DIG Nalaka Silva

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ජාතිකයා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට තහවුරු වී ඇතැයි රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද දන්වා සිටියේ ය.

රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතික මර්සිලින් තෝමස් නමැති අය සම්බන්ධයෙන් ගනු ලැබූ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය මේ බව දන්වා සිටියේ ය.

අදාළ සැකකරු ලබන මස 05 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියම කළේය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ද ලබන මස 05 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඉෂාර රත්නකාර