මවකගේ ආදරය අසමසමය. මැක්සිම් ගෝර්කි නම් මහා ලේඛකයා කියූ ලෙසින් හිරුගේ හිරු කිරණෙනුත්  මවගේ මව් කිරෙනුත් මේ ලෝකයේ පැවැත්ම තීරණය වන්නේය. ලෝකයේ මොන දේශ දීපංකරයක වුවද ධාරක ස්නේහයට සම කළ හැකි අන් යමක් නැත. එවැනි අසමසම ආදරයක් පසුගිය දාක අසන්නට ලැබුණේ චීනයෙනි. ඒ කතාන්දරය  වසර දොළහක් පුරා කෝමා තත්ත්වයේ සිටි තම පුතු බලාගත් මවක පිළිබඳවයි. විශේෂත්වය නම් වෛද්‍යවරු පවා බලාපොරොත්තු අත්හැරී මොහොතක කවදා හෝ තම පුතු පියවි සිහිය ලබනු ඇතැයි යන  විශ්වාසයෙන් ඇය ඔහුව රැුකබලා ගැනීමය. අවසානයේ වසර දොළහකට පසුව ඔහු කෝමාවෙන් ඇහැරී පියවි සිහිය ලැබුවේය. ඇයගේ විශ්වාසය සත්‍යයක් විය.

වැන්ග් ශුබාවෝ 2006 වසරේදී චීනයේ සැන්ඩොන්ග් පළාතේදී  ඉතා දරුණු මෝටර් රථ අනතුරකට මුහුණ දුන්නේය. ඒ වන විට 36 වැනි වියේ පසුවූ වැන්ග් එම අනතුරෙන් මාරාන්තික තුවාල ලැබීය. අවසානයේ ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වුවත් ඔහු කෝමා තත්ත්වයට පත්විය. ඔහුගේ ශරීරය කවදා යථාතත්ත්වයට පත්වේද කියා වෛද්‍යවරුන්ට හෝ අනාවැකි කීමට නොහැකි විය. ඇතැම් වෛද්‍යවරු කීවේ ඔහු නුදුරේදීම මිය යනු ඇති බවයි.

නමුත් ඔහුගේ වයෝවෘද්ධ මව වේයි මින්ග්යින් ඒ කිසිවකින් සැලූණේ නැත. ඇය දැඩිව කියා සිටියේ තම පුතු කවදා හෝ ප‍්‍රකෘති තත්ත්වයට පත්වනු ඇති බවයි. එතෙක් ඔහුව බලාගැනීමට තමන්ට හැකි බවත් ඇය දැඩි ලෙස විශ්වාස කළාය.

රෝහලේ ප‍්‍රතිකාර ලබා අවසන් වූ පසුව ඇය සිය පුතුව නිවසට ගෙන ආවාය. තම පුතු කුඩා කාලයේම සිය සැමියා අහිමිව ගිය ඇයට ආයෙත් තම පුතු කුඩා දරුවකු සේ බලා කියා ගැනීම අරුමයක් වූයේ නැත. දිනපතා හිමිදිරි පාන්දර ඇහැරුණු ඇය තම පුතුට කෑම පිසුවාය. අනතුරුව ඔහුගේ ශරීර කෘත්‍යයන් කරවා, සම්පූර්ණ ශරීරය සෝදා පිරිසිදු කළාය. ඔහුට දිනපතා අලූත් ඇඳුම් ඇන්දවූවාය. පැය කිහිපයකට වරක් ඔහුගේ ශරීරය සම්බාහනය කරමින් වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දාය. මේ ආකාරයෙන් ඇය වසර දොළහක් දෛනිකව සිය පුතු රැුක ගැනීමේ කාර්යයේ නියැළුණේ ඒ ගැන කිසිදු වදවීමක් නැතිවය.

ජීවිතයේ වැඩි කාලයක් කෝමා වූ පුතු වෙනුවෙන් වැය කරන්නට සිදුවූ  හින්දා දිනෙන් දින ඇයගේ ආර්ථිකය පිරිහෙන්නට විය. වෙනදා රැුකියාවක් කර මුදල් සෙවූ පුතු අද ලෙඩ ඇඳේය. මොන ආර්ථික අමාරුකම තිබුණද පුතු වෙනුවෙන් කිසිදු අඩුපාඩුවක් ඇය කළේ නැත. ආර්ථිකය ඉතා අපහසු වූ කාලයක ඇය සම්පූර්ණ මාසයක් කිසිදු ආහාරයක් නොගෙන ජීවත් වූවාය. පාන වර්ග පමණක් පානය කරමින් ජීවිතය ගැට ගසාගත් ඇය තමන්ගේ කෑම වියදම පුතුගේ වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැප කළාය. කිලෝ පනහක බරක් තිබූ ඇයගේ ශරීර බර කිලෝ තිහට අඩුවිය. නමුත් ඇය තම කුස ගැන නොසිතා කුසින් වැ¥ දරුවා පෝෂණය කළාය.

වසර දොළහක් ගතවිය. ඇය දැන් 75 වැනි වියේය. පුතුට වයස 48කි.  පසුගිය ඔක්තෝබරයේ දවසක ඇය එතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි දින දිනය උදාවිය. තම පුතුගේ කාමරයට එන මව දකින්නේ සිනාමුසු මුහුණින් තමා දෙස බලා සිටින පුතුගේ රූපයයි. ප‍්‍රාතිහාර්යය එසේ සිදුවිය. ඔහු සිය මව හඳුනාගෙන සිටියේය. නමුත් ඔහුට කතා කරන්නට බැරිය. නැගිටගන්නට බැරිය. නමුත් ඔහුට ඇය කියන දේ හොඳින් ඇසේ. ඇය ක්ෂණිකව සිය පුතු වැළඳ ගත්තාය. සතුටු කඳුළු වැගිරුවාය. ආබාධිත පුතුට කළ හැකි වූයේ සිනාසීම පමණි. ඔහු දෑසෙන් බේරෙන කඳුළු අතරින් සිනාසුණේය. මේ සිදුවීම ලැව් ගින්නක් සේ චීනය පුරා පැතිර ගියේය. ලෝකය පුරාද පැතිර ගියේය. මාධ්‍යවේදීන්, රූපවාහිනී ඉදිරිපත් කරන්නන් ඔවුන්ගේ කුඩා නිවසට රොක්වන්නට විය. ඔවුහු  ඒ ආදරණීය මවගෙන් බොහෝ දේ විමසා සිටියහ. ඇය ඔවුන්ට කීවේ මෙවැන්නකි.

”මට දැනෙන්නේ කවදාවත් නොදැනුණු සතුටක්. බලන්න දැන් ඔහු හිනාවෙනවා. මම කවදාවත් බලාපොරොත්තු අත්හැරියේ නෑ. කවදාවත් අත්හරින්නෙත් නෑ. මම හිතනවා ඔහු සම්පූර්ණයෙන් සුවය ලබාවි. ආයෙත් මට අම්මා කියාවි” මවකගේ විශ්වාසය තරම් බලවත් විශ්වාසයක් මේ ලෝකයේ තවත් ඇත්ද? නිසැකවම ඔහු නැවත අම්මේ කියා ඇයව අමතනු ඇත.

අයේෂ් ලියනගේ

5837456-6359305-Wang_s_father_had_passed_away_when_he_was_young_leaving_his_moth-m-144_1541523645881 5837450-0-image-a-109_1541519904310 5837446-0-image-a-113_1541519965431