උද්‍යානයක සිරිගත් නෙක තුරු උයන් සහ ජල ‍පොකුණුවලින් සැදුම් ලත් රෝහලක් වෙත් නම් ඒ පිළිබඳව කතා කළ යුතුම වේ.

කොළඹ නාවික මහ රෝහල මේ වසරේ පරිසර හිතකාමී ජනාධිපති සම්මානය දිනාගනු ලබන්නේ අතිශය කලබලකාරි රෝහලක් උද්‍යානයක් ලෙස අලංකාර ලෙසත් පරිසර හිතකාමී ලෙසත් පවත්වාගෙන යාම නිසාවෙනි.

2012 වසරේ වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නාවික මහ රෝහලෙන් පනස් පන්දහසක් වන දිවයින පුරා විසිරී සිටින නාවික හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල පිරිස් සහ විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් තම රෝහල් අවශ්‍යතාවන් සියල්ල සපුරාගනු ලබයි.

රෝහල් පරිශ්‍රයේ ඇතුළත විවිධ වර්ගීකරණයන් යටතේ වූ ඉතා දුර්ලභ වර්ගයේ තුරුලතා රාශියක් රෝපණය කර ඇති අතර රෝහල් ගොඩනැගිල්‍ලේ සෑම මහලක්ම තුරුලතාවලින් පිරි ස්වභාවයක් දක්නට ලැබේ.

රෝහල් ගොඩනැගිල්ල නිර්මාණය කොට ඇත්තේද සම්පූර්ණයෙන්ම ස්වාභාවික පරිසරය හා සමතුලිත වන අයුරින් වන අතරම ස්වාභාවික වාතය ස්වාභාවික ආලෝකය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි නිර්මාණකරණය සිදු කර ඇත.

උදෑසන හයේ සිට සවස හය දක්වා කාලය තුළ විදුලි බල්බ ආලෝකකරණයක් අවශ්‍යම නොවන අයුරින් මහ රෝහලක් පවත්වාගෙන යාම විස්මය ජනකය.Untitled-21

වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍යම ශල්‍යාගාරවල පමණක් වන නමුත් රෝහල් පරිශ්‍රයේ අලංකාරව නිමවා ඇති ජල උද්‍යාන තුළින් සම්පූර්ණ රෝහ‍ලේම පුදුමාකාර සිසිලසක් විහිදී යන බව එහි ගිය අපට දක්නට ලැබිණි.
කසළ ‍පොදක් හෝ ඇහැට දක්නට නොලැබෙන කොළඹ නාවික මහ රෝහල සම්බන්ධයෙන් ඉරිදා රිවිර සංග්‍රහයට අදහස් දැක්වූ අණදෙන නිලධාරි කමාන්ඩර් පුබුදු ගුණසේකර මහතා :

අපි නාවික මහ රෝහල පරිසර හිතකාමී රෝහලක් ලෙස දිගින් දිගටම සංවර්ධනය කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙනවා.

මේ රෝහල වටා තිබෙන තුරුලතා සඳහා අවශ්‍යජලය රෝහල වටා තිබෙන ඇළ මාර්ගවලින් උරා ගන්නා ආකාරයට ඒ ඇළ මාර්ග සකස් කොට තිබෙනවා.

ජලය හිඟ කාලය සඳහා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපේ කඳවුරේම ඇළ මාර්ග, ළිං සහ පුංචි වැවක් අපි නඩත්තු කරගෙන යනවා. මේ රෝහ‍ලේ කිසිම වාට්ටුවකට වායුසමීකරණ හෝ විදුලි පංකා අවශ්‍ය වන්නේ නැහැ. එම වාට්ටු සංකීර්ණ ජල උද්‍යාන තුළින් ස්වභාවිකවම සිසිල් වන ආකාරයට නිර්මාණය කොට තිබෙනවා.

කසළ ප්‍රතිචක්‍රීකරණයේදී සාමාන්‍ය 5ඉ ක්‍රමය අනුගමනය කළත් ඒ ක්‍රමයෙන් ඔබ්බට ගිය විනයක් අපට තිබෙනවා. ‍පොලිතින් සහ ප්ලාස්ටික් රෝහල් භූමියට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්.

සාමාන්‍යයෙන් රෝහලක් කියන මානසිකත්වය සෑම අවස්ථාවකම රෝගියෙක් තුළ යම් චකිතයක් බියක් ඇති කරනු ලබනවා. නමුත් නාවික හමුදා මහ රෝහලට ඇතුළු වන රෝගියෙක් තුළ එවැනි සිතුවිලි ඇතිවන්නේ නැහැ. රෝහල් පරිශ්‍රය දුටු විට මානසික ලිහිල් භාවය ඇති වන ලෙස උද්‍යානයකට ඇතුළු වන හැඟීමක් රෝගියාට දැනෙනවා.

කොළඹ අවට පරිසරයක මේ රෝහල පිහිටා තිබිම නිසා කාබන්මොනොක්සයිඩ් සහ කාබන්ඩයොක්සයිඩ් වායු ධාරා නිසා ඇති වන වායු දූෂණය සහ වායු උෂ්ණත්වය අවම කිරීමට අපි රෝහල් පරිශ්‍රය තුළ විශාල වශයෙන් කුඹුක්, දං, කළුවර වගේ සිසිලස මනාව සුරකින පැළ රෝපණය කොට තිබෙනවා.

නාවික මහ රෝහල් පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයකුට එහි දක්නට ලැබෙන තවත් සුවිශේෂ තත්ත්වයක් වන්නේ අතිශය පිරිසිදු භාවයක්. රෝහල භූමිය පුරා ඇති ගස්වලින් ගිලිහෙන කොළයක් හෝ රෝහල් භූමියේ දක්නට නැහැ.

රෝහ‍ලේ විදුලිය, ජලය භාවිත කිරීම ඉතාම අරපිරිමැසුම් සහිත ක්‍රමෝපායක් භාවිත කෙරෙන්නේ. විදුලි සෝපාන පහක් ඇති නමුත් ඒවා රෝගීන් සඳහා පමණක් වෙන් කොට තිබෙනවා.

ඊට අමතරව දිරන කසළ යොදාගෙන කාබනික ගොවිපළක්, ශාක රෝපණය වැඩි දියුණු කිරීමේ පැළ රෝපණ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්, ඩෙංගු මර්දන වැඩසටහනක් ප්‍රදේශයේ අනෙකුත් ඇළ මාර්ග පිරිසිදු කිරීම වැනි බාහිර අංග රැසක් නාවික මහ රෝහල මගින් ක්‍රියාත්මක කරනු ලබනවා.

කොළඹ නාවික මහ රෝහල පංචවිධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන මහ රෝහලක් ලෙස ජාතික ඵලදායිතා සහතිකය 2015 ජාතික ඵලදායිතා කුසලතා සම්මානය, 2015 ජාතික හරිත ඵලදායිතා තරගාවලියේ කුසලතා සම්මානය, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර හිතකාමී සහතකිය සහ 2018 වසරේ හොඳම පරිසර හිතකාමී රෝහල ලෙස ජනාධිපති සම්මානය හිමි කරගෙන තිබේ.

අපේ රටේ අතිශය කලබලකාරි රෝහල් පද්ධතියේ නිසි විනයක් පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම නිසා දුක් විඳින රස්තියාදු වන රෝගීන්ගේ මැසිවිලි අ¼ෙදා්නා අපට කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ.

නමුත් නාවික මහ රෝහ‍ලේ පැයකට වඩා ගත කළ අපට ඉන් පිටතට පැමිණි විටත් අප සිටියේ රෝහලක බව නොහැඟෙන තරමට එම රෝහල පරිසරයට අනුගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇප කැපවී තිබිණි.

නෙරංජලා වික්‍රමසිංහ
ඡායා – සජීව චින්තක කහඳගමගේ

Untitled-20 Untitled-19 Untitled-18 Untitled-17 Untitled-16 Untitled-15 Untitled-14