ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානනායකවරයා ගත් තීරණය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 4 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

පාර්ලිමේන්තු විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල විභාගය පැවැත්වෙන ලබන 4,5,6 යන දිනවලදී සරත් වීරසේකර මහතා ගොනු කළ පෙත්සම ද සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා, පාර්ලිමේන්තු මහෙලේකම්වරයා, නීතිපතිවරයා නම් කර තිබුණි.

ඉෂාර රත්නකාර