ශ්‍රී ලංකා පාපැදි සම්මේලන මධ්‍යස්ථානය භාරව සේවය කිරීම පිණිස සේවකයකු තෝරා ගැනීමේ අරමුණින් සම්මේලන විධායක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේ සභාපතිවරයා විසින් ගෙනෙන ලද යෝජනාවකට උප සභාපතිවරුන් තිදෙනකුගේ විරෝධතා එල්ල වූ බව රිවිරට වාර්තා වේ.

මෙලෙස උප සභාපතිවරුන්් විරෝධය පළ කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද ස්පීඩ් අප් පාපැදි සවාරියේ 4 වැනි ස්ථානය දිනාගත් නාවික හමුදා ක්‍රීඩක ජනක හේමන්තට 5 වැනි ස්ථානයට හිමි ත්‍යාගය ප්‍රදානය කිරීම නිසා ඔහුට අහිමි වූ රුපියල් පනස්දහසක අතිරේක මුදල පාපැදි සම්මේලන අරමුදලෙන් ගෙවීමට යෝජනා කිරීම නිසා බව පැවසේ.

එම තරගයේ පස්වැනි ස්ථානය දිනාගත් නිදුෂ් නිරන්තට 4 වැනි ස්ථානය සඳහාවන ත්‍යාගය ප්‍රදානය කර ඇත්තේ තරගය විනිශ්චය කළ විනිසුරුවන්ගේ වරදින් බව දැනගන්නට ඇත. පාපැදි විනිසුරු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සුමිත් බාලසූරිය නමැත්තෙකි.

මේ නිසා චන්දන කඳනආරච්චි, බි.ජේ. සුමනසේකර හා නිශාන්ත පියසේන යන උප සභාපතිවරුන් පෙන්වා දී ඇත්තේ අදාළ මුදල ගෙවිය යුත්තේ විනිසුරු සංගමය විසින් බවත් එය සම්මේලන අරමුදලින් ගෙවීම නීති විරෝධී බවත්ය.
මේ අනුව අකමැත්තෙන් වුවත් එම මුදල ගෙවීම සඳහා වන නියෝගය විනිසුරු සංගමයේ සභාපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට  සම්මේලනයේ සභාපතිවරයාට සිදුවූ බව සඳහන්ය.

මෙම විනිසුරු සංගමයේ දුර්වලතා හේතුවෙන් මීට ප්‍රථම මේ වසරේ පවත්වන ලද මහවැලි ක්‍රීඩා උළෙ‍ලේ පාපැදි තරග ප්‍රතිඵලය ද අවලංගු කරන්නට සිදුව තිබූ බවද දැනගන්නට ඇත.

හිතවතුන්ට සැලකීම මිස සුදුස්සන්ගෙන් සේවය ලබා ගැනීමක් වත්මන් පාපැදි සම්මේලනයෙන් සිදු නොවීම  පාපැදි ක්‍රීඩාවේ කඩා වැටීමට ප්‍රබල ලෙස බලපා ඇති බව ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනකු සඳහන් කර සිටින්නේ බලවත් කලකිරීමෙන් යුතුවය.

තවද සම්මේලනයේ උප ‍ලේකම්වරිය විධායක සභා රැස්වීම්වලට  සහභාගි වීමට කිසිදු උනන්දුවක් නොදක්වන තැනැත්තියක බවත් එහෙත් ඇය සම්මේලනයේ දෙදෙනකුගේ අභිමතය පරිදි විධායක සභාවටද නොදන්වා ඉන්දීය සංචාරයකට සහභාගි කරතිබිමද සභිකයන් කිහිප දෙනකුගේ විරෝධයට ලක්වූ බව වාර්තා වෙයි.

මේ අතර දැනට සම්මේලනය තුළ සිදුවන කටයුතු පිළිබඳව ප්‍රධාන ‍ලේකම්වරයා  බලවත් කනස්සල්ලෙන් පසුවන බවත් ඔහු ඉල්ලා අස්වීමේ උත්සාහයක නියැලී ඇති බවත් දැනගන්නට  ඇති අතර ඔහු එම තනතුරේ රැඳී සිටීම  සම්මේලනයේ කටයුතු තමනට අවශ්‍ය පරිදි ඉටුකර ගැනීම බාධාවක් ලෙස සලකන පිරිස ඔහුගේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් පසුවන බවද පැවසේ.

කෙසේ වුවත් පාපැදි ක්‍රීඩාව පරිහානියට පත්වීම වළකා ගැනීමට බලවත් පරිශ්‍රමයක නියැලී සිටින  කණ්ඩායමේ ඉල්ලීම මත ‍ලේකම්වරයා තවදුරටත් අදාළ තනතුරේ රැඳී සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

සීවලී එදිරිවීර