ඓතිහාසික දෙවනගල පර්වත මුදුනට අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර යුගය දක්වාම බැඳුණු ඓතිහාසික තොරතුරු තියෙන තැනක් තමයි දෙවනගල කියන්නෙ. කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේදි හමුවෙන මාවනැල්ල නගරයෙන් හැරිලා හෙම්මාතගම පාරෙ කිලෝ මීටර් හයක විතර දුරක් ගමන් කිරීමෙන් දෙවනගල පර්වතයට ළඟාවෙන්න පුළුවන්. පර්වත මුදුනෙයි දෙවනගල රජමහා විහාරය පිහිටලා තියෙන්නෙ. ඒ දක්වා යන්න පිහිටි ගලේම නෙළපු පියගැට පෙළ සහිත මාර්ග තුනක් තියෙනවා.

අලූත්නුවර දෙවියන් මුලින් හිඟුලේ කිරුංගල්පායට වැඩම කරලා දෙවෙනියට මේ පර්වත මුදුනට වැඩම කරපු හින්දා දෙවනගල කියලා හඳුන්වන බව ජනප‍්‍රවාදයක කියවෙනවා. රන් වංගෙඩි දෙකක් මෙතැන නිදන් කරලා තියෙන හින්දා දෙවනගල  වුණු බවත් කියවෙනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ ඉහළින්ම මතුවෙලා පෙනෙන  බතලේගල පර්වතයට විතරක් දෙවැනි වුණු හින්දා දෙවනගල නමින් හඳුන්වන බවත් ජනප‍්‍රවාදයේ සඳහන්. දෙවියන් වැඩහිටිය තැනක් නිසාවෙන්ම අමරගිර කියන නමත් මෙතෙන්ට ලැබිලා තියෙනවා.

අනුරාධපුර යුගයේදි ධාතුසේන රජ්ජුරුවො දාසෙන් පව්වෙහි විහාරයක් කරවපු බව මහා වංශයේ සඳහන්. දාසෙන් පව්ව කියලා ඒ කාලෙ හඳුන්වලා තියෙන්නෙ මේ පර්වතය බවයි කියවෙන්නෙ. පොළොන්නරු කාලෙදි කිත්සෙන් පව්ව කියලා හඳුන්වලා තියෙන්නෙත් දෙවනගලයි. ඒ බව සනාථ කෙරෙන සෙල් ලිපියක් උඩ පමුණුව පැත්තෙන් පර්වතය මුදුනට නගින පියගැට පෙළ ආසන්නයේම දැකගන්න පුළුවන්. මහා පරාක‍්‍රමබාහු රජ්ජුරුවො වරක් බුරුම දේශය එක්ක සටනක් කරලා තියෙනවා. ඒ සටනෙදි ප‍්‍රධාන සෙන්පතියා විදියට කටයුතු කරලා තියෙන්නෙ කීර්ති නගරගිරි කියන සෙනවියා. ඔහු සටන ජය අරගෙන ලංකා රාජ්‍යයේ බලය පැතිරවීම හින්දා සතුටට පත්වුණු රජතුමා ඒ වෙනුවෙන් සෙනවිතුමන්ට ප‍්‍රදානය කරපු ගම්වර ගැනයි මේ ලිපියේ සඳහන් වෙන්නෙ.

මහනුවර යුගයේදි පළවෙනි විමලධර්මසූරිය රජතුමා විසින් කරවපු සෙල් ලිපියකුත් පර්වත මුදුනේ දැකගන්න ලැබෙනවා. තමන්ගේ රජකම වෙනුවෙන් උදව් උපකාර කරපු දෙවනගල විහාරයේ වැඩහිටිය රතනාලංකාර හාමුදුරුවන්ට රජතුමා විසින් කරපු පරිත්‍යාග ගැනයි මේ ලිපියෙ සඳහන් වෙන්නෙ. ලිපියට ආසන්නයේම තියෙන සිරිපතුල මහනුවර යුගයේදි නිර්මාණය කෙරුණු විශාලතම සිරිපතුල් අතරින් එකක් හැටියට සැලකෙනවා.

දෙවනගල මුදුනේ ඉදිකරලා තියෙන ටැම්පිට පිළිම ගෙය පළවෙනි විමලධර්මසූරිය රජතුමාගෙ අනුග‍්‍රහයෙන් රතනාලංකාර හාමුදුරුවන්ගෙ මූලිකත්වයෙන් කෙරුණු බවයි පිළිගැනෙන්නෙ. පිළිම ගෙය වට කරලා පස්සෙ කාලෙදි ගොඩනැගිල්ලක් ඉදිකරල තියෙනවා. ඒ හින්දා එක්වරම ටැම්පිට පෙනුම හඳුනාගන්න අපහසුයි. පිළිම ගෙයට ඇතුල්වෙන දොරටුවේ උළුවස්ස විචිත‍්‍රවත් කැටයමින් යුක්තයි. ඇතුළෙ තියෙන සිතුවම් ආදිය මහනුවර යුගයේ මුල් කාලයට අයිති බවයි පිළිගැනෙන්නෙ. මකර තොරණක් යට වැඩහිඳින බුද්ධ ප‍්‍රතිමාව කීප වරක්ම සොර සතුරු ආක‍්‍රමණ හින්දා විනාශ වුණා. ඒත් මෑත කාලෙදි නව ප‍්‍රතිමාවක් ඉදිකර තියෙනවා.

හොඳින් වැඩුණු අරලිය ගස් පෙළකින් වටවුණු පොකුණ පර්වත මුදුනට සිසිලස ගෙන එනවා. පොකුණ වටා පැරණි සංඝාවාසයත්, ධර්ම ශාලාවත්, විෂ්ණු දේවාලයත් දැකගන්න පුළුවන්. දෙවනගල විහාරයේ දාගැබ කීප වතාවක්ම සොර සතුරන් කඩලා බිඳලා දැම්මත් අද අලූත්වැඩියා කරලයි තියෙන්නෙ.

ගල මත තියෙනවා ගල්ගේ කියලා හඳුන්වන නටබුන් වුණු ගොඩනැගිල්ලක්.  බදාමයකින් තොරව ගල් කුට්ටි එකක් මත එකක් හොඳින් සවිවෙන විදියට ඉදිකරලා තියෙන ගොඩනැගිල්ල පොළොන්නරු යුගයට අයිති බවයි පිළිගැනීම. මේ ගොඩනැගිල්ලට ගල් කුට්ටි කපා ගත්තු බව කියන තැන පිහිටලා තියෙන්නෙ විමලධර්මසූරිය රජතුමාගෙ සෙල් ලිපියට  ආසන්නයෙනුයි. දෙවනගල විහාර මන්දිරයට පහළින් බෑවුමේ පිහිටලා තියෙනවා අතීතයෙදි උමගක් හැටියට භාවිත කරපු බවට විශ්වාස කෙරෙන ගල් කුහරයක්. මේ උමග අද පස්වලින් පිරී තියෙන බවයි තොරතුරු දන්න අය කියන්නෙ.

දෙවනගල ඉතිහාසය වගේම පර්වත මුදුනේ පාරිසරික සුන්දරත්වය ගැනත් නොකියාම බැහැ. ගහකොළ තරමක් අඩු වුණත් තැන තැන තරමක් ලොකු ගස් වගේම පඳුරුත්, දිය සීරාව තියෙන තැන්වල පෙඳ, පාසි, මීවන වගේ පැළෑටිත් දැකගන්න පුළුවන්. වඩාත්ම සුන්දර වෙන්නෙ ඈතින් ඈතට පෙනෙන කඳුවැටිවල දර්ශනය. ඒ වගේ වෙනත් තැනක් මේ ප‍්‍රදේශයටම නැති තරම්. උතුරු දිගින් අලගල්ලත්, ඊසාන දිගින් කඩුගන්නාව කඳුවැටියත් දැකගන්න පුළුවන්.

නැගෙනහිර දිශාව පුරාවටම පැතිරෙන්නෙ කොටගල කඳුවැටිය. අම්බුළුවා වැටිය, පහනතිබූ ගල, පිඹුරාගල වගේ කඳු මුදුන් ගිනිකොන දෙසිනුයි පෙනෙන්නෙ.  නිරිත දිගින් සුවිශාල බතලේගල පර්වතයත්, ඌරාකන්ද වැටියත්, බටහිරින් වාකිරිගලත්, වයඹින් උතුවන්කන්දත් ඇතුළු කඳුවැටි බොහොමයක දර්ශනය හරිම දැකුම්කළුයි. හිරු බැසයන සවස් යාමයේත් උදෑසනත් තමයි දෙවනගල මුදුනේ සිට අවට දර්ශනය වඩාත් විචිත‍්‍රවත් වෙන්නෙ.

ඓතිහාසික වශයෙන් වැදගත් විහාරස්ථානයක් වැඳ පුදාගෙන නිදහසේ කාලය ගත කිරීමට දෙවනගල කදිම ස්ථානයක් බව එහි යන  ඕනෑම කෙනෙකුට හැඟී යනු නිසැකයි.

මහේෂ් ඉන්දික විජේතිලක