතුරුදන් වන්නේ කෙසේදැයි තවමත් ඇත්තේ අබිරහසක් වූවත් ඒ හා බැඳුණු කථා බොහෝය.

බන්ධනාගාර බස් රථයකට සමාන බස් රථයකින් බන්ධනාගාර නිලධාරීන්ට සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් ඔහුව සැලසුම් සහගතව රැගෙන ගිය බවට වූ කථාව ඒ අතර සමාජයේ ප්‍රබල ලෙස පැතිර යන්නෙකි. ඒ කථාවල ඇත්ත සොයන්නට බන්ධනාගාර බලධාරීන් පවා උනන්දුවක් දක්වන බවක් නම් පෙනෙන්නට නැත. ඔවුන්ද දැන් සිටින්නේ නූල් පන්දුවක් මෙන් අවුලෙන් අවුලට පත්වය. ඒ රැඳවූවන් හුවමාරුවේදී අනුගමනය කල යුතු නිසි ක්‍රමවේදය කාලයක් තිස්සේ නිසි පරිදි සිදුවී නැති බැවිනි. සුනිල් ශාන්ත අතුරුදන් වීමට පවා බලපා ඇත්තේ එම පරිපාලන දුර්වලතාවය.

සුනිල් ශාන්තගේ අතුරුදන්වීම ගැන ‍පොලිසියට පැමිණිල්ක් නොකර ඔවුන්ම සුනිල් ශාන්තව කොටුකර ගන්නට උත්සාහ දරමින් සිටින්නේ ඒ නිසා වන්නට ඇත.

ගයාන් කුමාර වීරසිංහ