රියැලිටි වේදිකාවෙන් ලැබුණු ඉහළම ජනප්‍රියත්වය නිසාම තවමත් ඔහුට රියැලිටි තරගවලින් ලැබෙන ආරාධනාවලින් නම් අඩුවක් නැහැ. නමින් සාලිය සත්‍යජිත් වන ඔහුගේ අලුත් තොරතුරු දැනගන්න මෙවර කතාබහට ඔහුව සම්බන්ධ කරගත්තා.

ඔබ කාලයක් ක්ෂේත්‍රයේ දකින්න නොලැබුණත් එදා තිබුණු ජනප්‍රියත්වයේ වෙනසක් වෙලා නෑ නේද?
තවම තියෙනවා. ඒ දවස්වල මම රැස්කර ගත්ත ප්‍රේක්ෂකයෝ මම වටා ඉන්නවා. ඔවුන් මගෙන් හොඳ දෙයක් බලා‍පොරොත්තු වෙනවා. ඒ නිසාම මම නිතරම හැම වැඩකටම සහභාගි වෙන්නේ නෑ.

මොනවද අලුත් තොරතුරු?
දෙරණ තාත්වික වැඩසටහනට සම්බන්ධ වුණා. සිටි ඔෆ් ඩාන්ස්  වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ හැම වැඩක්ම අවසන් වෙලා. දැන් අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්න ඕන.

රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍යවලට ලබාදෙන දායකත්වය අඩුවෙලා තියෙනවා. ඒ ආරාධනා ලැබුණත් වෙන් කරන්න කාලයක් නොමැතිකම නිසා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ගොඩක්ම රියැලිටි තරගවලට චිත්‍රපටවලට දායක වෙන්නේ ඒවාට යන්න ‍ලේසියි. අඩු වෙලාවක් තමයි යන්නේ. මෙගා ටෙලි නාට්‍යයක වැඩ කළොත් අවුරුද්දක් දෙකක් එකට නාළිකාවක ඉන්න වෙනවා. එහෙම වුණාම අනෙක් නාළිකාවලින් ලැබෙන හොඳ වැඩ මගහැරෙනවා. මගේ පුද්ගලික කටයුතු නිසා ටෙලි නාට්‍යවලින් ඈත් වෙන්න මම එදා ඉඳන්ම බයිස්කෝප් පිස්සෙක්. ඒ නිසා ඒ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්නයි බලා‍පොරොත්තුව. ලබන අවුරුද්දේ බොහෝ දුරට චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙයි.

ඔබ යළිත් නිරූපණයට සම්බන්ධ වෙලා වැඩ කරනවා නේද?
කාලයක් මම ඒ ක්ෂේත්‍රයෙන් ඈත් වුණා. මොකද නිරූපණයට එන පිරිස ගොඩක් ඉහළ ගියා. ළඟදි මම මොඩ්ලින් ෂෝ දෙකකට විතර සම්බන්ධ වුණා. ගොඩක් අය ඇහැව්වා ඇයි මේකෙන් ඈත් වුණේ ඒක අපරාධයක් කියලා. ඒ නිසා මම තීරණය කළා මේකට ආපහු සම්බන්ධ වුණා.

රියැලිටි තරගවලට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ ඉල්ලුම වැඩි නිසාද?
ඔව්. ඕනම නාළිකාවක කරන රියැලිටි තරග ගොඩක් දෙනෙක් බලනවා. මම මිනිස්සු අතරට ගියේ රියැලිටි වේදිකාවෙන්. ඒ දේ කවදාවත් අමතක කරන්න බැහැ. මොකද මගේ දක්ෂතා ගොඩක් මිනිස්සු දැක්කේ රියැලිටි වේදිකාවෙන්. ඒවායේ ලැබෙන අවස්ථා වැඩියි. ඒ නිසා මම ඒ සඳහා ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නවා.

තවමත් ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ඒ වගේමයිද?
ඒකේ කිසි අඩුවක් නැහැ. ඕනම ක්ෂේත්‍රයක ඔය කැපිලි කෙටිලි ‍පොදුයි. තමන් වෙනස් දෙයක් කරලා වෙනස් පාරක යනව නම් ඔය දේ සාමාන්‍යයි. ඔය කැපිලි කෙටිලි නැතිවුණාමත් ප්‍රශ්නයක්. ඇයි ඒවා නැත්තේ කියලා. ඒවා තිබුණාම හොඳයි. ජීවිතයේ හැමදේම එතකොට ඉගෙන ගන්න පුළුවන්.

සාලිය සත්‍යජිත්ගෙන් හරියට වැඩක් අරගෙන නැහැ කියලා හිතෙන් නැද්ද?
සමහර වෙලාවල්වලදි අද ගොඩක් අය අත්හදා බැලීම් කරනවා නවකයන්ට තැනක් දීලා. එතැනදි හිතන්න ඕන ඇයි ඔවුන්ට ඒ තැන දෙන්නෙ කියලා. මම කලා ක්ෂේත්‍රයේ හිටියට මම මිනිස්සු දහස් ගණනාවකගේම එස්එම්එස් මනාපවලින් ජනප්‍රිය වුණු කෙනෙක්. මිනිස්සු තමයි මාව මෙතැනට ගෙනාවේ. මම මෙතැනට සල්ලි වියදම් කරලා ආපු කෙනෙක් ‍නෙවෙයි. වෙලාවකට හිතෙනවා නිර්මාණකරුවන් මාව හරියට විකුණාගෙන කෑවේ නැහැ කියලා. අලුත් නළුවෙක් හොඳ චිත්‍රපටයක රඟපාලා ජනප්‍රිය, දක්ෂතම නළුවා වෙනවා. එතැනින් එහාට තව නිර්මාණ හදන්න ඕන.

එහෙම නැතුව ඔහුව අතහැරලා අලුත් නළුවෙක් ගේන එක ‍නෙවෙයි. අපේ රංගන ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය තිබුණු කාලයේ හිටපු පිරිස සීමිතයි. නමුත් හොඳ නිර්මාණ බිහිවුණා. අද හැමදාම ක්ෂේත්‍රයට අලුත් මුහුණු එකතු වෙනවා. ඔවුන්ට වැඩ බෙදිලා යනවා. එතකොට ගොඩක් අයට වැඩ ලැබෙන්නේ නැහැ. තවම මමත් මේ ක්ෂේත්‍රයේ නවකයෙක්. මොකද තවම කවුරු හරි මගෙන් හරියට වැඩක් ගත්තේ නැහැ.

ඔබ විදේශගත වීමත් සමග ඔබව නිර්මාණකරුවන්ට මගහැරුණා කියලා හිතෙන් නැද්ද?
මම වෘත්තීය මට්ටමට ඇවිත් හිරවුණා. මොකද ජනප්‍රියත්වයත් ඕන සල්ලිත් ඕන. මම අවුරුදු හතරක් එක දිගට වැඩ කළා. ඒ දවස්වල මට ගොඩක් මුදල් අඩුපාඩුකම් තිබුණා. ඒ කා‍ලේ කරපු සමහර චිත්‍රපටවලින් මට මුදල් තවම ලැබිලා නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසා මට ලංකාවෙන් ඈත්වෙලා යන්න වුණා. ඒ කාලයේ මාව නිර්මාණකරුවන්ට මගහැරෙන්න ඇති කියලා හිතනවා.

තවමත් දේශපාලන බලපෑම් එල්ල වෙනවද?
දැන් නම් නැහැ. ඒ දවස්වල දේශපාලන කටයුතුත් එක්ක සම්බන්ධ වුණු නිසා එහෙම වුණා. අද හිතෙනවා දේශපාලනය නොකරපු එකත් හොඳයි කියලා.

ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවාද?
ඒ ගැන නම් කියන්න දන්නේ නැහැ. කලාකරුවෝ කියන්නේ දේශපාලන තුරුම්පු. මිනිස්සු ආදරය කරන්නේ ඔහුගේ හැකියාවට. ඒ හැකියාව උපයෝගි කරගෙනයි ඔහු දේශපාලනයට එන්නේ. ඉදිරියේ දේශපාලනය හදාරලා දේශපාලනයට එන්න තමයි ඕන.

ජීවිතේ ආපස්සට හැරිල බලද්දි ගත්ත තීරණ ගැන පසුතැවෙනවාද?
ඒ සමහර තීරණවලින් පාඩු ලැබිලා තියෙනවා. හැම දෙයක්ම වෙලා තියෙනවා. ඒ තුළ මං ජීවිතේ විඳලා තියෙනවා.

පුද්ගලික විස්තර මතක් කළොත්?
මම විවාහකයි. මේ වෙනකොට මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.

තිළිණි කරුණාරත්න