ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් වසර ගණනාවක් ඔබව ආමන්ත්‍රණය කරන ඇය නමින් සඳමාලි හේවානායකයි. ඒ නිසාම ඇගේ තොරතුරු දැන ගන්න මේ ඉඩ ඇයට වෙන් කළා.

කොහොමද නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නෙ?
මම පාසල් ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට. උසස් පෙළ කරන අවධියේ රූපවාහිනියේ සජීවී වැඩසටහනක් ආරම්භ කළා උදා විකාශය කියලා. කොළඹ ඉස්කෝ‍ලේ ළමයි ගෙන්වලා තෝරගෙන තමයි මේ වැඩසටහනට ළමයි තෝර ගත්තේ. ඒ වැඩසටහනට මාව තේරුණා. එතැනින් තමයි රූපවාහිනියට එන්නේ.

ඒ කියන්නේ නිවේදිකාවක් වෙන්න අඩිතාලම වැටෙන්නෙ පාසලෙන්?
මම සාමාන්‍ය පෙළ කරන කාලෙ නාට්‍යය ලියලා අධ්‍යක්ෂණය කළා. ඒකේ ‍පොඩි කොටසක් මට කියවන්න තිබුණා. ඒක අපේ ඉස්කෝ‍ලේ සහකාර විදුහල්පති කෙනෙක් දැකලා පාස‍ලේ නිවේදන කටයුතුවලට මාව තෝර ගත්තා. ඊට පස්සේ තිබිච්ච තරම් සියලුම උත්සව, වැඩසටහන් කළේ මම. රූපවාහිනියේ උදා විකාශය පටන් ගන්න කා‍ලේ මට මයික් එක වගේම කතා කරන එකත් ඉතාම හුරුපුරුදු දෙයක් වෙලා තිබුණේ.

‍පොඩි කාලෙ නිවේදිකාවක් වෙන්න හීනයක් තිබුණද?
මම ‍පොත්පත් කියවන්න ආසයි. තාත්තා දයා විජේසේකර. ඔහු දවස පත්තරේ ජනමාධ්‍යවේදියෙක්. මගේ අම්මා මාලනී විජේසේකර. ඇය සිංහල ගෞරව උපාධිධාරිනියක්. ඒ නිසා අපේ ගෙදර ලොකු ‍පොත් එකතුවක් තිබුණා. ඒ නිසා අපේ ගෙදර සාහිත්‍ය පසුබිමක් තිබුණා. ඒ නිසා මම වේදිකාවට, සංගීතයට, ‍පොතපතට ගොඩක් ඇලුම් කළා. නිවේදන අංශයෙන්ම යන්න කියලා අදහසක් තිබුණේ නැහැ.

එහෙනම් කවුරු වෙන්නද හීන මැව්වේ?
මෙහෙම කෙනෙක් වෙනවා කියලා ලොකු තේරුමක් තිබුණේ නැහැ. තාත්තගෙ යාළුවෝ කලාකාරයෝ ගොඩක් හිටියා පවු‍ලේ හිතවතුන් විදිහට. ඒ ආශ්‍රය එක්ක මම කලාවට වේදිකාවට සංගීතයට ගොඩක් ඇලුම් කළා. කවුරු වෙන්නද කියලා හිතුවේ නැති වුණාට කලාව පැත්තෙන් ඉස්සරහට යන්නයි ලොකු ආසාවක් තිබුණේ.

ප්‍රවෘත්ති නිවේදනයට වගේම වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් ඔබ කටයුතු කරනවා. එහෙම අවස්ථාව ලැබෙන්නෙ බොහොම සීමිත පිරිසකටයි. කොහොමද ඒ අත්දැකීම?
ප්‍රවෘත්ති නිවේදනයයි වැඩසටහන් නිවේදනයයි අතර ලොකු පරතරයක් තියෙනවා. ප්‍රවෘත්ති නිවේදනය භාරදූර වගකීමක් වගේම ඒ ගැන දැනුවත්වීමක් අවශ්‍යයි. වැඩසටහන් නිවේදනය කිරීම ප්‍රවෘත්ති නිවේදනයට වඩා නිදහසක් තිබෙනවා. එතැන මට මම වෙන්න පුළුවන් වගේම මම ආස දෙයක් කතා කරන්න පුළුවන්. විශාල වින්දනීය කාරණාවක් තමයි වැඩසටහන් නිවේදනය කියන්නේ.

ඔබ වඩා කැමැති ප්‍රවෘත්ති නිවේදනයටද?
ප්‍රවෘත්ති කියන එකේ වටිනාකම එළියට බැස්සහම මට දැනෙනවා. මීට අවුරුදු දහයකට කලින් වැඩසටහනකින් කරපු දේවල් අද හම්බ වෙලා කතා කරනවා. ඒ නිසා ප්‍රවෘත්ති නිවේදනයට වගේම වැඩසටහන් නිවේදනයටත් මම කැමැතියි.

නිවේදන ජීවිතයේ අමතක නොවන අත්දැකීම් ඇති?
ලක් හඬ ගුවන්විදුලිය ආරම්භ කරද්දී එහි ආරම්භක නිවේදකයෝ වුණේ මමයි මොහාන් රාජුයි. ඒ වගේම මට විවිධ වැඩසටහන් ගණනාවක් කරන්න ලැබුණා. මම නිවුස් කියන කා‍ලේ අකුණක් ගහලා අම්මයි තාත්තයි නැති වුණ ‍පොඩි ළමයි දෙන්නෙක්ගේ නිවුස් එක්ක කියන්න ලැබුණා ඒ ළමයි දෙන්නව ගෙනැල්ලා. ඒ නිසා ඒ අයට දිගටම ආධාර ලැබුණා. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න හැකි වුණා පුංචි විනාඩි ගණනාවක නිවුස් එකකින්. ඒ දේ මම හරි ආසාවෙන් මතක් කරන්න කැමැති සිදුවීමක්.

සමාජයේ කතාබහට ලක් වන චරිතයක් වීම ගැන මොකද හිතෙන්නෙ?
හරි ප්‍රසන්න හැඟීමක් තමයි මට තියෙන්නේ. මම නිළියක් ‍නෙවෙයි. එහෙම නැතුව ලැබෙන පිළිගැනීම ගැන තියෙන්නෙ හරිම ප්‍රසන්න දෙයක්.
වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ?
සමස්තයක් වශයෙන් හිතුවොත් අද අනෙක් කලාවන්වලට වෙලා තියෙන දේ තමයි නිවේදනයටත් වෙලා තියෙන්නේ. හොඳ සහ නරක දෙකම තියෙනවා. කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ පරමාදර්ශී චරිත එක්ක අපට පසු පරම්පරාව ගත්තහම තියෙන්නේ අහස ‍පොළොව වගේ ලොකු වෙනසක්. අද වෙනකොට නිවේදන කලාව කියන්නේ මොකක්ද කියන්න ගැටලුවක් වෙලා තියෙනවා. පිරිසකට ආමන්ත්‍රණය කරන්න මිනිසුන්ගේ කාලය වැඩක් ඇති හරවත් දෙයක් දෙන්න අපට මහා පරිචයක් වගේම දැනුමක් අත්‍යවශ්‍යයි කියලා මම පෞද්ගලිකවම විශ්වාස කරනවා.

එදාට වඩා අද ක්ෂේත්‍රයට එකතු වන පිරිස ඉහළ ගිහින් නේද?
අවස්ථා වැඩි ඇති. අද වන විට රටේ විකාශනය වන රේඩියෝ නාළිකා බර ගණනාවක් වගේ රූපවාහිනී නාළිකා බර ගණනාවක් තියෙනවා. නමුත් ජනතාවට මතකයේ හිටින්න ඉන්නේ බොහොම අතළොස්සක් විතරයි.

අද ඔබ ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්. ඇත්තටම මම තෘප්තිමත්. මම පෞද්ගලික ආයතනයක ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී ලෙස වැඩ කරනවා. මම ඇත්තටම ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම අවුරුදු දොළහක් එක දිගටම මම තමයි නිවේදනය කරන්නේ.

ඔබේ දැනුම බෙදාහදා ගන්න කැමැත්තක් නැද්ද?
ඒක කරන්න ඕන කියලා නිතරම හිතෙනවා. නමුත් එකම ගැටලුව කාලය. මොකද මම කාලයත් එක්ක විශාල අරගලයක් කරන කෙනෙක්. කවදාහරි වෙලාව ලැබුණොත් බෙහොම ආසාවෙන් කරනවා.

රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
ලැබුණා. මුල් කාලයෙත් ආරාධනා ලැබුණා. නමුත් මම වෘත්තියෙන් පුද්ගලික බැංකුවක සේවය කරන ගමන් තමයි නිවේදනයට සම්බන්ධ වෙන්නේ. ඒ හින්දා වෘත්තියෙන් ඉතුරු වෙන වෙලාව තමයි නිවේදනයට වෙන් කර ගත්තේ. ඒ නිසා රඟපාන්න වෙලාවක් හොයා ගන්න ඉඩක් තිබුණේ නැහැ.

දැන් ආසාවක් නැද්ද රංගනයට සම්බන්ධ වෙන්න?
මමත් ඒ ප්‍රශ්නය මගෙන් අහන දෙයක්. මේ ළඟදී සෝමරත්න දිසානායකයන්ගේ සුනාමි චිත්‍රපටයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස රංගනයෙන් දායක වුණා. කවදාහරි දවසක හොඳ දෙයක් ලැබුණොත් ලැබෙයි කියලා හිතනවා.

පුද්ගලික විස්තර මතක් කළොත්?
මගේ මහත්තයා අචින්ත හේවානායක. මමයි පුතයි තමයි ඉන්නේ.

මේ හැම දෙයක් එක්කම කොහොමද ගෙදර වැඩ සමබරව කරගෙන යන්නෙ?
මගේ අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා. මගේ සැමියාත් හුඟක් උදව් කරනවා. ඒ අයගේ උදව් නිසා මේ හැමදේම සමබරව කරගන්න ‍ලේසි වෙලා තියෙනවා.

තිළිණි කරුණාරත්න

sdaf