‍පොළොන්නරුව පූජා භූමියේ විරාජමානව තිබෙන වසර සිය ගණනක් පැරණි දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඉකුත් 2014 වසරේදී ආරම්භ කරනු ලැබුවේ එය චිරාත් කාලයක් සංරක්ෂිතව පවත්වාගෙන යාම සඳහාය. පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන වූ මෙම පූජනීය ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රමිතියෙන් යුතුව නිපදවන ලද ගඩොල් භාවිත කළ යුතු වූවද, දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ නිලධාරීන් කොන්ත්‍රාත්කරුවන් හරහා තත්ත්වයෙන් බාල ගඩොල් භාවිත කිරීම නිසා මහා සෑයේ පැවැත්ම පිළිබඳ ගැටලු තත්ත්වයන් මේ වන විට උද්ගතව තිබේ.

අනුරාධපුර රාජධානියේ කඩාවැටීමත් සමඟ ‍පොළොන්නරු රාජධානියේ කටයුතු ආරම්භ විය. ‍පොළොන්නරු යුගයේ සශ්‍රීකමත් කාලසීමාව ලෙස පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය සඳහන් කළ හැකිය. ඔහු වසර 33ක කාලයක් පුරා ‍පොළොන්නරුව රාජධානිය පාලනය කළේය. කෘෂි කර්මාන්තයෙන් ‍පොළොන්නරුව සශ්‍රීක කළේය.

‍පොළොන්නරුව යුගය පුදුමයට පත්කරමින් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා දෙමළ මහාසෑය ඉදිකිරීමට කටයුතු කළේ ඉන්දියාවෙන් අල්ලාගෙන පැමිණි චෝළ සිරකරුවන් යොදාගෙනය.

ප¾ඩි රජය ගෙන ඒ රටින් ගෙනෙන ලද දෙමළුන් ලවා කරවූ බැවින් දෙමළ මහා සෑය නම් ලත් රියන් 1300ක් විශාල වූ, සියලු ස්ථූපයන්ට මහත් වූ දෙවැනි ෙකෙලාශය ඒ සමාන වූ මහා සෑයක් රහතුන්ගේ සෘද්ධියෙක්ද, දේව සෘද්ධියෙක්ද නැතිව මහත් රාජ සෘද්ධියෙන්ම කරවූවේය. යනුවෙන් මහාවංශයේ සඳහන්ව ඇත.

පැරකුම්බා රජුගේ අණින් ලංකාපුර නමැති සෙනෙවියා ඉන්දියාවේ සංග්‍රාම සඳහා සිංහල සේනා රැගෙන ගොස් එරටින් චෝළ ජාතිකයින් 12000 ක් මෙරටට රැගෙන ආවේය. එම සිරකරුවන් ලවා මෙම මහා සෑය ඉදිකිරීමට රජතුමා කටයුතු කළේය. දෙමහල් අයුරින් ඉඳිකරන ලද මෙම මහා සෑය පසුකාලයේදී දෙමළ මහා සෑය නමින් ජනවහරට එක්ව ඇත.  දෙමළ මහා සෑය ඉඳිකිරීම පිළිබඳව මහා වංශයේ සඳහන්ව ඇත්තේ එලෙසිනි.

ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ‍පොළොන්නරුව දෙමළ මහා සෑය පිළබඳව මහා වංශයේ සඳහන්ව ඇති ආකාරයට අතීතයේදී එහි උස රියන් 1300 කි. වර්තමානයේදී එහි වට ප්‍රමාණය මීටර් 600කි. එහි උස ප්‍රමාණය මීටර් 25. 65කි. කාලයත් සමඟ විනාශ වී ගිය මෙම මහා සෑයේ කැණීම් සිදුකර සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කරනු ලැබුවේ 1982 වසරේදීය. නමුත් එම සංරක්ෂණ කටයුතු දීර්ඝ කාලයක් සිදු නොවීය. මේ නිසා යළි මෙම පුරාවිද්‍යා ප්‍රදේශය ඝන වනාන්තරයක් බවට පත්වූවා සේම විවිධ ජාවාරම්කරුවන්ගේ රජ දහනක්ද විය.

කැලෑවෙන් වැසී ගිය දෙමළ මහා සෑයේ යළි සංරක්ෂණ කටයුතු ආරම්භ වන්නේ 2014 වසරේ මාර්තු මස 06දාය. ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීය.

දාගැබේ කැණීම් බාර උපදේශකවරයා ලෙස එකල කටයුතු කරනු ලැබුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් භාර අධ්‍යක්ෂවරයා වන ආචාර්ය නිමල් පෙරේරා මහතාය.

මේ දාගැබ අක්කර පහක පමණ වපසරියක් පුරා පැතිර තිබුණා. මෙහි ඉදිකිරීම් සිදුකර තිබුණේ ඉතා සංකීර්ණ අයුරිනුයි. නටඹුන්වල ස්වරූපය අනුව අපි දාගැබේ හැඩය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා. දාගැබේ ගර්භය සමතලා කර පීඨිකාවක් සකසා තිබුණා. එහි කුඩා දාගැබක් ඉදිකර තිබුණා. තිරිවානා පිහිටි ‍පොළොවකයි මේ දාගැබ ඉදිකර තිබුණේ.

මෙහි පාදම බොරලු තට්ටුවලින් සකසා තිබුණා. ප්‍රාකාරය බැඳලා තිබෙන්නේ හෙල්මලු ආකාරයටයි. ගර්භ ප්‍රාකාර මුදුන කිරිවෙහෙරට වඩා උසයි. මහාවංශයේ සඳහන් පරිදි දෙමළ සිරකරුවන් මේ මහා සෑය ඉඳිකර තිබෙන්නේ වරායක් ගොඩ කරන පරිද්දෙන්. යැයි ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ ගැන එකල මාධ්‍ය හමුවේ පැවසුවේ එසේය.

විරාජමාන වූ දෙමළ මහා සෑය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කළද එහි නිලධාරීන් එම කටයුත්ත මේ වන විට නිසියාකාරව සිදු නොකිරීම නිසා මහා සෑයට ඉදිරියේදී මහත් විනාශයක් වීමේ දැඩි අවදානමක් හටගෙන ඇත.

පුරාවිද්‍යාත්මක බවින් අනූන වූ ගොඩනැගිල්ලක් සංරක්ෂණය කිරීමේදී යොදාගනු ලබන්නේ සුවිශේෂී වූ ගඩොල්ය. ඒවා නිෂ්පාදනය කරන්නේද විශේෂිත තත්ත්වයන් යටතේය. එලෙස ඒවා සකස් කරනු ලබන්නේ පුරා විද්‍යා සාධකයන්ට කිසිදු හානියක් සිදු නොවන පරිද්දෙනි.

දෙමළ මහා සෑයේ සංරක්ෂණ කටයුතු සඳහා එම අරමුදල මගින් ටෙන්ඩර් කැඳවා ගඩොල් 1,30,000 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. එක් ගඩොලක් සඳහා අරමුදල විසින් ටෙන්ඩර්කරුවන්ට ගෙවා ඇති මුදල රුපියල් 39 කි.

මෙලෙස මිලදී ගත් ගඩොල් විශාල ප්‍රමාණයක් අද වන විට වැස්සට සේදී පස් බවට පත් වෙමින් තිබේ. සැපයුම්කරුවන් පස් දෙනෙකු සපයා ඇති මෙම ගඩොල් දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගනු ලැබූවද ඒවා ඇඟිල්ලෙන් තට්ටුවක් දැමූවද කැඩී පස් බවට පත්වන්නේය. සංස්කෘතික අරමුදල විසින් මෙම වැඩබිමේ අධීක්ෂණය සඳහා නිලධාරියෙකු පත්කර සිටියද, තත්ත්වයෙන් බාල ගඩොල් මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවකයින් යොදාගනු ලබන්නේ ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේ වීම විමතියට කරුණකි.

මේ පිළිබඳව විමසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ 0714-458362 යන දුරකථන අංකයට කිහිප අවස්ථාවකදීම ඇමතුවද ඔහු ඊට ප්‍රතිචාරයක් නොදැක්වූවේය.
අපි මේ සම්බන්ධව මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්.එම්.කේ. හේරත් මහතාගෙන් විමසීමක් කලෙමු.

අපි මේ ගල් සැපයුම්කරුවන්ගෙන් ගන්නේ පරීක්ෂාකර බලලායි. ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් යළි පරීක්ෂා කළ යුතුයි. එහෙම බලන්නේ නැතිව ප්‍රතික්ෂේප කරන්න බෑ. දියවෙලා තියෙනවා නම් හරි ප්‍රමිතියෙන් තොර ගල් තියෙනවා නම් අපි ඒවා කිසිසේත්ම යොදා ගන්නේ නෑ. මම ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස මාධ්‍යයට වගකීමෙන් කියනවා ප්‍රමිතියෙන් තොර ගල් අපි කිසිසේත්ම යොදා ගන්නේ නැහැ. තත්ත්වයෙන් බාල ගඩොල් භාවිතයට ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරනවා. යැයි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පැවසීය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail.com