නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සංචාරයේ නිරතවෙන ඕනෑම අයෙකුට දිය ඇලිි රැසක සුන්දරත්වය අත්විඳින්නට ලැබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේදී ද දියඇලි කීපයක සුන්දරත්වය අත්විඳින්න පුළුවන්. මේ දිය ඇලිි බොහොමයක් ප්‍රධාන මාර්ගයේ හෝ අතුරු මාර්ගයක අයිනේ පිහිටා තිබිම විශේෂත්වයක්. මේ නිසා සංචාරකයින්ට පහසුවෙන්ම එම දිය ඇලි නැරඹීමේ හැකියාව ලැබෙනවා. මේ දිය ඇලි අතරින් “දිග්ගල්‍පොත්ත ඇල්ල”ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

මහනුවර සිට වැව රවුම ඔස්සේ පැමිණ තැන්නේකුඹුර හන්දිය අසලින් දකුණට හැරී මහවැලි රජ මාවත ඔස්සේ හඟුරන්කෙතට පැමිණිය යුතුයි. මේ ගමනේදී වික්ටෝරියා ජලාශයේ සුන්දරත්වය අපූරුවට විඳින්න පුළුවන්. පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා මේ දවස්වල වික්ටෝරියා ජලාශය පිරිලා තියෙන්නේ. මයිලපිටිය ආසන්නයේ රණවිරු උද්‍යානය පිහිටා තිබෙනවා. එය ඉදිකර තිබෙන්නෙත් වික්ටෝරියා ජලාශය ආසන්නයේමයි. මයිලපිටිය පසුකර කන්දහන්දිය ආර්ථික මධ්‍යස්ථානය අසලින් දකුණට හැරී කිලෝමීටර් දහයක් විතර එද්දී හඟුරන්කෙත නගරය හමුවෙනවා.

හඟුරන්කෙත පසුකර රිකිල්ලගස්කඩට පැමිණ එතැනින් දකුණට හැරී කිලෝමීටරයක්  පමණ එද්දී ‍පොරමඩුල්ල හන්දිය හමුවෙනවා. එතැනින් දකුණට හැරී කිලෝමීටර් පහක් හයක් යද්දී තමයි දිග්ගල්‍පොත්ත ඇල්ල දකින්න පුළුවන්. වැස්ස නිසා කඳුකරයේ අනෙක් දියඇලි වගේම දිග්ගල්‍පොත්ත ඇල්ලත් මේ දවස්වල ජලයෙන් පිරිලා තියෙන්නේ. මේ ඇල්ල පිහිටා තිබෙන ප්‍රදේශය හඳුන්වනු ලබන්නේද දිග්ගල්‍පොත්ත නමින්. මේ නම හැදෙන්නත් මේ ඇල්ල හේතුවුන බවයි ගම්වාසීන් කියා සිටින්නේ. නගරයේ කර්කෂ බවින් මිදී පිරිසිදු පරිසරයක පහස විඳින්න පුළුවන් අපූර්ව ස්ථානයක් විදිහට මේ දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. මේ පරිසරයේ නිහඬ බව සිතේ සුන්දර හැඟුමන් ඇතිකරනවා.

ඇලවී තිබෙන පැතලි ගල් පුවරුවක් බඳුවූ මේ ගල් තලාව දිගේ දිය දහරාවන් ගලා බසින්නේ සුදු සේලයක් කඩා වැටෙනා පරිද්දෙන්. නිහඬව ගලා බසින මේ ඇල්ල වටා පරිසරය අද්භූත හැඟීමක් ඇති කරනවා කිව්වොත් නිවැරදියි. ප්‍රධාන මාර්ගය අයිනට මේ දිය ඇල්ල අපූරුවට දිස් වෙනවා. ඉහළ ප්‍රදේශයක සිට ගලා එන මේ දිය ඇල්‍ලේ උස කොපමණදැයි තවමත් නිශ්චිතව ගණන් බලලා නෑ. මාර්ගයට පෙනෙන දිය ඇල්‍ලේ කොටස අඩි සියයකට ආසන්නයි.

මාර්ගයේ සිට ඇල්ල අසලට යන්න අඩි දහයක විතර කෙටි දුරක් තියෙන්නේ. හැබැයි මේ ස්ථානයේ කිසිවකුට ස්නානය කරන්න නම් අපහසුයි. ඒ වගේම කුඩා දරුවන් ඇල්ල පාමුලට රැගෙන යද්දී ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වන්නේ නම් වැදගත්.

පැතලි ගල් තලාවේ ඇතැම් ස්ථාන පඩිපේළියක් බඳුයි. මේ නිසා ඉහළ සිට කඩා වැටෙන දිය ඇල්‍ලේ ජල පහර අවට ප්‍රදේශය පුරා විහිදී යනවා. ස්වභාවික දිය උල්පත්වල ජලයෙන් ‍පෝෂිත මේ ඇල්‍ලේ ජලයෙන් ප්‍රදේශයේ කුඹුරු බිම් රැසක් ‍පෝෂණය ලබනවා.  ඇල්‍ලේ ජල පහර අයිස් කැටයක් තරමටම සීතලයි. මේ ඇල්ල නැරඹීමට පැමිණ ඇල්‍ලේ ඉහළට ගමන් කරන්න කිසිවකු උත්සාහ නොකළ යුතුයි. මොකද කියනවා නම් වතුර පහර ගලා එන ගල් කන්ද ඉතා ලිස්සන සුළු වීමයි.

මේ දිය ඇල්ල දෙපස ගස් කොලන්වලින් පිරිලා තියෙන්නේ. ඒ නිසා දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් මේ සුන්දර පරිසරය කෙලෙසා නොදැමීමටද වග බලා ගන්නවා නම් ඉතා වැදගත්. මේ ඇල්ල පසුකර මඳක් ඉදිරියට යද්දී කඳු පන්ති රැසක සේම අක්කර ගණනක් පුරා විහිදී ගිය කුඹුරු යායන් රැසක සුන්දරත්වය විඳින්න පුළුවන්. ඒ වගේම අතීතයේදී දළදා හිමියන් සඟවා තිබූ කිතුල්පේ රජ මහා විහාරය පිහිටා තිබෙන්නේද මේ ඇල්ල පසුකර යද්දී හමුවන කිතුල්පේ ප්‍රදේශයේයි.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com

Untitled-16 Untitled-15 Untitled-14