නෙස්‍ලේ යනු ලොව විශාලතම ආහාර සහ පානීය සමාගමකි. එහි ශ්‍රී ලංකා සමාගම වන නෙස්‍ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා මෙවර රිවිර ඉරිදා සංග්‍රහයේ Billion Word විශේෂාංගය සමග එක්වෙයි. නෙස්‍ලේ ලංකා සමාගමේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ලෙස සැලකෙන බන්දුල එගොඩගේ මහතාගේ නාමය ශ්‍රී ලංකාවේ නෙස්‍ලේ සන්නාමය සමග බැඳී පවතියි.

පුංචිම කා‍ලේ ජීවිතේ  ජයගන්න අභියෝග තිබුණාද?
මගේ ගම අම්බලන්ගොඩ, මානමුල්ල කියන ගමයි. මගේ පියා ගම්මුලාදෑනිවරයෙක්. මගේ මව නර්ස් කෙනෙක්. මට එකම නංගි කෙනෙක් ඉන්නවා. මගේ පුංචි කා‍ලේ ගැන සිහිපත් කරනකොට බොහොම ගැමි පරිසරයක හැදුණු වැඩුණු සුන්දර සමයක්. හැබැයි ඒ සුන්දර පුංචි කාලය තුළ සැඟවුණු අසුන්දර සිදුවීම් ගොඩක් තිබුණා.

පාස‍ලේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව මුලින්ම කතා කළොත්?
මම පාසල් සමය ආරම්භ කරනවත් එක්කම මගේ තාත්තා සදහටම අපිව අතහැරලා දෙනෙත් පියාගන්නවා. එතැනින් ජීවිතේ දුෂ්කර කාල පරිච්ජේදයක් ආරම්භ වෙනවා කිව්වොත් හරි. තාත්තගේ ඇවෑමෙන් ජීවත් වීම අපිට ප්‍රශ්නයක් වුණා. ඊට පිළියමක් විදිහට අම්මා විදේශගත වෙනවා.

දරුවෙක් හැදෙනකොට දෙමව්පියන්ගෙන් ලැබිය යුතු රැකවරණය මට ලැබුණේ මගේ ආච්චි අම්මාගෙන්. අපි ජීවිතේ ආරම්භ කරන්නේ ජීවිතේ ගැන අවබෝධයක් ලබාගන්නේ ගොඩක් ලොකුවෙලා ‍නෙවෙයි. අවුරුදු හතක් විතර වෙනකොට එන දුෂ්කරතාවලට මුහුණ දීලා ජීවිතේ ඉදිරියට ගෙනියන්න මට තේරුමක් තිබුණා. ප්‍රාථමික අධ්‍යාපනය හොඳටම කළා. ශිෂ්‍යත්ව විභාගයෙන් දකුණු පළාතේ පළමුවැනියා ලෙස සමත් වුණා.

පාසල් ජීවිතේ ගැන සිහිපත් කරනකොට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?
මම පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. ගෙදර ඉඳලා පාසලට කිලෝමීටර් දෙකහමාරක් විතර දිනපතා පයින් ගියා. සමහර වෙලාවට දවල්ට කෑම කන්න පයින්ම ගෙදර එනවා. කඩෙන් මොනවා හරි කන්න අතේ සල්ලි තිබුණේ නැහැ.

ධර්මාශෝක විද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක තනතුර කරා  යද්දි විද්‍යා ශිෂ්‍ය සංගමයේ සහ කලා සංගමයේ මම සභාපති. ඒ කා‍ලේ සිංහල මාධ්‍යයෙන් කථිකත්වය සඳහා 1980දී ඩී.එස්. සේනානායක ගුණ සමරු ජනාධිපති සම්මානය මම දිනාගත්තා. ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා විදිහට මම ක්‍රීඩා කළා.

විවාද කණ්ඩායමේ නායකයා. ඒ එක්කම කිව යුතුයි මිශ්‍ර පාසලක අත්දැකීම් හරිම වෙනස්. යහළු යෙහෙළියන් හැමෝම එකට හරි හරියට මේ දේවල්වලට එකතු වුණා.

ඔය කා‍ලේ අමතක නොවන සිදුවීම් ගැන කතා කළොත්?
මට හරි පුදුම හිතෙන දෙයක් තියෙනවා. මම පාස‍ලේ විද්‍යා ශිෂ්‍ය සංගමයේ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ඒ මැතිවරණය මෙහෙයවූයේ අද මේ රටේ මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද දේශප්‍රිය මහතායි.

මගේ ගෙදර ගාව තිබුණේ ගඟ. ඔය ගඟේ පීනන්න අද ෆීල්ඩ් මාර්ෂල් ධුරය දරන සරත් ෆොන්සේකා මහතාත් එකතු වෙනවා. අපිට වඩා පාස‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨයෙක්. අපි පාස‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨයෝ විදිහට පහළ පන්තිවල සහෝදරයන්ට පුටු කඩන්න එපා කියලා කිව්වේ නැහැ. දඟකාර බව දරුවන් තුළ තිබිය යුතුයි. නමුත් අපි දවසක් වෙන් කරලා අර සහෝදරයෝ එක්ක එකතුවෙලා ඒ කැඩිච්ච පුටු හදනවා. ඔය කා‍ලේ මගේ පෞද්ගලික ජීවිතේ ඉතා දුෂ්කරයි. මට පාසල් යන්න සුදු කලිසම් තුනයි තිබුණේ. ක්‍රිකට් පුහුණුවීම්වලට අඳින්නයි පාසල් යන්නයි ඔය කලිසම් තුන තමයි තිබුණේ. පුහුණුවීම් අවසන් කරලා ආපු ගමන් කලිසම හෝදලා වේළගන්න ඕන. ඒ දවස්වල කලිසම හවසට හෝදලා එළියේ දර ළිප ගාව රස්නෙන් කලිසම වේළාගන්නවා. ‍පොල්කටු ඉස්තිරික්කයෙන් මැද ගන්නවා.

උසස් පෙළ කඩඉමෙන් පසුව ජීවිතේ දිශාව වෙනස් වෙන්නේ කොහොමද?
උසස් පෙළ ඉවර වුණත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක තනතුර නිසා ටික කාලයක් පාස‍ලේ රැඳුණා. ඔය කා‍ලේ නෙස්‍ලේ සමාගම විසින් අම්බලන්ගොඩ මැරතන් තරගයක් සංවිධානය කළා. මැරතන් තරගයේ පාස‍ලේ සම්බන්ධීකාරක කටයුතු සිදු කළේ මමයි. ඒ තරගයේ සංවිධාන කටයුතු පිළිබඳව පැහැදෙන නෙස්‍ලේ සමාගම මගෙන් ඇහුවා ප්‍රචාරක නිලධාරියෙක් විදිහට සමාගමට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. සංවිධාන කටයුතු පිළිබඳ මට හොඳ අත්දැකීම් පාසල් කාලෙදි ලැබුණා. චන්ද්‍ර‍ලේඛා පෙරේරාගේ, අමරදේව මාස්ටර්ගේ වගේ අයගේ සංගීත ප්‍රසංග සහ වේදිකා නාට්‍ය වගේ දේවල් මම පාස‍ලේදී සංවිධානය කොට තිබෙනවා.

මුල්ම සම්මුඛ පරීක්ෂණයත් හොඳ අත්දැකීමක් වුණා නේද?
පාසල් අවධිය නිමාවුණා විතරයි. සම්මුඛ පරීක්ෂණයකට එනකොට ටයි එකක් දාගෙන එන්න ඕන කියලාවත් දැනගෙන හිටියේ නැහැ. තවත් මම වගේම 15 දෙනෙක් විතර සම්මුඛ පරීක්ෂණයට ඇවිල්ලා තිබුණා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන ආකාරය දන්නෙත් නැහැ. මගේ ඉංග්‍රීසි දැනුම හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. නමුත් ඔවුන් මගේ පැහැදිලි කිරීම් පිළිබඳව තේරුම් ගත්තා වගේම මගේ හැකියාව තේරුම් ගත්තා.

ජීවිතේ මුල්ම රැකියාව ආරම්භ කළේ මොන විදිහටද?
මුලින්ම රැකියාව පටන් ගන්න කොට මම තමයි නෙස්‍ලේ ලංකා සමාගමේ පළමුවැනි ප්‍රචාරක නිලධාරිවරයා. නෙස්‍ලේ ලංකා සමාගමේ අඩුම තැන තිබෙන තනතුර ඒකයි. බොසුත් මම, ගෝලයත් මම, ඩ්‍රයිවරුත් මම, ක්ලීනරුත් මම කියන සංකල්පය තමයි තිබුණේ. හැම දෙයක්ම කළා.

1986 දී ගම්උදාව, 1987 දී යොවුන්පුර වගේ ප්‍රධාන පෙළේ රජයේ වැඩසටහන්වල නෙස්‍ලේ ලංකා සමාගමේ නියෝජිතයා මමයි. ඊට අමතරව ලංකාව පුරාම ගියා. ප්‍රචාරක වැඩ කළා.

නෙස්‍ලේ සමාගම බහුජාතික සමාගමක් වුණත් නිරන්තරයෙන්ම දේශීය වශයෙන් ක්‍රියාත්මක වුණා. කිරි ගොවීන්, ‍පොල්වගාකරුවන් වගේ පිරිසත් සමග හරි හරියට එකතු වෙන්න වුණා. දැන් අපේ සමාගම දවසකට කිරි ගොවීන් 20000 ගෙන් කිරි ගන්නවා. අපේ කර්මාන්තශාලාවත් දේශීයව තමයි ක්‍රියාත්මක වෙන්නේ.

මුල්ම රැකියාව ස්ථාපිත වෙන්න මහන්සි වෙනකොට මුහුණදීපු ආර්ථික දුෂ්කරතා මොනවාද?
උසස් පෙළ කරන කා‍ලේ අපේ පවුල යම් ස්ථාවර තත්ත්වයක හිටියා. ඊට පස්සේ ලොකුවට ආර්ථික අපහසුතා තිබුණේ නැහැ. පළමු වැටුප රුපියල් 1810යි. ඔය කා‍ලේ වැල්ලවත්ත පැත්තේ මිතුරකුගේ ගෙදර බෝඩිං වෙලා තමයි වැඩට ගියේ.
ජීවමාන කාලය තුළ සල්ලි නැති කාලය සහ සල්ලි තිබෙන කාලය අතර වෙනසක් නැහැ කියලා මම තේරුම් ගත්තා. ජීවිතේ විඳින්න හොඳම කාලය සල්ලි නැති කාලයයි. තමන් කරන ඕනෑම දෙයක් ආදරෙන් කැමැත්තෙන් කළ යුතුයි. මම මුල්ම රැකියාවට එනකොට හෙට කොහොමද අනෙක් තනතුරට යන්නේ කියලා හිතුවෙ නැහැ.

රැකියාවේ තනතුරෙන් තනතුරට යනකොට උසස් අධ්‍යාපනයට යොමුවෙන්නේ කොහොමද?
මට අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් තිබුණේ නැහැ. සමහර වෙලාවට මුළු මාසෙම පිට පළාත්වල ප්‍රචාරක වැඩසටහන්වල තමයි හිටියේ. ඔය අතරේ නෙස්‍ලේ සමාගමෙන් මාව ස්විට්සර්ලන්තය, ඊජිප්තුව වගේ රටවලමාර්කටින් විභාගවලට යොමු කළා. මම උනන්දුවෙලා ගත්ත උපාධියක් නැහැ. නමුත් උපාධියක් හා සමාන සහ ඊටත් වැඩි අත්දැකීම් තිබෙනවා. ඔය අතරේ මට ලැබුණු තනතුරු නම්බුනාම තිබෙනවා. ඒවා පිළිබඳව නිහතමානීව සිතනවා.

දැන් මම නෙස්‍ලේ සමාගමට සම්බන්ධ වෙලා අවුරුදු තිස් හතරක් වෙනවා. නෙස්‍ලේ සමාගම මගේ ජීවිතේ කොටසක් වගේ කිව්වොත් හරි.

ඔබ දැන් දරන තනතුර ගැන කතා කළොත්?
දැන් මම නෙස්‍ලේ සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මම අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා. දැනටත් අපනයන සංවර්ධන අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. ‍පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකා කර්මාන්තකරුවන්ගේ සංගමය industrial association of Sri lanka ‍ජ්‍යෙෂඨ උප සභාපති ලෙසත් trade finance investment අධ්‍යක්ෂවරයෙක් ලෙසත් Sea line group එකේ අධ්‍යක්ෂවරයකු ලෙසත් මම කටයුතු කරනවා.

පාසල් ක්‍රීඩා දියුණු කිරීමට ගොවීන් සමග සහ සමාජයේ බොහෝ ස්ථර සමග වැඩ කරන්නට සහ රජය සමග වැඩ කරන්නට මේ කාලසීමාව තුළ අවස්ථාව ලැබුණා. බලෙන් යම් නිෂ්පාදනයක් සමාජයට පටවනවා වෙනුවට සමාජය අගය කරන, සමාජයට වැදගත් වන සමාජ සංවර්ධනයට ඉවහල් වන සේවාවක් සමග ප්‍රචාරණය තමයි වැදගත් වන්නේ. බහුජාතික සමාගමක වුණත් කුමන තරාතිරමක වුණත් දේශීයත්වය අගයන, ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් වීම සාර්ථකත්වයට ඉවහල් වෙනවා.

දුෂ්කර ගමන් මගක සාර්ථක ගමනක් ආපු කෙනෙක් විදිහට නැවත හැරී බලනකොට මොකක්ද හිතෙන්නේ?
නිහතමානී සතුටක් දැනෙනවා. නෙස්‍ලේ සමාගමේ කළමණාකරන කමිටුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා මමයි. ආයතනයකට හෝ කුමන දෙයකට වුණත් නායකත්වය දෙනවා නම් තමා උදාහරණයක් සැපයිය යුතුයි. මම ඒ දේ හරියටම කළා.

පෞද්ගලික ජීවිතේ ගමන් මග සහ ආදරණීයයන් ගැන කතා කළොත්?
මගේ බිරිඳ මට මුලින්ම මුණ ගැසෙන්නේ පාස‍ලේදී. 1995දී අපි විවාහ වුණා. ඇය ශාන්තා එගොඩගේ. දුවෙක් ඉන්නවා. ඇය විදේශගතව උසස් අධ්‍යාපනය හදාරලා දැන් ලංකාවේ රැකියාවක් කරනවා. බිරිඳ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස සේවය කරනවා.

ඔබ ජීවිතේ සංකල්පය වශයෙන් දකින්නේ කුමක්ද?
ඉතා ඉක්මනින් ලබාගන්න දේවල්වලට වඩා දුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට යන ගමන්මග සුන්දරයි සහ සාර්ථකයි. කොළඹ හතේ ඉපදිලා බෙන්ස් එකේ පාසල් ගිහිල්ලා රැකියාවකට යොමුවෙන එක දුර ගමනක් ‍නෙවෙයි. අර ගමේ කොට කලිසමක් ඇඳන් දුර ගෙවලා පාසල් ගිහිල්ලා මෙතැනට ආපු දුර කිලෝමීටර් මිලියන ගණනක් වගේ. නෙස්‍ලේ ලංකා සමාගම වුණත් සැමවිටම මුල්තැන දෙන්නේ එවැනි අයටයි. වැදගත් වන්නේ තමන්ගේ අත්දැකීම් සහ හැකියාවයි.

නෙරංජලා වික‍්‍රමසිංහ
neranjalatw@gmail.com