සමකාලීන නර්තනයේ විශ්වීය ශ්‍රී ලාංකීකයා ඔහුය. නටන්ඩා ඇකඩමියේ නිර්මාතෘ ඔහුය. නව නර්තන ආකෘතියක් හඳුන්වාදීමේ ගෞරවනීය කලාකරුවා කපිල පලිහවඩනය.

ජීවිතේ හුඟාක් දේවල් මට ගෙනත් දුන්නේ නැහැ – මං හුඟාක් දේවල් හොයා ගෙන ගියේ නැහැ. හැබැයි මං ජීවත් ඇතුළේ දැඩි කැපවීමකින් මගේ රිද්මය හොයා ගත්තා. කපිල පවසන්නේද රිද්මයකටය.

කේ.පී. සලමන්ට හා ඇසිලින් දෙමාපිය යුවලට සිවුදෙනෙකුගෙන් යුතු පවු‍ලේ බාලයා ලෙස උපත ලබන කේසර කපිල පලිහවඩන මූලික අධ්‍යාපනය ලබන්නේ පනාගොඩ ශ්‍රී පාලි විද්‍යාලයෙනුයි. එතැනින් හොරණ ශ්‍රී පාලි විද්‍යාලයෙන්ද ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයේද ජර්මනු නර්තන ඇකඩමියෙන්ද නර්තන පිළිබඳ පරතෙරකටම හදාරන ඔහු වත්මන් ශ්‍රී ලාංකීය එකම සමකාලීන නර්තන ඇකඩමියේ නිර්මාතෘය – සමකාලීන නර්තන වේදිකාවේ ශ්‍රී ලංකීය රිද්මය ඔහුය.
බොහෝ නර්තන ෙශෙලියන් මං හැදැරූවා. විවිධ ගුරුවරුන් යටතේ විවිධාකාර සම්ප්‍රදායන් ඉගෙන ගත්තා. ඒ හැම පියවරකදීම තාලයකදීම ඇතුළාන්තයේ වෙනස්ම වූ රිද්මයක් නිරන්තරයෙන්ම කම්පනය වෙමින් තිබුණා.
කපිල අතීතයට මුසු වූයේ මාවද කැටිවය.

හැමදාමත් මං විශ්වාස කළා කලාකරුවන්ගේ ජීවිතේ කෙටි මාවත් නැති බව. වෘත්තීය මට්ටමේ කලාකරුවෙකු වීමේදී දුෂ්කරම මාවත් තෝරා ගත යුතු බව එවැනි ගමනකට අත්‍යවශ්‍ය කැපවීම වීර්ය නිරන්තරයෙන්ම නර්තන චලනයකින් උත්පාදනය වන ආත්ම තෘප්තිය තුළ තිබුණා.

කපිල යම්කිසි මාර්ගයකට පිවිසෙන්නට ඇත. ඒ ගැන කල්තියාම ඉඟි – හොඩුවාවල් ජීවිතය විසින් ඔහුට පෙන්වා දෙන්නටද ඇත.

2004 දී මට ජර්මනියට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ඒක තමයි නර්තනය නම් විෂයේ ලැබුණ හොඳම අවස්ථාමය පථය
ජර්මනියේ දී නර්තනය එක්කම කළමනාකරණය වැනි විෂයන්් පවා හදාරන්න මට අවස්ථාව ලැබෙනවා. වෙනත් රටක තනිවීමත් එක්ක මට ලැබෙනවා අවස්ථාවක් මට මාවම හොයාගන්න. මගේ ඇතුළාන්තයේ හැඩය අත්දකින්න.
වෙනස්ම අධ්‍යාපනයක් – වෙනස්ම සංස්කෘතියක් මත පහසුවක් නොදැනුණාට මං වෙනස් විදියට  හිතන්න පටන් ගත්තා…

ආකල්පමය වශයෙන් වෙනස්කම් අත්වින්දා..
සීතකාලයේ පවා බයිසිකලයක කිලෝමීටර් ගණනාවක් පැද යන මේ ශ්‍රී ලාංකිකයාට සීතල තුෂාරයද නොදැනෙන්නේ වසන්තයේ රාගයත් සිසිලස අබිමුව ‍පොපියන්නාවූ ජවයත් ඔහුගේ සිහිනවලටද කාවැදී ඇති නිසා වන්නට ඇත.

ආපහු මම ලංකාවට එන්නේ නටන්ඩා ඇකඩමියේ වැඩ පටන් ගන්න. ජර්මනියේ දී ශිෂත්වයට ලැබුණ මුදල් බොහොම අරපිරි මැස්මෙන් වියදම් ක‍ලේ ඒ සැලසුම හිතේ තියාගෙන.

නටන්ඩා කියන්නේ මගේ හීනය. ලංකාවේ ලොකුම නර්තන ඇකඩමිය අපෙන් ඉගෙන ගන්නේ වෘත්තීය නර්තනවේදීන්, අවුරුද්දකට එක නිර්මාණයක් අපි නටන්ඩා තුලින් නිෂ්පාදනය කරනවා. අද වෙන කොට වයස් භේදයක් නොමැතිව නටන්ඩා හරහා පුහුණුව ලබනවා.

කපිල කියන තරම්ම නටන්ඩා ඇකඩමියේ කතාව සරල විය හැකිද. තනි මිනිසෙක් ලංකාව වැනි රටක නර්තනය වැනි ක්ෂත්‍රයක් හරහා මේ තරම් දුරදිගට හීනයක් දිගේ ආගමනය අපේ පරම්පරාවේ නතර වූ හීන ගොඩවල් උඩ මටද දැක ගන්නට අපහසුය.

නටන්ඩා ඇකඩමිය ඉවරයි කියලා හිතෙන තැනටම අභියෝග ප්‍රශ්න ආවා. හැබැයි මම කවදාවත් අත් හැරියේ නැහැ. මම දැනගෙන හිටියා එහෙම වුණොත් මට ජීවිතේ අත්හැරෙන බව. හැම අභියෝගයක්ම දරා ගත්තේ ඒ අත්නොහැරීමේ දුෂ්කර ශක්තිය නිසායි. නර්තනය වගේම කළමනාකරණයත් හැදෑරූ නිසා හම්බකරන මුදල ඉතිරි කරන්නේ කොහොමද කියලා මම සැලසුම් කරා. අනවශ්‍ය කිසිම දේකට මම සල්ලි වියදම් කරන්නේ නැහැ.

දරුවෙක් මං ළඟට ආවාම මං ඒ දරුවව විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ දරුවා තමන්වම විශ්වාස කරන්න ගන්නවා. හැම සාර්ථක පියවරකදීම ඒ දරුවාගේ හිනාව ඒක තමයි තෘප්තියේ විපුලත්වය.

මං මගේ හීන විශ්වාස කළා. මාව විශ්වාස කළා. ඒ හින්ද මම දන්නවා. මං හොඳ ගුරුවරයෙක් කියලා. අද මට පුළුවන් වෙලා තියෙනවා අපේ තරුණ පරම්පරාවට ජීවිතය ගැන ප්‍රයෝගික විඳීමක් දර්ශනයක් සෞන්දර්යවාදීව විඳින්නට පුළුවන් චින්තනයක් හදන්න.

හැම අඩියකම ඊටම උරුම ගත චලනයක් පුහුණුවක් තියෙනවා. පුදුමාකාර ජවයක් තියෙනවා. ඒ විද්‍යාව නැතිව දරුවෝ එක්ක නර්තනයේදී මුහුවෙන්න බැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම මම මාව පුහුණු කරනවා. මේ කැපවීම ඇතුළේ ලබන ආත්ම තෘප්තිය මිල කරන්න බැහැ. යහපත් නිරෝගී මිනිසුන් ලෙස ඔවුන් ජීවිතයට එක්කර ගන්නා ශික්ෂණයට වටිනා කමක් කියන්න බැහැ.

මට අනුව වේදිකාවම ආධ්‍යාත්මික චාරිකාවක්. නර්තනයකට සමවදින මොහොත තුළම මාව දියවෙලා යනවා. ඒ සම විඳීම තුළ සියල්ලම නැති වෙලා යන අතරම සියල්ලම පිරී ඉතිරීද තිබෙනවා.

නර්තන වේදිකාවට අගයක් ලබා දුන්නේ ඔහුගේ මේ සා වූ ආත්මීය පුහුණුවයි. කපිල පලිහවඩනගේ සිහිනය මිහිමතින් බිහිවී හමාරය. එහි වැඩෙන්නාවූ රූස්ස ගස්ද තවමත් පුංචි පැළැටිද නිරන්තරයෙන් ඒ තුළ හැදී වැඩෙන්නේය. දකුණු ආසියාවේ හොඳම නර්තන ඇකඩමිය බවට නටන්ඩා ඇකඩමිය සාක්ෂාත් කරගැනීමේ අරමුණ ඔහුගේ සිතුවිලිවලට වඩා වේගයෙන් ඉක්මවා මේ විශ්වය මතින් පියාසරමින් අත්තටු ලබනවා ඇත.

රුවන්ති පෙරේරා

Untitled-17 Untitled-16