රසික හදවත් පැහැරගත් ඒ මියුරු හඬට එදත්, අදත් පෙම් බඳින්නේ ගීත තවමත් මතකයේ රැඳී තිබෙන නිසාය. ඒ ගීත කෝකිලාවිය වන ලතා වල්‍පොලට මෙවර කතාබහට ඇරයුම් කළේ ඇගේ මතකය අවදි කිරීමටයි.
මොනවද අලුත් තොරතුරු?
චිත්‍රපටයට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අමතරව විදෙස් සංචාර කිහිපයකටත් සහභාගි වුණා.

මංගල මුදු මාල වළලු ගීතයට පසුගිය දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබුණා නේද?
ඒක ඉතින් ඒගොල්ලන්ගේ වැඩක් මිසක් මගේ දෙයක් ‍නෙවෙයි. ඒගොල්ලන්ට අලුත් ක්‍රමයකට මේ දේ කරන්න ඕන වෙන්න ඇති.

රියැලිටි තරගවලට සහභාගි වන තරගකරුවන් ඒ තරග අවසානයේත් ප්‍රසංග වේදිකාවල ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරනවා නේද?
තරගයකදී ඒ ගීත ගායනා කළාට කමක් නැහැ. නමුත් ඔවුන් ඒ තරග අවසානයේ ප්‍රසංග වේදිකාවෙත් විශාල මුදලක් අය කරලා ගීත ගායනා කරනවා. ඒක ලොකු කනගාටුවක්.

මේ ගීත මංකොල්ලයට එරෙහිව හඬක් නොනගන්නේ ක්ෂේත්‍රය ගැන කලකිරිලා නිසාද?
ඒකේ කෙළවරක් නැහැ. ‍පොඩි අයගේ ඉඳන් ලොකු අය දක්වා ඒ දේ වෙනවා. මම කියලා මොනවා කරන්නද? ගායක ගායිකා සංගම් කිහිපයක්ම තියෙනවා. ඒ එකකින්වත් මේ දේවල්වලට කිසි පියවරක් අරගෙන නැහැ. අද ඉතා දරුණු විදිහට මේ දේ වෙනවා.

වර්තමාන සංගීත ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ වගේම කිසිම ආසාවක් නැහැ ක්ෂේත්‍රය ගැන කතා කරන්න.

එදා සහ අද ක්ෂේත්‍රයේ වෙනස මොන වගේද?
අපේ කාලයේ සීමිත පිරිසක් ඉන්නෙ. අද ඉන්නවා බුරුතු පිටින්. ගීත මංකොල්ලයත් එක්ක තියෙන්නේ ගීත ‍පොරයක්. දැන් ඉන්න ගායක ගායිකාවන්ට සල්ලි තියෙන්න ඕන ජනප්‍රිය වෙන්න. අපේ කාලයේ ජනප්‍රිය වෙන්න අපි සතපහක්වත් වියදම් කළේ නැහැ. ඒත් දැන් ළමයින්ට එහෙම අවස්ථා නැහැ. ඒ නිසා ගොඩක් දක්ෂයන්ට ක්ෂේත්‍රයට එන්න විදිහක් නැහැ.

ඔබ ආපු ගමන් මග දිහා ආපස්සට හැරිල බලද්දි මොකද හිතෙන්නේ?
අපි ඉතාම සතුටු වෙනවා මේ ආපු ගමන්මග දිහා බැලුවම. අපිත් එක්ක හිටපු හැම කෙනෙක්ම ගොඩක් ජනප්‍රියයි. ඔවුන්ගේ ගීතත් ගොඩක් ජනප්‍රියයි. තවමත් එදා වගේම ඔවුන් සින්දු කියනවා. මම හිතනවා අපේ කාලයේ හිටපු ශිල්පීන් ගොඩක් ජනප්‍රියයි. පරණ අය අද වගේ සල්ලි පස්සෙ දිව්වේ නැහැ. ඔවුන්ට මිනිස්සුන්ගේ අද ඉන්න අයට වඩා ඉහළ පිළිගැනීමක් ලැබුණා.

ක්ෂේත්‍රයට එන්න අඩිතාලම වැටුණු කා‍ලේ හිතුවද මිනිසුන්ගේ මතකයේ රැඳෙන චරිතයක් වෙන්න පුළුවන් කියලා?
අපේ අම්මගේ ආසාවට තමයි මම ගායිකාවක් වෙන්නේ. ඒ නිසා එහෙම ලොකු බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් හිතුවේවත් නැති විදියට ලැබුණ ජනප්‍රියත්වය ගැන මම සතුටු වෙනවා.

අම්මගේ කැමැත්ත ගායනයට නම් ඔබ කැමති වුණේ මොන පැත්තෙන් ඉස්සරහට යන්නද?
මම කොන්වන්ට් එකක ඉගෙන ගත්ත නිසා මට ඕන වුණේ කන්‍යා සොයුරියක් වෙන්න.

මේ වෙනකොට ක්ෂේත්‍රයට එකතුවෙලා වසර කීයක් වෙනවද?
හරියටම වසර හැත්තෑ දෙකක් වෙනවා ගීත ගායනා කරන්න පටන් අරගෙන.

ගීත කොච්චර ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවද?
ඇත්තටම ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැහැ. ඒ ගැන හරියටම මගේ රසිකයෝ දන්නවා ඇති.

ඒ අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ගීතත් ඇති නේද?
මුල් කාලයේ ඉඳන් කියපු හැම ගීතයකටම.

ඔබේ අඩිපාරේ යමින් දූ දරුවන් පූර්ණකාලීනව සංගීතයට යොමුවුණේ නැහැ නේද?
ඒ අය විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළා. කවුරුත් ගායනය වෘත්තිය කරගත්තේ නැහැ. නමුත් හැමෝටම ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා.

රංගනයට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?
කඳුළු බිංදුව චිත්‍රපටයේ මට රඟපාන්න අහම්බෙන් ලැබුණා. එතැන හිටපු සුන්දරම් මහත්තයා කිව්වා මෙයාට හොඳට නටන්න පුළුවන් නිසා රඟපාන්න පුළුවන් ඇති, මෙයාව ගන්න කියලා. අම්මා විරුද්ධ වුණා. මොකද තාත්තා මම ගායිකාවක් වෙනවටත් විරුද්ධ වුණු කෙනෙක්. ඒක නිසා ඒක එතැනින්ම නැවැත්වුවා.

හිතුණේ නැද්ද දිගටම රඟපාන්න?
රංගනයට ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒත් රඟපාන්න ගියේ නැහැ තාත්තා විරුද්ධ වුණ නිසා. ගීත ගායනා කරන්න පුළුවන් වගේම මට හොඳට රඟපාන්නත් පුළුවන්.

අද වගේම එදත් ඔබේ කටහඬට පෙම් බැඳපු බොහෝදෙනා ඉන්න ඇති. ඒ අයගෙන් ප්‍රේම ආරාධනා එහෙම ලැබුණේ නැද්ද?
ගොඩක් ලියුම් නම් ලැබුණා අපේ ගෙදරට. ඒ හැමෝම ඉතින් මගේ කටහඬට ආදරේ කරපු අය. අපේ අම්මා නිතරම පස්සෙන් හිටිය නිසා එවැනි යෝජනා ගැන මම දන්නෙත් නැහැ.

ක්ෂේත්‍රයේ හිත ගියපු කවුරුහරි හිටියේ නැද්ද?
එහෙම කවුරුත් නම් හිටියේ නැහැ. මොකද අද කා‍ලේ වගේ ගොඩක් ගායකයෝ එදා හිටියෙත් නැහැ. නිතරම අපේ අම්මා මාත් එක්ක ආව ගිය නිසා එහෙම දේවල් ඇතිවුණේ නැහැ.

දැන් කොහොමද ගෙදරට වෙලා කාලය ගත කරන්නේ?
බොහොම සතුටින් මුනුබුරු මිනිබිරියන් එක්ක මම කාලය ගත කරනවා. දැන් ඒ මුනුබුරු මිනිබිරියන්ට දරුවෝ  ඉන්නවා.

ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම පුදුමයි. මෙච්චර වයසට ගියත් තවම මිනිස්සු මාව මුණගැහිලා ආදරෙන් කතා කරනවා. ඒ ලැබෙන ආදරය ගැන වෙලාවකට පුදුමයක් මට.

තිළිණි කරුණාරත්න
latha-1 latha