මීට කාලෙකට ඉහතදී වුණත් ‘සරෝජා’ චිත්‍රපටය ගැන තියෙන මතකයන් කාටවත් අමතක නම් වෙන්න බෑ. ඒ තරමට සරෝජා කියන්නේ හැමෝම අතරේ රැඳුණු අපූරු නිර්මාණයක්. ඒ මතකයන් තවමත් ළඟ තියෙනවා නම් නිත්‍යවානිව අමතක වෙන්නත් පුළුවන්කමක් නැහැ. දැන් ඇය ආදරණීය බිරිඳක්. පසුගිය දිනකදී ඇය පා තැබූ මේ අලුත් ජීවිතේ ගැන ටිකක් කතා කරන්න ඕන කියලා අපි හිතුවා. මේ දිග හැරෙන්නේ සරෝජාගේ මතකයන් එක්ක නිත්‍යවානිගේ අලුත් කැදැල්‍ලේ තතු විත්ති.
කොහොමද ඉතින් අලුත් ජීවිතේ?
අලුත් ජීවිතේ හොඳින් ගත වෙනවා.

මුලින්ම කියමු කොහොමද දෙන්නා මුණ ගැහුණේ?
ප්‍රියදර්ශන් මගේ යාළුවෙක්ගේ යාළුවෙක්. යාළුවෝ විදිහට අපි අවුරුදු දෙකක ඉඳන් දන්නවා.

මුලින්ම කවුද ආදරෙයි කීවේ?
ප්‍රියදර්ශන් තමයි මුලින්ම ඇහුවේ. මම නම් ඉතින් ටික කාලයක් තව බලමු කීවා. පස්සේ කොහොම හරි අපි දෙන්නට දෙන්නම ආදරේ කරන්න පටන් ගත්තා.

කොච්චර කාලයක් ආදරේ කළාද?
අපි අවුරුදු හතරක් ආදරේ කළා.

ඔහුට කැමති වෙන්න හේතුවක් තියෙන්න ඇති නේද?
ඔහු හරිම මිත්‍රශීලියි. එයාට ආදරේ කරන්න මූලිකම හේතුව වුණෙත් ඒක. ඒ වගේම ඔහු හැමෝම එක්ක හොඳින් කතා කරලා ඉන්න කෙනෙක්. පවු‍ලේ අයත් ඒ වගේම ආදරණීයයි. ඉතින් ඒ දේවල් තමයි හේතු වුණේ මම ඔහුට ආදරේ කරන්න.

ඔහු කුමන ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?
ඔහු බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධවයි කටයුතු කරන්නේ.

කොහොමද විවාහ උත්සවේ කටයුතු සිද්ධ වුණේ කියලත් කියමු?
නොවැම්බර් 04 ඉරිදා තමයි සාම්ප්‍රදායට අනුව චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණේ. අම්මයි තාත්තයි මනමාලිව මනමාල පාර්ශ්වයට භාරදෙන්නෙත් එදාමයි. ඒ දවසේ තමයි මනමාලයා තැල්ල බැඳලා චාරිත්‍රානුකූලව මනමාලියව භාරගන්නේ.

ඉතින් ඒ විවාහ චාරිත්‍ර ටික වගේම අපේ ගිවිස ගැනීම තිබුණෙත් එදාමයි. ඊට පස්සේ නොවැම්බර් 06 වැනිදා තමයි දෙවැනි දවස යෙදිලා තිබුණේ.

කලා ක්ෂේත්‍රයේ අයත් එදා සහභාගි වුණා නේද?
ඔව්. සරෝජා එක්ක රඟපාපු ප්‍රමුදි අක්කා එදා ආවා. ඒ වගේම රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක දෙපළත් සහභාගි වුණා. මගේ පැත්තෙන් අත්සන් කළෙත් රේණුකා බාලසූරිය මහත්මිය. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ තවත් කිහිප දෙනෙක්ම එදා දවසේ අපිත් එක්ක සතුට බෙදාගන්න සහභාගි වුණා.

විවාහය දවස කියන්නේ ගැහැනු ළමයෙක්ට හරි වැදගත් දවසක්නේ. කොහොමද ඒ දවස දැනුණේ?
මම නම් හිටියේ හරිම ආතතියකින්. අපි එදා දවස ගැන සැලසුම් කළේ මාස හයකට කලින්. නමුත් ඉතින් පුංචි තැතිගැන්මක් තිබුණා. නිතරම අම්මා ළඟින් හිටපු නිසා සෑහෙන දුරට මට හිතින් සැහැල්ලු වෙන්න පුළුවන් වුණා.

තනියම ඉඳලා දැන් මේ ගෙවන ජීවිතේ දැනෙන්නේ කොහොමද?
තවම නම් විවාහ වුණා කියලා ලොකු වගකීමක් දැනෙන්නේ නෑ. ඉස්සරහට ඉතින් ගෙදර වැඩ එහෙම ටික ටික කරන්න පටන් ගන්නකොට ඒ වගකීමත් දැනේවි.

ඒ කියන්නේ තාම උයන්න පිහන්න එහෙම පටන් ගත්තේ නැද්ද?
තවම නෑ. මොකද හැමදාම කාගෙන් හරි කෑමකට ආරාධනා ලැබෙනවා. ඒ හින්දා තවම ඉතින් උයන පිහන වැඩ නම් පටන් ගත්තේ නෑ.

රසට කෑම හදන්නත් පුළුවන් ඇති නේද?
කෑම හදන්න පුළුවන්. රසයිද කියලා නම් ඉතින් කන අයගෙන්ම තමයි අහලා බලන්න ඕන. මෙච්චර කල් කෑමබිම ඉඳන් සේරම අම්මා තමයි කරලා දුන්නේ. දැන් මාත් ඒ දේවල්වලට ටික ටික හුරු වෙන්න පටන් ගන්න ඕන.

විවාහයෙන් පස්සේ තනියමද දෙන්නා පදිංචිවෙලා ඉන්නේ?
ඔව්. අපි දෙන්නා තනියම ඉන්නේ. ඒත් ඉතින් සති අන්තයට දෙන්නගෙම පවු‍ලේ අය ළඟට යනවා. නැත්නම් එයාලා අපිව බලන්න එනවා. ඒ නිසා අපි දෙන්නා තනියම ඉන්නේ කියලා දැනෙන්නේ නැති තරම්.

මහත්තයාගේ පවු‍ලේ අයත් ‍ලේලිට ගොඩක් ආදරේ ඇති?
එයාලා හරිම ආදරෙයි. නිතරම අපි හැමෝම එකට ඉන්නමයි බලන්නේ. පවුල් දෙකේම අය හරි එකතුයි. ඉතින් ඒ අයත් එක්ක මේ ගවෛන ජීවිතේ සතුටින්ම ගතවෙනවා කීවොත් හරි.

මහත්තයාගේ ‍පොඩි ‍පොඩි නීතිරීති එහෙමත් ඇති නේද?
එයා එහෙම නීතිරීති දාන කෙනෙක් නම් ‍නෙවෙයි. කලා කටයුතුවලට මාව යොමු කරවන්නෙත් එයාමයි.

සරෝජාගෙන් පස්සේ ඇයි ඔබව දකින්න නොලැබුණේ?
නිර්මාණවලට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. නමුත් සරෝජාගෙන් පස්සේ ආයෙම ඒ වගේ ආරාධනාවක් ලැබුණේ නෑ.

එතකොට ඔබ කලාවෙන් දැන් දුරස්වෙලාද ඉන්නේ?
එහෙමමත් නෑ. දැනටමත් මම මාධ්‍ය ආයතනයක නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. හොඳ නිර්මාණයක චරිතයක් ලැබුණොත් මග නොහැර මම ඒ අවස්ථාව භාරගන්නවා.

තාමත් සරෝජා ගැන නම් මතකයන් ඈත්වෙලා නැතිව ඇති?
අනිවාර්යයෙන්ම. මොකද තවම මාව මිනිස්සු දන්නේ කතා කරන්නේ සරෝජා නමින්. දැන් සෑහෙන කාලයක් වෙනවා මම ඒ චරිතය කරලා. නමුත් ලැබෙන ප්‍රතිචාර නම් තවමත් එදා වගේමයි.

නිළියක් වෙනවට වඩා ඔබට තියෙන්නේ වෙන හීනයක් නේද?
ඔව්. මම දැනටමත් වෛද්‍ය උපාධිය හදාරනවා. ඉතින් මගේ බලා‍පොරොත්තුවත් අනාගතයේදී වෛද්‍යවරියක් විදිහට සේවය කිරීමටයි.

මොනවද ඉදිරි සැලසුම් කියලත් කියමු?
අලුත් ජීවිතයත් තවම පටන් ගත්තා විතරයි. ඉතින් හැමදාම තිබුණු බලා‍පොරොත්තු ටිකක් තියෙනවා. අම්මව, තාත්තව, මල්ලිව හොඳින් බලාගන්න එක. දැන් මහත්තයාගේ පවු‍ලේ අයවත් ආදරෙන් බලාගන්න ඕන. ඉතින් එයාලත් එක්ක සතුටින් ඉදිරි අනාගතේ ගැන හීන දකිනවා.

නඳුනි ආරියවංශ.

Untitled-8 ascf