* මොනවද අලුත් තොරතුරු?
සකූගේ කතාව, උරුමයක අරගලය, සූරිය වජ්ජ වගේම චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

* ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නවාද?
එහෙම නම් අමාරුයි. හොඳයි කියලා හිතුණොත් භාර ගන්නවා. සමහර අවස්ථාවල හොඳ අවස්ථා මගහැරිලා තියෙනවා.

* සකුගේ කතාවේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද?
ලොකු අභියෝගයක් වුණා. මීට කලින් මම එවැනි චරිතයක් කරලා තිබුණේ නැහැ. ඒ චරිත හැබෑවට දැකලා තිබුණත් මම ඒ චරිතය කරන්න උදව් ගත්තේ අධ්‍යක්ෂවරයාගෙන්. ඒ චරිතය කරනවා කියන්නේ මානසිකව වගේම කායිකව ලොකු අභියෝගයක් තමයි.

* උරුමයක අරගලය තුළින් නේද ඔබ ප්‍රථම වතාවට ඉතිහාස කතාවකට සම්බනධ වෙන්නෙ?
ඔව්, එවැනි දෙයක් මම මීට කලින් කරලම තිබුණේ නැහැ. ඒ චරිතය මම ගොඩක්ම ආසාවෙන් කරන චරිතයක්.

* ඔබට රංගනයට ආරාධනා ලැබෙන්නේ විවිධත්වයෙන් යුත් චරිත. ඒ ගැන මොකද හිතෙන්නෙ?
කවදාවත් මම බලා‍පොරොත්තුවෙන් හිටියේ නැහැ මට මේ චරිතය ලැබුණොත් හොඳයි කියලා. නිතරම මට රඟපාන්න ලැබුණේ විවිධ චරිත. ඒ ගැන ගොඩක් සතුටුයි මට. හිතුවේ නැති චරිතයක් මට ලැබිලා තියෙනවා. ඒලියන් කෙනෙක්ගේ චරිතයක්. යකෙක් වගේ චරිත මට වාසනාවට ලැබුණා.

* නිර්මාණ තෝරාබේරා ගැනීමේදී ඔබට වෙන්වූ සීමාවන් තියෙනවාද?
පිටපත කියවලා මට ඇත්තටම ඒ චරිතය කරන්න පුළුවන් නම් භාර ගන්නවා. නැත්නම් අතහරිනවා.

* ඒ කියන්නේ වැඩි තැනක් දෙන්නේ පිටපතට කියලද?
පිටපත වගේම අධ්‍යක්ෂවරයාටත් මම වැඩි තැනක් දෙනවා.

* එදා සහ අද ක්ෂේත්‍රයේ වෙනස මොන විදිහටද දකින්නේ?
ලොකු වෙනසක් තියෙනවා. එදාට වඩා වැඩ කරන පිළිවෙළේ ලොකු වෙනසක් අද තියෙනවා. වෙනස් වන ලෝකයත් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. අපිත් පුළුවන් විදිහට අනුගත වෙලා අපි නිර්මාණයට පුළුවන් උපරිමයෙන් වැඩ කරනවා.

* ඉඩ ලැබෙන නිතරම නිර්මාණ රසවිඳිනවද?
ඔව්. ටෙලි නාට්‍ය චිත්‍රපට මම බලනවා.

* හඬකැවීම් ශිල්පිනියක් විදිහට මොනවද අලුත් වැඩකටයුතු?
දෙරණේ යන ප්‍රථිවි මහ රජහි ප්‍රධාන චරිතයට මම හඬ කවනවා. ඒ චරිතයට හඬ කැවීමට මට ලොකු අභියෝගයක් වුණා. මොකද මීට කලින් හඬකැව්වේ අහිංසක කෙලිලොල් චරිත. මේ චරිතය හැඩිදැඩි නපුරු චරිතයක් නිසා මට ලොකු අභියෝගයක් වුණා. මම පුංචි කා‍ලේ ඉඳන්ම හඬකැවීම් ශිල්පිනියක්. ඒ නිසා මම මේ ක්ෂේත්‍රයට හරි කැමැතියි.

* ආපස්සට හැරිලා බලද්දී අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නෙ?
ඒ ගැන සතුටක් තියෙන්නේ. මම හරි පාඩුවේ හෙමින් ගමනක් ආපු කෙනෙක්. ගොඩක් වෙලාවට මම සමහර දේවල් අතහැරියා. ඒ හැමදේම ලැබෙන්නේ තමන්ගේ කර්මය අනුව. එක වෙලාවකට ආපස්සට හැරිලා බලද්දී දුකක් දැනෙනවා මම කාලයෙන් ප්‍රයෝජන ගත්තා මදි කියලා.

* ඔබේ නිර්මාණ පුතා බලනවද?
ඔව්. සකුගේ කතාව තමයි හරිම ආසාවෙන් බලන්නේ.

* කලාවට මොන වගේ නැඹුරුවක්ද තියෙන්න?
තවම එහෙම කිසිම නැඹුරුවක් නැහැ. එයා ෆොටෝ ගන්නවටත් හරි අකැමැතියි. එයත් එක්ක වෙළෙඳ දැන්වීමකට විතරයි සහභාගි වුණේ. ඒකත් හරිම අමාරුවන් තමයි කරන්න වුණේ.

* තවම විදේශ රටක පදිංචි වෙනවා කියන තීරණේද ඉන්නෙ?
ඒ අදහස අතහරින්න වුණා. පුතා පාසලකට දැම්මට පස්සෙ තමයි ඒ අදහස අතහැරලා දැම්මේ. අපි දන්නෙ නැහැ කොච්චර දේවල් කළත් විදේශ රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මමත් කලාකාරිනියක්නේ. ඒ නිසා මගේ මානසිකත්වය හිතලා ඒ තීරණය අතහැරියා. මොකද ඒ රටකට ගිහින් පිස්සු හැදුණොත්.

තිළිණි කරුණාරත්න