පරිහරණයට නුසුදුසු රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් පුවක් තොගයක් ඉන්දියාවට  අපනයනය කරන ලදැයි යන චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය ගොදුරු වී  ඇති බව පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය.

මෙම  නුසුදුසු තත්ත්වයේ පුවක් තොගය නාග්පූර්හි  හොර බඩු වැටලීමේ අධිකාරියේ අධ්‍යක්ෂවරයාගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට ව්‍යාපාරිකයකු ද සමගය.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ බවට ඔහු ජයසූරියගේ නම සමග තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුගේ නම් ද ලබා දී තිබිණ.

කෙසේ වුවත් මතෛක් අදාළ පුවක් තොගයේ නිශ්චිත වටිනාකම හෝ ජයසූරියගේ නම සමග හෙළි කරන ලද සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා කවුරුන්ද යන්න හෝ හෙළිදරව් වී නොතිබිණ.

මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා  සනත් ජයසූරියට මුම්බායි නගරයට පැමිණෙන ලෙස ඉන්දීය පරීක්ෂණ කණ්ඩායම විසින් දන්වා ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජයටද ඔවුන් ලිඛිතව සියලුම තොරතුරු ලබා දී තිබිණ.

තවද ජයසූරිය සමග චෝදනාවට ලක්ව සිටින සෙසු ක්‍රීඩකයින් දෙදෙනාටද ප්‍රශ්න කිරීම  සඳහා දෙසැම්බර් 2වැනිදා ඉන්දියාවට පැමිණෙන ලෙස ද දන්වා ඇත.

නාග්පූර්හි ඉන්දීය හොර බඩු වැටලීමේ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිලිප් සිවාරේ මහතාට අනුව මෙම පුවක් තොගය ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කොට පසුව ඉන්දියාවට අපනයනය කර ඇති බවය.

ඉන්දුනීසියාවෙන් ජුව ඉන්දියාවට පුවක් ගෙන්වන්නේ නම් සියයට එකසිය අටක  තීරු බද්දක් අය කරනු ලබයි.
මෙම විශාල තීරු බද්ද මගහැරීම සඳහා පළමුවෙන් අදාළ පුවක් තොගය ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා පසුව ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කර ඇත්තේ දකුණු ආසියානු කලාපීය රටවල් අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමට මුවා වෙමින් බව සඳහන්ය.

එම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ හොඳ තත්ත්වයේ දේශීය භාණ්ඩ තීරුබදු රහිතව ඉන්දියාව සමග හුවමාරු කර ගැනීමේ අවසරය හිමිය.

කෙසේ වුවත් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර ඇති සනත් ජයසූරිය අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර  ඇත්තේ ඊට තමන් කිසිසේත්ම සම්බන්ධ නැති බවය.

මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්. මම කිසිදිනක පුවක් සම්බන්ධ ව්‍යාපාරයකට මැදිහත් වෙලා නැහැ. මේ වනවිටත් මගේ නීතිඥවරුන් එම ප්‍රවෘත්තියෙන් මට සිදුවූ අපහාසය වෙනුවෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා යනුවෙන් පවසා ඇත. සනත් ජයසූරිය මෙම හොර බඩු රට පැටවීමේ චෝදනාවට ගොදුරු වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර මුදලට කරන පාවා දීමේ සිදුවීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා සහාය නොදැක්වීමේ චෝදනා මත ජගත් ක්‍රිකට් සමුළුව විසින් ඔහුට එරෙහිව දඬුවම් නොපැනවීමට නිදහසට කරුණු විමසා තිබියදීය.

සීවලී එදිරිවීර