පසුගියදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ටු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට එම තරගයේ විසිනුරුවන් විසින් ජගත් ක්‍රිකට් සමුළුවට වාර්තා කර තිබිණි.

අනතුරුව ජගත් ක්‍රිකට් සමුළුව විසින් ඒ පිළිබ¼ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබිණි.
මේ අනුව ඉදිරි දින 14ක් ඇතුළත පරීක්ෂණයකට පෙනී සිට තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිර්දෝෂි බව තහවුරු කිරීමටත් එහි යම් වරදක් ඇත්නම් එය නිවැරදි කර ගැනීමෙන් අනතුරුව නැවත පරීක්ෂණයකට පෙණී සිට පන්දු යැවීමේ අවස්ථාව හිමි කර ගැනීමටත් අකිලට අවස්ථාව ලැබි ඇත. එසේ වුවත් දින 14ක් ඇතුළත පෙනී සිටින පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු තවදුරටත් පන්දු යැවීමේ අවස්ථාව ඔහුට හිමිව ඇති බැවින් දෙපිල අතර පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දු යවන්නකු ලෙස ක්‍රියාත්මක වීමට ඔහුට බාධාවක් නැත. අකිල ධනංජය මුහුණ දුන් මෙම සිදුවීමත් සමග පන්දු යැවීමේ ඉරියව්ව සැකයට භාජනය වූ පන්දු යවන්නන්ගේ ඉතිහාසයට එබිකම් කර බැලීමට මේ අවස්ථාවේ වැඩි දෙනකු උනන්දුව දක්වන්නේ නම් එය ස්වභාවික තත්ත්වයකි.

එබැවින් අප එම ඉතිහාසය විපරම් කර බැලීම කාලෝචිතය.පන්දු යවන්නකුගේ ඉරියව්ව නීති විරෝධී බව අතීතයේදී තීරණය කරනු ලැබුවේ අදාළ තරගයේ පිටියේ විනිසුරුවන් දෙදෙනා විසිනි. එකල ඔවුන් වර්තමානයේ මෙන් චෝදනාවට ලක් කළ ක්‍රීඩකයකුට නැවත එම තරගයේදී පන්දු යැවීමේ අවස්ථාව ලබා දීමක් සිදු නොකළා සේම ඔවුන් පරීක්ෂණයකට භාජනය කිරීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කරනු නොලැබිය.

මේ අනුව නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්ව සහිත පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ අර්නි ජෝන්ස් නමැති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකි. ඔහු ඊට ගොදුරු වී ැඅත්තේ 1898 වසරේ මෙල්බන් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදීය.

අදාළ චෝදනාවට දෙවරක් ගොදු වූ පළමු ක්‍රීඩකයා ඉතිහාසයට එක් වී ඇත්තේ එංගලන්තයෙනි. සී.බි. ෆ්‍රයි නමැති ඔහු 1898 වසරේ හා 1900 වසරේද එම චෝදනාවට ගොදුරු කර ඇත්තේ ජිම් පිලිප්ස් නමැති විනිසුරුවරයා විසින් බව සඳහන්ය.

මෙම චෝදනාවට ලක්වූ පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙස සටහන්ව ඇත්තේ මධුසුදාන් රේගේ නමැත්තෙකි. ඔහු 1951 වසරේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පිල හා සංචාරක එම්.සී.සී. කන්ඩායම අතර පැවැති තරගයකදීය. කෙසේ වුවත් සැකසහිත පන්දු යැවීමේ ඉරියාව්ව යන චෝදනාවට ක්‍රිකට් ලෝකය තුළ වැඩිම ආන්ලෝලනයක් අත් කර දුන් ක්‍රීඩකයා ලෙස සඳහන් කළ හැක්කේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ය. මේ වන විට ටෙස්ට් කඩුලු 800ක් එක්දින කඩුලු 534ක් හා පන්දුවාර 20 කඩුලු 13ක් සහිතව අන්තර්ජාතික කඩුලු 1347ක් සහිතව වැඩිම කඩුලු සං්‍යාවක හිමිකරුවා බවට පත්ව සිටින ඔහු පළමු වරට 1995 වසරේ මෙල්බන් ක්‍රීඩාංගණයේදී ඩැරල් හෙයාර් නමැති විනිසුරුගේ චෝදනාවට ලක්වූ අතර නැවත 1996 ටෝනි මැක්කුයිලන් හා රොස් එමර්සන් යන විනිසුරුවන් විසින්ද 1999 වසරේ ඇඩි‍ලේඩ් ක්‍රීඩාංගණයේදී යළිත් රොස් එමර්සන් විසින්ද මුරලිදරන් පන්දු යැවීමේ ඉරියව්ව සැකයට භාජනය කර තිබුණි.

කෙසේ වුවත් පසුව ඔහු පරීක්ෂණයට පෙණී සිට පන්දු යවා පන්දු යවන අවස්ථාවේ අංශක 15කට වඩා එම අත නොනැමෙන බව තහවුරු කොට අදාළ චෝදනාවෙන් නිදොස් වීමට මුරලිදරන්ට හැකියාව ලැබුණි.

මේ අතරින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලයේ නායකයකු වූ ඩේවිඩ් ගවර් මෙම චෝදනාවට ලක්ව ඇත්තේ අපූරු සිදුවීමක්ද ඉතිහාසයට එක් කරමිනි.

ඔහු 1986 වසරේ නොටින්හැම්හි නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගයේදී නවසීලන්ත පිල කඩුලු අටක් අතැතිව ජයග්‍රහණය සඳහා එක ලකුණක් පිටුපසින් සිටියදී නායක ඩේවිඩ් ගවර් පන්දු යැවීමට ඉදිරිපත් වී යවන ලද පළමු පන්දුවම නීති විරෝදී ඉරියව්වේ චෝදනාවට ගොදුරු වීමත් සමග නවසීලන්ත ජයග්‍රහණය තහවුරු වී ඇත.

සැකසහිත පන්දු යැවීමේ චෝදනාවට ගොදුරු වූ පන්දු යවන්නන්ගේ ‍ලේඛනය :
අර්නි ජොන්ස් – ඔස්ට්‍රේලියාව (1898), සී.බි. ෆ්‍රයි – එංගලන්තය (1898/1900), ආතර් මෝල්ඩ් – එංගලන්තය (1900/1901), මධුසුදන් රේගේ – ඉන්දියාව (1951), කෝන් මැකාර්ති – දකුණු අප්‍රිකාව (1952), ඩග් ඉන්සෝල් – එංගලන්තය (1952), ටෝනි ලොක් – එංගලන්තය (1952/1954), කීත් ස්‍ලේටර් – ඔස්ට්‍රේලියාව (1958/1965), හැරල්ඩ් රොඩ්ස් – එංගලන්තය (1960/1965), ජෙෆ්රි ග්‍රිෆින් – දකුණු අප්‍රිකාව (1959/1960), බුච් වයිට් – එංගලන්තය (1960), රෙග් සිප්සන් – එංගලන්තය (1960), හසීබ් අසාන් – පාකිස්තානය (1961), චාලි ග්‍රිෆින් – බටහිර ඉන්දීය කොදෙව් (1962/1966), ඉයන් මැකීෆ් – ඔස්ට්‍රේලියාව (1963), ඉයන් රෙඩ්පාත් – ඔස්ට්‍රේලියාව (1964), අබිඩ් අලි – ඉන්දියාව (1968), ජිම් හිග්ස් – ඔස්ට්‍රේලියාව (1975), බෘෘස් යාඩ්ලි – ඔස්ට්‍රේලියාව (1978), සෙයිඩ් ක්‍රිමානි – ඉන්දියාව (1983), ඩේවිඩ් ගවර් – එංගලන්තය (1986), හෙන්රි ඔලොන්ගා – සිම්බාබ්වේ (1995), ගාන්ට් ෆ්ලවර් – සිම්බාබ්වේ (2000), මුත්තයියා මුරලිදරන් – ශ්‍රී ලංකාව (1995, 1996, 1999), සොයිබ් අක්තාර් – පාකිස්තානය (1999), සබිර් අහමබඩ් – පාකිස්තානය (2005), ජේම්ස් කර්ට්ලි – එංගලන්තය (2001), ජොහාන් බෝතා – දකුණු අප්‍රිකාව (2006), අබ්දුල් රසාක් – බංග්ලාදේශය (2008, 2009), ෂේන් සිරින්‍පෝට් – බටහිර ඉන්දීය කොදෙව් (2011, 2011, 2013), මාලන් සැමුවෙල් – බටහිර ඉන්දීය කොදෙව් (2013), සචිත්‍ර සේනානායක – ශ්‍රී ලංකාව (2014), කේන් විලියම්සන් – නවසීලන්තය (2014), සහීඩ් අජ්මාල් – පාකිස්තානය (2014), ‍ප්‍රොස්ට්පර් උට්සේයා – සිම්බාබ්වේ (2014), සොහාග් ගාසි – බංග්ලාදේශය (2014), ටස්කින් අහමඩ් – බංග්ලාදේශය (2014), අර්පට් සනි – බංග්ලාදේශය (2016), අකිල ධනංජය – ශ්‍රී ලංකාව (2018)

සීවලී එදිරිවීර

Untitled-18