1980 මාර්තු 7 වැනි දින මුල්වරට තිරගත වූ ‘සිල්වා’ චිත්‍රපටය හර්බට් රංජිත් පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. එහි කතාව, දෙබස් හා තිර රචනයද ඔහුගේමය. නිෂ්පාදනයද සරත් පියදාස සමග හර්බට් රංජිත් පීරිස් විසිනි.

1974දී ‘සැණකෙළිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි හර්බට් රංජිත් පීරිස් දෙවැනි වර අධ්‍යක්ෂණය කළේ ‘සිල්වා’ ය. ඔහුගේ තුන්වැනි අධ්‍යක්ෂණය ‘එක්ටැම් ගේ’ ය. එය තිරගත කරන ලද්දේ 1980  මාර්තු 22දාය. ‘ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත’ යන පිරුළ ඔහු විසින් බොරු කර ඇත. රචනය, ගීත රචනය, ගායනය, වාදනය, ඇඳුම් නිර්මාණය, වේෂ නිරූපණය, වේදිකා සැරසිලි, මෝස්තර විලාසිතා, සිත්තම් කලාව සහ චිත්‍රපට අධ්‍යක්ෂණයද ප්‍රගුණ කළ අයෙකි ඔහු.

දයානන්ද ගුණවර්ධනගේ ‘ඉබිකට්ට’ සහ ‘ජසයා සහ ලෙන්චිනා’ නාට්‍යවල වේෂ නිරූපණය, ඇඳුම් නිර්මාණය හා වේදිකා සැරසිලි කළේ හර්බට්ය. දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ අකුණු’ නාට්‍යයේ වේදිකා සැරසිලි, වෙස් ගැන්වීම් හා ඇඳුම් නිර්මාණය කළ ඔහු ප්‍රථම වරට කැරකෙන වේදිකාවක්ද ඉදි කළේය. රෝද 180ක් යොදා ජවනිකාවෙන් ජවනිකාවට කැරකෙන පරිදි එම වේදිකාව හර්බට්ගේ සිතේ පිළිසිඳගත් අදහසක් බව වරක් ඔහු මා සමග පැවසීය.

එම්.ඩී. සුමනසේකර කැමරා ශිල්පියාගේ ඉල්ලීමට තිර නාටක ලිවීම ඇරඹූ හර්බට් තමන් ලියූ තිර රචනයක් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට පෙන්වූ අවස්ථාවේ ඔහු විසින් එය අගය කරන්නට යෙදුණි. ඉන් නොනැවතුණ ගාමිණී, හර්බට්ගේ ‘සැණකෙළිය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද පණ පෙවීය. ‘එක්ටැම් ගේ. කතාව තම පෞද්ගලික අත්දැකීම් ඇසුරු කොට ලියූ කතාවක් බව ඔහු පවසයි.

හර්බට් රංජිත් පීරිස් යනු සුන්දර, සුවිශේෂ චරිතයකි. ජීවිතය හා මිනිසුන් පිළිබඳව ඔහුගේ සිතුවිලි සුන්දරය. උපහාසාත්මකය. ඔහු තම නිර්මාණ ජීවිතයේත් සාමාන්‍ය ජීවිතයේත් ප්‍රකාශ කළේ ගැඹුරු චින්තනයකි. සරල උපහාසයකි. නූතන සිංහල චිත්‍රපට වෙළෙඳ‍පොළේ ඉල්ලුමට සරිලන සිනමා කෘති තනන්න යන නිර්මාණකරුවන් අතරට මේ සුන්දර චරිතයද එකතු වෙයි. හර්බට් රංජිත්ගේ දෑත් කැමරා කෝණ හසුරුවන්නට මෙන්ම කියතට, නියනට හා යතුකැටයටද එක සේ හුරුය. කලා කුසලතා පිළිබඳව ආත්ම විශ්වාසයෙන් යුතුව අනාගතය දෙස බලන කලා ශිල්පියෙක් රංජිත්.

චිත්‍රපට ලෝකය සමග සබඳතා තිබූ නමුත් කිසි දිනක තිරනාටක පිටපතක් ඔහු විසින් කියවා නොතිබිණ. එහෙත් බ්‍රිටිෂ් කවුන්සලයේ සහ ප්‍රවෘත්ති සේවා පුස්තකාලයේ තිබුණු චිත්‍රපට කලාව පිළිබඳ පත‍පොත නිබඳ ඇසුරු කිරීමෙන් කිසියම් දැනුමක් තිබිණ. ඔහුගේ චිත්‍රපටවල විමල් කුමාර ද කොස්තා, මාලනී ෆොන්සේකා ආදී නළු නිළියන් රඟපෑහ. සිය නිර්මාණ පිළිබඳව කතා කරන විට තමන්ට උපකාර කළ ඇත්තන්ද සිහිපත් කරයි. ඒ අතරින් අජන්තා රණසිංහ, එච්.ආර්. ජෝතිපාල, විමල් කුමාර ද කොස්තා, දයා හා උපසේන විමලවීර දෙසොහොයුරන් සිහි නොකොට බැරි බව හේ කීය. හපරගමුවගේ හර්බට් රංජිත් පීරිස් යනු ඔහුගේ සම්පූර්ණ නමයි.

1972 වසරේ ‘සැණකෙළිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි හර්බට් රංජිත් පීරිස් එතැන් පටන් අප වෙත තිළිණ කළ චිත්‍රපට සියල්ලම පාහේ රසික සිත් සතන් තුළ නොමැකෙන මතක සටහන් තැබිමට සමත් විය. ඒ අතුරින් ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයට ප්‍රමුඛත්වය ලැබෙයි. ‘සිල්වා’ සහ ‘ඇරසොයිසා’ යන චිත්‍රපටද මෙරට බිහිවූ හාස්‍යමය චිත්‍රපට අතර ප්‍රමුඛ ස්ථානයක් දරයි. ‘හිම කුමාරි’ අධ්‍යක්ෂණය කරමින් ටෙලි නාට්‍ය තම ප්‍රමුඛ කලා මාධ්‍යය කොට ගත්තේය. ‘හිරු සඳු හමුවේ, හිරුට මුවාවෙන්, ලෝකාන්තය, වාඩිය’ ඔහුගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අතර වෙයි. ඔහුගේ පෙරළිකාර නිර්මාණ අතර ‘දියසේන’ නම් වූ ටෙලි වෘත්තාන්තයද සුවිශේෂී තත්ත්වයක් හිමිකර ගනු ඇත.

චාමක හා සිල්වා හොඳ මිතුරන්. මොවුහු එක්ව නිතරම ඇවිදීමට යති. ඔවුන්ගේ වාහනය බයිසිකලයයි. නිතරම කැඩෙන මේ වාහනයෙන් ඔවුන් දෙදෙනා දිනක් ගමනක් යද්දී සයිකලය කැඩෙයි. අසීරුවෙන් නැවත සයිකලය හදාගත් මිතුරන් දෙදෙනා තමන්ගේ අත් සෝදා ගැනීමට ගෙදරකට ගොඩවෙයි. ඒ කුමාරිගේ නිවසයි. බෝගෙදර යුවළගේ නිවසයි. මවත්, පියාත් නිවසෙහි නැත. නමුත් කුමාරි මේ තරුණයන් දෙදෙනා සමග පිළිසඳරේ යෙදේ.

කතාබහේදී චාමික උපාධියක් දරන තරුණයෙක් බවත්, එහෙත් ස්ථිර රැකියාවක් නොමැති බවත් දැන ගනී. චාමිකගේ පෙනුමට හා උගත්කමට හිත ගිය කුමාරි ඔහු සමග මිතුරුදමක් ඇතිකර ගනී. ක්‍රමයෙන් ඔවුන් පෙම්වතුන් වෙයි. දිනක් කුමාරි, චාමික පැමිණි විට මෙයට පෙර තමා නිවසේ තනිව හිඳින විට පැමිණි තරුණයකුගෙන් අනාථ වූ බව පවසයි. එහෙත් චාමික ඒ ගැන නොසලකා ආදරය වෙනසක් නැති බව පවසයි.

සිල්වා, ගීතා සමග මිතුරු වෙයි. හදිසියේ චාමික ගැන තොරතුරක් නැත. ඔහුගේ මිත්‍රයන්ගෙන්ද කුමාරිට ඔහු ගැන තොරතුරක් නැත. පතිරාජා, කුමාරිගේ ආදරය පතා එයි. ඈ ආදරයක් නොදක්වයි. මාස හයක් ගිය පසු ඇය පතිරාජා හා ආදරය කළ යුතු යැයි තීරණය කරයි.

එදා යුද හමුදා ජීප් රියක නැගී චාමික, කුමාරි හමුවීමට එයි. තමා හමුදාවට බැඳී පුහුණු වී උසස් පදවියකට පත්වූ හැටිත්, කුමාරිව පරීක්ෂා කිරීමට නිහඬව සිටි නමුත් සිල්වා හා මිත්‍රයන් මගින් කුමාරි ගැන දැනගත් හැටිත් කීවේය. කුමාරි අනාථ කළේ තම අයියා බව පවසන චාමික, කුමාරි හා එක්වෙයි. සිල්වා, ගීතා හා එක්වෙයි.

මේ චිත්‍රපටයේ සම නිෂ්පාදක සරත් පියදාස, සහාය අධ්‍යක්ෂ ප්‍රභාත් කුමාර, සංගීතය සරත් දසනායක, ගීත අජන්තා රණසිංහ, කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, හර්බට් රංජිත් පීරිස්, ප්‍රේමකීර්ති ද අල්විස්, නිෂ්පාදන අධිකාරී සරත් පියදාස, රඟපෑම් විමල් කුමාර ද කොස්තා, රෝයි ද සිල්වා, මාලනී ෆොන්සේකා, සමන්ති ලැනරෝල්, ජේ.බි.එල්. ගුණසේකර, රුක්මණි දේවි, විතානගේ යූ. ආරියවිමල්, ලක්ෂ්මි ඒකනායක, බි.එස්. පෙරේරා, හර්බට් කහවිට, මාජීව තන්ත්‍රිනායක, ෆේ‍රඩී සිල්වා, දොන් සිරිසේන, ෆරීනාලායි, ලාල් සේනාධීර, ප්‍රියන්ත විජේසිංහ, ටියුඩර් කරුණාරත්න, ධර්මදාස කුරුප්පු, රාජ් කුමාරසිංහ, පේ‍රමිලා රතුගම, බි. පද්මසිරි.

මෙහි සුමනා අමරසිංහ ආගන්තුක රඟපෑමක් රඟපෑහ. ගීත ගායනා එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, ෆේ‍රඩී සිල්වා, ඩෙස්මන් සිල්වා, ඒ.ඊ. මනෝහරන්, ක්ලෝඩ් ද සොයිසා.

ඔස්කා මෙන්දිස්