අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ අලුත් ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට එක් අභ්‍යවකාශ යානයක් පසුගිය දා සමත් විය. මෙම යානය නම් නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද පාකර් සූර්ය ගවේෂණ යානය යි. නාසා ආයතනය මෙම යානය අභ්‍යවකාශගත කළේ පසුගිය අගෝස්තු 12 වෙනිදා ය. පාකර් යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කි.මී. මිලියන 150 ක් පමණ දුරින් පිහිටි සූර්යයා යි.

මේ වනවිට සූර්යයා වෙත ගමන් කරමින් සිටින මෙම යානය මෙයට දින කිහිපයකට පෙර ලෝක වාර්තා දෙකක් පිහිටුවූයේය. ඉන් එකක් නම්, මතෛක් කාලයකට සූර්යයා වෙත වඩාත්ම සමීප වූ අභ්‍යවකාශ යානය වශයෙනි. ඔක්තෝබර් 29 වෙනි දින එය මෙම වාර්තාව පිහිටුවන තෙක් එම වාර්තාවට හිමිකම් කීවේ ජර්මනිය සහ ඇමෙරිකාව එක්ව අභ්‍යවකාශ ගත කළ යානයක් වූ හීලියොස්- 2 නමැති යානයයි. මෙයට දශක ගණනකට පෙර, 1976 වසරේ හිලියොස් 2 යානය සූර්යයාගේ සිට කි.මී. මිලියන 43 ක දුරක් දක්වා සූර්යයා වෙත සමීප වූයේය. නමුත් පසුගිය 29 වෙනි දින පාකර් යානය මෙම සීමාවෙන් එපිටට යමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

සූර්යයා පිළිබඳ රහස් සෙවීම සඳහා ගමන් කරමින් සිටින පාකර් යානය දැන් තවදුරටත් සූර්යයා වෙත ළඟා වෙමින් සිටියි. එය අවසාන වශයෙන් කි.මී. මිලියන 6 ක් දක්වා  හිරු වෙත කිට්ටු වීමට නියමිතව තිබේ. ඉතිහාසයේ කිසිදු දිනෙක අභ්‍යවකාශ යානයක් මේ තරම් හිරු සමීපයට ළඟා වී නොමැත. කෙසේ නමුත් පාකර්යානය මෙම සමීපතම කලාපයට ළඟා වීමට නියමිතව ඇත්තේ තව වසර හතකිනි. එනම් 2025 වසරේ ය.

පාකර් සූර්ය ගවේෂණ යානය විසින් පිහිටුවන ලද තවත් ලෝක වාර්තාවක් වෙයි. එනම් ඉතිහාසයේ මතෛක් වැඩිම වේගයකින් ගමන් කළ අභ්‍යවකාශ යානය වශයෙනි. ඉහත සඳහන් කළ පළමු ලෝක වාර්තාව පිහිටුවන අවස්ථාව වනවිට එය ගමන් කරමින් තිබූ වේගය තත්පරයට කි.මී. 70 ක් විය. එය පැයටකිලෝ මීටර් දෙලක්ෂ පනස්දහසකට කිට්ටු වේගයකි. මෙයට කලින් මෙම වාර්තාවට ද හිමිකම් කියමින් සිටියේ කලින් කී හීලියොස් 2 යානය යි.කෙසේ වෙතත් පාකර් යානය ළඟා වීමට නියමිත උපරිම වේගයට තවමත් එය ළඟා වී නොමැත. ඉදිරියේ දී එය තවදුරටත් හිරු වෙත කිට්ටු වෙද්දී තත්පරයට කි.මී. 190 ක  උපරිම වේගයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය පැයට කි.මී. 684,000 කට ආසන්න වේගයක් වෙයි.
Untitled-9
මෙම සූර්ය ගවේෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණක් වන්නේ සූර්යයාගේ නික්මෙන සූර්ය කුණාටු (Solar Winds) නමින් හැඳින්වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමයි. ආරෝපිත අංශුවලින් සහ චුම්බක ශක්තියෙන් සමන් විතයම් දහරා විශේෂයක් ලෙස සැලකෙන මෙම සූර්ය කුණාටු පෘථිවියේ බොහෝ කටයුතුවලටද බලපෑම් කරන්නකි. විශේෂයෙන් පෘථිවියේ විදුලි පද්ධතිවලටත්, සන්නිවේදන කටයුතුවලටත් මෙයින් විශාල වශයෙන් බලපෑම් එල්ල වන බව පිලිගැනේ. අභ්‍යවකාශයේ රඳවා ඇති කෘත්‍රිම චන්ද්‍රිකා සහ පෘථිවිය අතර සන්නිවේදන කටයුතු ආදියට පවා මෙයින් විශාල බලපෑමක් එල්ල වෙයි. මෙම පසුබිම තුළ සූර්ය කුණාටු පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කිරීම ඉහත කී බලපෑම් සහ එයින් සිදුවිය හැකි හානි කළමනාකරණය කර ගැනීමේ දී බෙහෙවින් උපකාරී වනු ඇත.

ඉදිරි කාලයේ දී පාකර් ගවේෂණ යානය සූර්යයා වටා ඉලිප්සාකාර වළලු ආකාරයේ ගමන් මාර්ගවල 24 වතාවක් ගමන් කිරීමට නියමිතව තිබේ. ඒ අතරින් පළමු ගමන් වාරය පසුගිය සතියේ ආරම්භ කිරීම ද මෙම චාරිකාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වූයේය. මෙම ඉලිප්සාකාර ගමන් මාර්ගයේ එක් තැනක දී යානය සූර්යයාගේ සිට කි.මී. මිලියන 24 ක දුරක් දක්වා සමීපවිය.(ඒ අවස්ථාවේඑහි වේගය පැයට කි.මී. 343,000 ක් බවද වාර්තා විය.) හිරු ගේ අධික උෂ්ණත්වය පිළිබඳ සලකා බැලීමේ දී මෙතරම් සමීපයට ළඟා වීමඉතා අභියෝගාත්මක කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. (සූර්යයාගේ මතුපිට සාමාන්‍ය  උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6,000කට ආසන්නය). ඉහත කී ලෙස පාකර් යානය එහි පළමු වළලු-ආකාර ගමන ආරම්භ කරද්දී පෘථිවියේ සිට එහි කටයුතු අධීක්ෂණය කරන විද්‍යාඥයින් සිටියේ තරමක ආතතියෙනි. ඒ, හිරුගේ දැඩි උෂ්ණත්වයට මුහුණ දෙමින් නිරුපද්‍රිතව සිය ගමනෙහි නිරත වීමට යානය සමත් වේවි ද යන අවිනිශ්චිතතාව නිසාය. සූර්යයාගෙන් නිකුත් වන අධික උෂ්ණත්වයට මුහුණ දීම සඳහා එක්තරා ආරක්ෂක පලිහක් වැනි උපාංගයක් එයට සවි කර තිබේ. මෙම පලිහ නිතරම සූර්යයා පැත්තට හැරී පැවතිය යුතු අතර එසේ නොවුණහොත් එක මොහොතින් යානය දැවී විනාශ වී යයි. මෙම පලිහ නිතර හිරු දෙසට හරවා තැබිම සිදුවන්නේ පරිගණක ආශ්‍රයෙනි.

සූර්යයාට මේ තරම් ආසන්න වෙද්දී යානය සහ පෘථිවිය අතර සියලු සන්නිවේදන සම්බන්ධතා ඇණහිටීමක් ද සිදුවන අතර එයින් පසු යානය කටයුතු කරන්නේ පෘථිවියේ කිසිදු පාලනයකින් තොරව, තනිවම ය. මේ ආකාරයෙන් සන්නිවේදන සබඳතා නතර වන්නේ සූර්යයාගෙන් නිකුත් වන අති ප්‍රබල තරංග ආදියෙහි දැවැන්ත බලපෑම හේතුවෙනි.

මේ අනුව යානයට තනිවම සිය කටයුතු කර ගැනීමට හැකි වේවිද යන්න ද විද්‍යාඥයින් තුළ විමසිලිමත් බවක් ඇති කළ කාරණයක් විය. කෙසේ හෝ වේවා මේ සියලු අභියෝග තනිවම ජය ගැනීමට මේ වනවිට පාකර් යානය සමත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය භාරව සිටින විද්‍යාඥයින් මහත් සතුටට පත්ව සිටිනු දැකිය හැකිවිය.

නිහාල් පීරිස්

Untitled-8