තේරෙන වයසට එනකොට ජීවිතේ දැනෙන්නේ කොහොමද?
මම පුංචි කා‍ලේ ජීවත් වුණේ බදුල්ල, පස්සර පාරේ ඉතාමත් සුන්දර පරිසරයක් සහිත සීතල ප්‍රදේශයක. ගහකොළ, වතුපිටි සමග බැඳුණු පරිසරයක් සහ ජීවන රටාවක් මගේ පුංචි කාලෙදි අපි අත්වින්දා. මගේ පියා වතු අධිකාරීවරයෙක්. මේ වගේ පරිසරයක සහ වටපිටාවක හැදුණ වැඩුණ නිසාම පසුකාලීනව මම ව්‍යාපාරික පැත්තට යොමු වුණෙත් ඊට අනුකූලවයි.

ප්‍රාථමික අධ්‍යාපනය සහ ඒ පරිසරය මොන වගේද?
මට අයියලා හතර දෙනෙක් සහ එක අක්කා කෙනෙක් හිටියා. අපි හැමෝම යාළුවෝ වගේ එකට ඉඳලා පාසල් යන වයසෙදි ටිකක් ඈත්වුණා කිව්වොත් හරි.

මම පාසල් ගියේ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයටයි. ඒක නේවාසික පාසලක්. ගෙදර තිබුණ නිදහස පාස‍ලේදී ලැබුණේ නැහැ. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ එක්ක ඉඳලා පාසල් නේවාසිකාගාරයකට හුරුවෙන එක ඉතාමත් දුෂ්කර වුණා.

නමුත් තනියම හැම දෙයක්ම කරගන්න පුරුදු වුණා. අදටත් ඒ අත්දැකීම් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

උසස් අධයාපනය සහ පාස‍ලේ බාහිර කටයුතු පිළිබඳව යොමුවීම කොහොමද?
ඉගෙන ගැනීම වගේම ක්‍රීඩා කටයුතු සහ අනෙකුත් විෂය බාහිර කටයුතුවලට යොමු වුණා.
ලොකු ඉලක්කගත බලා‍පොරොත්තු තිබුණේ නැති වුණත් වාණිජ අංශයෙන් උසස් පෙළ කළා.

උසස් පෙළ කඩඉමෙන් පසුව මුල්ම රැකියාවට යොමුවෙන්නේ කොහොමද?
උසස් පෙළ ඉවර වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව බාහිර උපාධිය කළා. එහිදී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳව කළ අධ්‍යයනය මගේ ජීවිතේට ලොකු පිටුවහලක් වුණා.

ඒ කා‍ලේ අපිට කොළඹ ඉන්න තැනක් තිබුණේ නැහැ. අම්මටයි, තාත්තටයි පින් සිද්ධ වෙන්න ඔය කා‍ලේ ජීවත් වුණා. මුලින්ම හේමාස් ආයතනයේ වෛද්‍ය නියෝජිතයෙක් වශයෙන් රැකියාව ආරම්භ කළා. මතක විදිහට රුපියල් එක්දහස් ගණනක් වැටුප ලැබුණා. බටහිර ඖෂධ ඉන්දියාවෙන්, පාකිස්තානයෙන් විශාල වශයෙන් ගෙන්වන බව ඔය කා‍ලේ අවබෝධ වුණා. ඒ එක්කම රූපලාවණ්‍ය සඳහා යොදා ගන්නා ක්‍රීම් වර්ග රූපලාවණ්‍ය ද්‍රව්‍ය විශාල වශයෙන් ලංකාවට ගෙන්නුවා. ඔය කා‍ලේ දේශීය ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳව ව්‍යාපාරයක් ගැන හිත ගියත් එය ආරම්භ කරන්න තරම් අතේ මුදල් තිබුණේ නැහැ. අවුරුදු දහයක් විතර රැකියාව කළා. රැකියාවෙන් ඉවත් වෙනකොට හිටියේ කළමනාකාර තනතුරකයි.

මේ කැපකිරීම් එක්ක ආපු රැකියාවෙන් ඉවත් වෙන්නේ ඇයි?
රැකියාවෙන් ඉවත් වෙන්නේ ප්‍රශ්න නිසයි. ඒ වෙනකොට ව්‍යාපාරයක් කරන්න හිතලාවත් තිබුණේ නැති අවස්ථාවක්. රැකියාවෙන් ඉත් වුණාට පස්සේ හිතුණා මගේම කියලා ව්‍යාපාරයක් කළා නම් හොඳයි කියලා. රැකියාව කරන කා‍ලේ විවිධ රටවල සංචාරය කරන කොට ඖෂධ වර්ග සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සකස් කරන ආකාරය දැකලා තියෙනවා.
ඉන්දියාව වගේ රටවල මේ දේවල් නිෂ්පාදනය කරන්නේ ඉතාමත් අපිරිසිදුවටයි. අපේ රටේ ස්වභාවික සම්පත් මේ තරම් තියෙද්දි මේ වගේ නිෂ්පාදන රට ඇතුළේ නිෂ්පාදනය කෙරුණේ නැහැ. ඔය කා‍ලේ රූපලාවණ්‍ය සඳහා විශාල වශයෙන් කැප්සියුල භාවිත කිරීම ආරම්භ වෙමින් තිබුණා. නමුත් ඒවායේ අතුරු ආබාධ ගැනත් යම්කිසි අවදානමක් තිබුණා.

ඔබේ මුල්ම ව්‍යාපාරික නිෂ්පාදන සහ වර්තමානයේ නිෂ්පාදන පිළිබඳව කතා කළොත්?
මගේ පියා වතු අධිකාරිවරයෙක් නිසා තේ පිළිබඳව ඔහුට හොඳ දැනුමක් තිබුණා. ඒ දැනුම සහ මගේ ව්‍යාපාරික දැනුම උපයෝගි කරගෙන අතුරු ආබාධ රහිත මේද දහන තේ පානයක් ලංකාවේ මුලින්ම

නිෂ්පාදනය කළේ අපි තමයි. අපි Sungsu Lanka  පුද්ගලික සමාගම විදිහට Slim Green කියන නිෂ්පාදනය මුලින්ම වෙළෙඳ‍පොළට නිකුත් කළා.

චීන සංචාරයකදී මම දුටුව දේ තමයි චීන ජනතාව අතර Green Tea කියන පානය ඉතාම ජනප්‍රියයි කියන දේ. මස් වර්ග වැඩිපුර ආහාරයට ගන්න චීන ජාතිකයන් ආහාරවේලෙන් පසුව මේද දහනය සඳහා අනිවාර්යයෙන්ම Green Tea පානය කරනවා. මම ලංකාවෙ Green Tea සාම්පල වගකිවයුතු ආයතනවලින් පරීක්ෂා කළා. අපේ Green Tea චීන තේවලට වඩා තිත්ත රසයි වගේම ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ මට්ටමක තිබුණා.

මුල්ම ව්‍යාපාරික කටයුතුවලදී මුහුණ දුන් අභියෝග මොනවාද?
මම ප්‍රධාන ආයතනවල වැඩ කළාට මගේම අලුත් නිෂ්පාදනයක් විකුණ ගන්න බැරි තත්ත්වයක් තිබුණා. මේද දහන තේ කියන එක වෙළෙඳ‍පොළට අලුත් නිෂ්පාදනයක් නිසා අලෙවි කරගන්න ලොකු දුකක් විඳින්න වුණා. අමාරුවෙන්
නිෂ්පාදනය කරගත්තට ප්‍රචාරණය සඳහා මුදල් තිබුණේ නැහැ. ෂොපින් බෑග් එකක තේ පැකට් දාගෙන මම ෆාමසි ගානේ ගියා. කවුරුවත් ගත්තේ නැහැ. ෆාමසිවල ඒ කා‍ලේ කවුරුවත් තේ කුඩු හෝ තේ බෑග් විකිණුවේ නැති නිසා  Green Tea මේ බෑග් ගන්න ඔවුන් බයවුණා. ඒ වගේම ඔය කා‍ලේ Herbal Tea කියලා දෙයක් ගැන වැඩි දෙනෙක් දැනගෙන හිටියෙත් නැහැ.

මුලින්ම කළේ විකුණලා සල්ලි දෙන විදිහට ෆාමසිවලට Herbal Tea බෑග් දාන එකයි.

ප්‍රචාරණය ආරම්භ කළේ නොකර බැරි නිසාද?
නිෂ්පාදනය ගැන පාරිභෝගිකයා දැනුවත් නොවීම ව්‍යාපාරයේ දියුණුවට ගොඩක් බලපෑවා. මුලින්ම මම ඉතාම පුංචි වෙළෙඳ දැන්වීමක් පත්තරේ දැම්මා. ඒ පුංචි වෙළෙඳ දැන්වීමට සෑහෙන ප්‍රතිචාරයක් තිබුණා. කෙට්ටු වීම වැනි දේකට වෙළෙඳ‍පොළේ දේශීය ඖෂධීය පානයක හිඩැස අන්න එතැනදි තේරුම් ගන්න පුළුවන් වුණා. අතුරු ආබාධ නොමැති  දේශීය තේ පානයක් පහසුවෙන් හදාගන්න පුළුවන් ක්‍රමයකට මිලදී ගන්න සෑහෙන පාරිභෝගික පිරිසක් හිටියා. ඊට පස්සේ ව්‍යාපාරය දියුණු වෙන්න දියුණු වෙන්න රූපවාහිනී, පුවත්පත් වගේ ප්‍රචාරණ මාධ්‍යවලට යොමු වුණා. ව්‍යාපාරය තවදුරටත් පුළුල් වුණා.

ව්‍යාපාරය පුළුල් කළා කියන දෙයින් අදහස් වෙන්නේ Slim Green වලට අමතරව වෙනත් නිෂ්පාදන කරා යොමුවීමද?
Slim Green අලෙවිය වැඩිවෙන කොට අපි ගුණාත්මක භාවයෙන් වැඩි නමුත් ඉක්මන් ප්‍රතිඵල සහිත Green Tea නිෂ්පාදන හඳුන්වා දීමට උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස Slim Fast කියන නිෂ්පාදනය වෙළෙඳ‍පොළට හඳුන්වා දුන්නා. Slim Fast වල ඉල්ලුම වැඩි නිසාම තවදුරටත් ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් විදිහට කුරුඳු සහ Green Tea කියන අමුද්‍රව්‍ය දෙකම සහිත Fat Burner කියන නිෂ්පාදනය වෙළෙඳ‍පොළට යොමු කළා.

මේ වෙනකොට දියවැඩියාව සඳහා විශේෂිත Herbal Tea පානයක් අපි හඳුන්වා දී තිබෙනවා. එය රණවරා සහ උළුහාල් සමග මුසුකොට නිමවා තිබෙන  Diabetic Tea කියන නිෂ්පාදනයයි. ව්‍යාපාරය පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස පිපිඤ්ඤා සාරයෙන් නිමවන ලද Tynus under Whitening Creame එක දැන් වෙළෙඳ‍පොළට යොමුකර තිබෙනවා. ඊට අමතරව ගැස්ට්‍රයිටිස් සඳහා වන අම්ල සුව නිෂ්පාදනය ඉදිරියේදී වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට නියමිතයි.

මේ නිෂ්පාදනවලින් අලෙවිය ඉතාම ඉහළ නිෂ්පාදනය කුමක්ද?
අපේ නිෂ්පාදනවලින් Fat Burner Herbal Tea එක පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රිය නිෂ්පාදනයක් වෙලා තිබෙනවා. Fat Burner නිෂ්පාදනය සමට ඉතාම හිතකර සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ මට්ටමක තිබෙන නිෂ්පාදනයක්.

Slim Fast කියන නිෂ්පාදනය ගත්තොත්
සම්පූර්ණයෙන්ම හීන් නාරං කොළ සහ Green Tea යොදාගෙන සෑදූ නිෂ්පාදනයක්. එහි කෙට්ටු වීමට අමතරව කැස්ස, සෙම වගේ රෝග සඳහා ගුණදායකයි. Fat Burner කියන නිෂ්පාදනයේ කුඩු වශයෙන් Green Tea යෙදවීම වෙනුවට කොළ වශයෙන් යෙදවීම විශේෂත්වයක්.

මේ නිෂ්පාදනවල දේශීය භාවය පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන්ද?
ඇත්තෙන්ම අද කා‍ලේ ජනතාව හුඟක් බුද්ධිමත්. නිෂ්පාදනයක් භාවිත කරනකොට ඒ පිළිබඳව හොඳින් සොයා බලනවා. ඒ නිසා මේ නිෂ්පාදන දේශීය වශයෙන් අපිම නිෂ්පාදනය කරන තත්ත්වයට අද අපේ ව්‍යාපාරය ගොඩනැගී තිබෙනවා. මුලින් ඉල්ලුම වැඩිවීමත් සමගම අපේ වට්ටෝරු පිට ආයතනවලට දීලා සකස් කිරීම සිදු කළා. නමුත් මේ වට්ටෝරු වෙනත් ව්‍යාපාරිකයන් අතට පත්වීම සහ පාරිභෝගිකයන්ට අපේ නිෂ්පාදන ඒ ආකාරයෙන්ම ලැබෙනවාද කියන ප්‍රශ්නය තිබුණා. ඒ නිසා පසු කාලයේදී අපේම නිෂ්පාදනාගාරයක් හදාගත්තා. ඊට අදාළ නිෂ්පාදන යන්ත්‍ර විදේශ රටවලින් ගෙන්වා ගත්තා. දැන් මගේ යටතේ නිෂ්පාදනාගාරයේ පමණක් පහළොස් දෙනකු පමණ වැඩ කරනවා.

මේ ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමට ගේන්නේ කොහොමද?
අපේම නිෂ්පාදනාගාරයක් අමාරුවෙන් සකස් කරගත්ත නිසා අපිට අපේම අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. දැන් මේ වෙනකොට මගේ ව්‍යාපාරය ආරම්භ කරලා වසර දහයක් සම්පූර්ණ වෙනවා. මේ වෙනකොට ලංකාව පුරා සුපර් මාකට් සියල්ලටම සහ අනෙකුත් ඉල්ලුම් කරන සියලු තැන්වලට නිෂ්පාදන ලබාදෙනවා. ඔස්ට්‍රේලියාව සහ මැද පෙරදිග, මාලදිවයින, නවසීලන්තය වගේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ඇනවුම් සඳහා අපි නිෂ්පාදන යවනවා.

මේ නිෂ්පාදනවල අතුරු ආබාධයක් නොමැති වීම පිළිබඳ සහතිකයක් දෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහතිකය අපේ හැම නිෂ්පාදනයකටම තිබෙනවා. ඊට අමතරව ITI ආයතනයේ විද්‍යාගාර සහතික අපි නිතැතින්ම ලබාගන්නවා. අපේම දේශීය ගැමියන්ගෙන් අපට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්නවා වගේම ඒවා පිරිසිදු කිරීම, වියළීම වගේ දේවල් නිසි අධීක්ෂණයක් සහ තත්ත්ව පරීක්ෂාවක් යටතේ සිදු කරනු ලබනවා. ඒ තුළින් සම්පූර්ණ දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ලබාදීම අරමුණයි.

මේ ව්‍යාපාරික ජීවිතෙත් එක්ක පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්?
2002 වසරේ මම විවාහ වුණා. මට පුතෙක් ඉන්නවා. ඔහුට දැන් අවුරුදු දහතුනක් වෙනවා. ඉදිරි වසර දහය ඇතුළත ලංකාවේ ලොකුම Herbal Green Tea නිෂ්පාදකයා වීම මගේ අරමුණයි.

නෙරංජලා වික‍්‍රමසිංහ
neranjalatw@gmail.com
ඡායා – සජීව චින්තක කහඳගමගේ