හෙළ ගී අඹරෙන් ගෙවුණු දිනයක අප  අතරින් සදහටම සමුගන්න වුණු ඇය කයින් අප අතර නැති වුණත් හදවත් අතර හැමදාමත් ජීවමානයි.  අමරා රණතුංග නම් ඇය ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්යවරියද වූවාය. සුලෝචනා, සපුමල් සුවඳක් සේ, මහ රෑ යාමේ.. ගීත ඇසෙනකොට ඇගේ මතකයන් පෙළෙන් පෙළ හදවතෙහි පෙළගැසීම නිරායාසයෙන් සිද්ධ වන්නකි. ඇයගේ හඬ ඇසූ ඔබට මට වඩා අගේ ජීවිතේ ගැන සියල්ල දන්නේ සහ ඇයව හඳුනන්නේ ඔහුය. ඒ ඇයගේ ආදරණීය සැමියා වන දයාරත්න රණතුංගයන්ය. මේ සටහන් තබන්නේ ඇයගේ මතකයෙන් ඔහු අප සමග හුවමාරු කරගත් සොඳුරු මොහොතක සිටයි.

මං හිතන්නේ තවමත් ඔබ සංගීතය තුළ අලුතින් යමක් කරන්න හිතලවත් නැතුව ඇති?
ඔව්. ඇත්තටම තවම ඒ නපුරු හීනයෙන් මිදෙන්න මටවත් පවු‍ලේ කිසිම කෙනෙක්ටවත් හැකියාවක් ලැබිලා නෑ. අලුතින් යමක් කිරීමේ මානසිකත්වයක් ගැන හිතන්නවත් බැරි තරම්.
ඒ මතකයන් ඒ තරම් ජීවමානයි…

සැබැවින්ම. ඇය වියෝ වුණා කියලා නොහිතෙන තරමට ඇය ජීවමානයි. ඇය වෙනුවෙන් සංවිධානය වෙන යම් යම් වැඩසටහන්වලට නම් අපි සම්බන්ධ වුණා. නමුත් තවම අලුතින් කිසිම දෙයක් හිතලා නෑ.

අපි මතක් කරමුද ඔබගේ සහ ඇයගේ හමුවීම ගැන?
ඇය හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තමයි අධ්‍යාපන කටයුතු කළේ. එතකොට ඇයටත්  මටත් අවුරුදු දොළහයි. ඒ කා‍ලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය  සංගීත විද්‍යාලයක් හැටියට ආරම්භ වෙනවා. ඉතින් අපි දෙන්නම සංගීතය හදාරන්න තෝරාගෙන තිබුණේ එතැන. අපි දෙන්නගෙම පියවරු විද්‍යාලාධිපතිවරු හැටියටයි සේවය කළෙත්.

ඒ කියන්නේ ඔබ දෙදෙනාම සංගීත අධ්‍යාපන කටයුතු කළේ එකට?
ඔව්. මේ සංගීත විද්‍යාලය තුළ අප දෙදෙනාත් තවත් තිදෙනෙකුත් සංගීතය හදෑරුවා. අද ඒ පස් දෙනාගෙන් අමරාගේ වියෝවත් එක්ක මං විතරයි ඉතුරුවෙලා ඉන්නේ. මෙහි අධ්‍යාපන කටයුතුවලින් වසර 6කට පස්සේ අපි භාරතයට  යනවා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන්න.

ඇය ලංකාවට එන්නේ සංගීතය පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය හැටියට?
ඔව්. භාරතයේදී ලබාගත් දැනුම තුළින් ඇය ආචාර්යවරියක් හැටියට ඇගේ උපරිම දස්කම් දක්වනවා. ඒත් එක්කම ලංකාවේ ප්‍රථම සංගීතය පිළිබඳ මහාචාර්යවරිය බවට ඇය පත්වෙනවා.

ඔබ දෙදෙනාගේ විවාහ කටයුතු කොහොමද සිද්ධ වුණේ? ඒ මතකයන් ගැනත් කියමු.?
අපි හරි ඉහළින් හොඳ විවාහ උත්සවයක් ගත්තා. හංවැල්‍ලේ අමරාගේ නිවසේ තමයි විවාහ උත්සවය තිබුණෙ. ඩී.එම්. කොළඹගේ කියන්නේ මගේ මාමා. ඉතින් ඔවුන්ගේ සහභාගිත්වයෙන් අපූරු දවසක් අපි ගත කළා. මට ඒ කා‍ලේ වාහනයක් තිබුණේ නෑ. ඉතින් ගුණරත්න අබේසේකර මගේ මස්සිනා  එයාගේ වාහනේ අපිට දුන්නා. අපි දෙන්නා නුවර ගිහින් සතියක් විතර නිදහසේ කාලය ගත කරලා තමයි ආපහු කිරුළපන අපේ ගෙදරට එන්නේ.

ඇය අනිවාර්යයෙන්ම ඔබට හොඳ මාතු භාර්යාවක් වෙන්න ඇති?
ඔව් ඇත්තටම ඇය මටත් මවක් වුණා. මගේ පියා විද්‍යාලාධිපති කෙනෙක්. අම්මා ගුරුවරියක්. එයාලත් හරිම ආදරෙයි අමරාට. ඊට පස්සේ අපිට දුවයි පුතයි ලැබෙනවා. දුව දැන් මියුසියස් විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඔවුන් දෙදෙනාම විවාහකයි. ඒ වගේම ඔවුන් දෙදෙනාත් සංගීතයෙන් විය හැකි ඉහළම තලයන්ට ළඟා වෙලයි ඉන්නේ. සංගීතය එක්කම බැඳුණු ජීවිත කතාවක් තමයි අපිට තියෙන්නේ.

මුළු පවුලම කලාවට ලැදියිනේ. කොහොමද නිදහස් වෙලාව ගත වුණේ?
නිදහස් වෙලාවක් නම් නොතිබුණා තරම්. මහ රෑටත් ඉතින් අපිට නිතරම එක එක්කෙනා කතා කරනවා. මොකද විදේශයන්හි ඉන්න පිරිස් කතා කරනකොට වෙලාව එහෙ මෙහෙ වෙනවනේ. නමුත් කිසිම කෙනෙක්ව අපි මඟහැරලා නෑ.
ඔබද ඇයගේ හොඳම රසිකයා?
නිරායාසයෙන්ම මම ඇයගේ හොඳම රසිකයෙක්. ඒ හඬට ඔබ වගේම මමත් ලෙන්ගතුයි. මම සහ අමරදේවයන් එක්ක පමණයි ඇය යුගගී ගායනයේ යෙදුනෙත්. අමරදේවයනුත් බෙහෙවින් ඇලුම් කළ හඬක් තමයි ඇය.

මෙරට විතරක් ‍නෙවෙයි ඇය එතෙරත් හරි ජනප්‍රිය තාරකාවක් වුණා නේද?
ඔව්. අපි ලෝකය පුරාම රටවල සංචාරයේ යෙදුණා. ඉන්දියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඉන් කිහිපයක්. ඇමෙරිකාවේ අපි අවුරුදු තුන හතරක් ජීවත් වුණා. ඉතින් මේ හැම තැනකදීම අපිට ආදරේ කරන, ඇයට ආදරේ කරන විශාල පිරිසක් හිටියා.

ඔබ ප්‍රියකරන ඇයගේ ගීත මොනවාද?
මම විශේෂයෙන්ම ඇය ගායනා කළ දුරස්වන්නට මේ ලෙසින්  ගීතයට බෙහෙවින් ඇලුම් කරනවා.

විශේෂ හේතුවක් තියෙනවද ඒ ගීතයට ප්‍රිය වීමට?
ඒ වචන ජීවිතේ විවිධ අවස්ථාවලට හරි සමීපයි. අජන්තා රණසිංහගේ තමයි මෙහි පද රචනය. ජීවිතේ එක එක අවස්ථා ගළපමින් ගැයෙන ගීයක් ඒක.  තරුණ කාලය, විවාහ වුණු කාලය ආදී වශයෙන් ඒ ඒ කාලයන් හා සැසඳෙනවා මෙය. මම විතරක් ‍නෙවෙයි බොහෝ දෙනෙක් මේ ගීතයට කැමැති වග මට දැනගන්න ලැබිලා තියෙනවා.

යුග ගී අතුරින් ප්‍රියතම ගීතය මතක් කළොත්?
1950 දශකයේ ගායනා කළ මහ රෑ යාමේ ගීය තමයි අවිවාදාත්මකව යුග ගී අතුරින් ඉහළින්ම  තියෙන්නේ. මර්වින් සේනාරත්න නම් දක්ෂ නාට්‍ය රචකයෙක් තමයි මෙහි පද නිර්මාණය කරන්නේ. නාට්‍යමය රසය පිරි ගීත ලංකාවේ හරි විරලයි. ඒ අතරින් මේ ගීය හරි සුවිශේෂයි. ලංකාවේ ජන සංගීතය එක්ක මුහුවෙලා ගැයෙන ඒ ගීිතය ඇහෙනකොට ලංකාවේ සිංදුවක රස දැනෙනවා කියලා කොයි කවුරුත් කියනවා.

සෑහෙන ප්‍රතිචාරයක් ලබපු සහ ලබන ගීතයන් නේද එය?
මේ මෑතක එක්තරා නාලිකාවක මේ ගීය ගැයෙනකොට අයෙක් කතා කරලා කියනවා තවත් වසර 250ක්වත් පවතින ලංකාවේ ගීයක් බවට මේ ගීතය පත්වෙනවා කියලා. ඉතින් එතනින්ම සනාථයි ලැබෙන රසික ප්‍රතිචාරය.

ඇයගේ ගමන තුළ කඩාවැටීම්, පසුගාමී වීම් තිබුණා ද?
ඇය තුළ එහෙම පසුගාමීවීම් හෝ කඩාවැටීම් තිබුණේ නෑ. නමුත් රට තුළ නම් එවැනි තත්ත්ව හරියට සුලබ වුණා. මොකද වෙනත් රටක ඉහළ තනතුරු දරන්නේ පිළිගත් විශ්වවිද්‍යාල උපාධි සහතික දරන්නන්. නමුත් අපේ රටේ අවාසනාවකට විශ්වවිද්‍යාල තුළ ඒ පත්කිරීම් කරන්නෙත් එවැනි සුදුසුකම් සපුරලා නැති පිරිස් විසින් ඉතින් බුද්ධියේ ප්‍රශ්නයත් අපේ රටට තියෙනවා. අපිට නම් කිසිම දේශපාලනයක්  තිබුණේ නෑ. දැනුත් නෑ. අපේ දේශපාලනය වුණේ සංගීතය. ඒ ඇරුණුකොට හැම දේශපාලන චරිතයක්ම අපේ මිත්‍රයෝ.

සාමාන්‍ය ජීවිතේදී ඔබ කොහොමද ඇයව දැක්කේ?
ධාර්මිකව ජීවිතේ ගෙවන නිවුණු තැනැත්තියක් හැටියටයි මං ඇයව දැක්කේ. සංගීතය මේ තරම් ඇයට පිහිටන්නත් හේතුව ඒ ගති ලක්ෂණයට තමයි. අපි නිතරම පන්සල ඇසුරු කළා. බෙල්ලන්විල පන්සලට නිතරම යනවා එනවා. ලංකාවෙත්  හැමතැනම පාහේ අපි ඇවිදලා තියෙනවා. ඒ විදියට සරලව සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවපු කෙනෙක් ඇය.

ඇගේ කලා ජීවිතේ සාර්ථකත්වයේ රහස හැටියට ඔබ මොකක්ද දැක්කේ?
ඇය උත්පත්තියෙන්ම හැකියාව තිබුණු කෙනෙක්. ඕනිම තැනක දණගහලා වඳින්න තරම් ඇය ගුරුවරුන්ට  ගරු කරනවා. අපි අවුරුද්දකට වතාවක්වත් භාරතයේ අපේ ගරුවරු බලන්න ගියා. අපේ ආගම වුණෙත් සංගීතය. උපතින් බෞද්ධයින් හැටියට අපි භාවනාව ප්‍රගුණ කළා. සංගීතයේ සමාධියට සමවැදෙන්න. ඇය ආචාර්ය උපාධිය ලබාගන්නා මොහොතේ එතැනට රැස්වුණු විද්වතුන් පවා කීවේ අවුරුදු 20කින්වත් ඇය තරම් ලකුණු ලබපු අයෙක් බිහි නොවුණු වග. ඒ තරමට ඇය සංගීතය භාවනාවක් සේ ප්‍රගුණ කළා.

ඇයගේ වටිනාකමට නිසි තැන මෙරට තුළ ලැබුණා කියලා ඔබ හිතනව ද?
ඒ ගැන නම්  මා තුළ යම් හෝ සතුටක් නෑ. මොකද ඇතැම් උගත් පිරිස් ඇගේ වටිනාකම හඳුනාගත්තා. නමුත් බොහෝ පිරිසකට ඒ වටිනාකම තේරුම් ගැනීමට තරම් උගත්කමක් තිබුණද කියලා මට පැටලිලි සහගතයි. උගත්කම එක්ක සංගීතය මුහුවුණාම බිහිවෙන රසිකත්වය අපේ රටට හරි නුහුරුයි. මාධ්‍ය ඒ තැනට අපේ රසිකයාව අරන් ඇවිල්ලත් නෑ. ඒ කා‍ලේ ශාස්ත්‍රීය සංගීතයට ජනමාධ්‍ය තුළ වෙනමම වෙලාවක් පවා වෙන්වුණා. නමුත් දැන් දැන් ඒ වටිනාකම් ගිලිහෙමින් යනවා.

ඇය ඇයගේ උපරිමය කළා කියලා ඔබ හිතනව ද?
ඔව්. ඇය ඇයට හැකි උපරිමය කලාව තුළත් පෞද්ගලික ජීවිතය තුළත් මවක්, බිරිඳක්, දියණියක් හැටියට ඉටු කළා. නමුත් ඇයටත් ඒ උපරිම තත්ත්වය ලැබිය යුතුව තිබුණා. උගත් කොයි කාටත් රට තුළ තියෙන ගැටලුවක්නේ ඒක.

ඇයට බලා‍පොරොත්තු තියෙන්න ඇති නේද?
ඇය බෞද්ධ හැඟීම් තිබුණු කෙනෙක්. මගේ අවාසනාවකට ඇයට තව ටිකක් ජීවත් වෙන්න බැරිව ගියා. මම හිතනවා සංගීතය ගැන හැරුණාම ලෞකික සැප සම්පත් ගැන නම් ඇයට බලා‍පොරොත්තු තිබුණේ නෑ කියලා.

දැන් ඇයගේ නිර්මාණ රැක ගැනීම ඔබ සතු වගකීමක් නේද?
ඒක පැහැර හරින්න බැරි වගකීමක්. මේ ළඟකදී අපි එක්තරා රූපවාහිනි නාලිකාවකට ආරාධනා ලැබ ගියපු අවස්ථාවේ අපේ දුව අමරාගේ  ගීත ගායනා කළා. ඉතින් බොහෝ දෙනෙක් හිතන්න ඇති ඇයගේ වියෝවේ උණුසුම යන්නත් කලින් අපි සිංදු කියනවා කියලා. නමුත්  අපි එතනදී කළේ අමරා වෙනුවෙන් අපිට කළ හැකි උපරිමය. මොකද ඇගේ   ගීතවල උරිමය දියණියට තියෙනවා සහ එහි නිවැරැදි ගායනා රටා ගැන කියන්නයි අපි උත්සාහ ගන්නේ. මම හිතනවා ඒ පණිවිඩය රටට දෙන එක අපේ වගකීමක් ඇය වෙනුවෙන්.

ඒ කියන්නේ මවගේ හඬට දුවගේ හඬ බෙහෙවින්ම සමානයි….?
ඒක විද්‍යාත්මකව පිළිගත් සත්‍යයක්. මවගේ සහ පියාගේ හඬ දරුවන්ට නිරායාසයෙන්ම පිහිටනවා. ඉතින් අම්මාගේ හඬ දුවට ඒ විදියටම පිහිටලා තියෙනවා. අමරා රණතුංග කියන නම කවදත් ජීවමානයි. ඉදිරියේදී දියණියගේ හඬ ඇහෙනකොට ඇය තවමත් අපි අතරම හුස්ම ගන්න වග හොඳින්ම වැටහේවි.

යමෙක් ඇයගේ ගී ගායනයට ඇලුම් කරනවා නම් කොහොමද ඒ අවසරය ලබාගත යුත්තේ?
ඒ අවසරය දියණිය හරහා ලබාගන්න පුළුවන්. මොකද දැනටමත් ඇගේ මුල් ගීතවලට හානිවුණු අවස්ථා රැසක් තියෙනවා. අපි ද දකිනවා අමරදේවයන්ට ළං වෙන්න බොහෝ පිරිස් උත්සාහ ගන්නවා. නමුත් සාර්ථක නෑ. ඉතින් එතනින් වෙන්නේ මුල් ගීතයේ වටිනාකමත් හීන වෙන එක. ඒ නිසා හැකියාව තියෙන යම් අයෙක් අවසර ඉල්ලුවොත් අදාළ අවසරය ලබා දෙන්න අපි සූදානම්.

ඇය වෙනුවෙන් ඒ මතකයන් අවදි කරන්නත් බලා‍පොරොත්තුවක් ඇති නේද ඔබ සතුව?
බලා‍පොරොත්තුවක් තිබුණටම ප්‍රමාණවත් නෑ. ඊට අදාළ මූල්‍යමය ශක්තිය තියෙන්නත් ඕනි. ඉතින් ඇයට ආදරේ කරන සහ ඇගේ වටිනාකම් දැනෙන පිරිස් සංවිධානය වෙලා යමක් ක්‍රියාත්මක කළොත් අපෙන් විය යුතු සියල්ලම සිදු කර දෙන්න අපි සූදානම්.

නඳුනි ආරියවංශ
IMG_4011 dayarathna-amarassssssssss