ඔබ කාලයක් රූපවාහිනියේ දකින්න ලැබුණේ නැහැ. ඒ ඇයි?
රංගනයට වඩා මම වැඩි තැනක් දුන්නේ අධ්‍යක්ෂණයට. ඒ නිසා  වෙලාවක් තිබුණේ නැහැ. වැඩි වෙලාවක් අධ්‍යක්ෂණයට දීපු නිසා රංගනයට වෙන්කරන වෙලාව අඩුවුණා.

මම හදපු චිත්‍රපටය තිරගත වුණාට පසුව තව සිනමාවට වැඩි අවධානයක් යොමුකරන්න බලා‍පොරෙත්තු වෙනවා.

ඔබ කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියත් ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් වෙලා නෑ නේද?
මම රංගනයෙන් දායකවෙලා තියෙන්නේ නිර්මාණ කිහිපයකට විතරයි.  ඒ වුණත් ලැබෙන ප්‍රතිචාර නම් හරි ඉහළයි.

එදා වගේම අදත් ඒ ප්‍රතිචාරවල අඩුවක් නැහැ. ගොඩක් දෙනා මුණගැහුනම අහන්නේ ඇයි රඟපාන්නේ නැත්තේ කියලා. නමුත්  මම අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරනවා කියලා වැඩිය කවුරුත් දන්නෙ නැහැ.

දැන් දිගටම රංගනයට සම්බන්ධ වෙනවද?
එහෙම දැනට ලොකු අදහසක් නැහැ. අධ්‍යක්ෂණයට තමයි කැමති. හොඳ දෙයක් ලැබුණොත් සලකා බලනවා. මොකද දිගටම රඟපාන්න ගියොත් මම කැමති දේ කරන්න බැරිවෙනවා.

ඔබ අධ්‍යක්ෂණය කරන නිර්මාණවල ඔබ රංගනයෙන් දායක වෙනවද?
මම එකම එක ළමයින්ගේ නිර්මාණයක විතරක් රංගනයෙන් දායක වුණා. ඒ ඇරෙන්න මම මගේ නිර්මාණවලට රංගනයෙන් දායක වුණේම නැහැ.

පුංචි තිරයට වඩා සිනමාවට ලබාදෙන දායකත්වය අඩුයි නේද?
පළමු තැන සිනමාවට. ඒත් රටේ තියෙන විවිධ ප්‍රශ්නත් එක්ක සිනමාවේ අර්බුද තියෙනවා. කැමැත්තක් තියෙනවා සිනමා නිර්මාණ කිහිපයක් කරන්න.

මේ වෙනකොට නිර්මාණ කීයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවද?
ටෙලි නාට්‍ය 08ක් වගේ චිත්‍රපට  01 ක් කරලා තියෙනවා.

රංගනයෙන් ඈත්වෙලා හිටිය කාලය ගැන කනගාටුවක් නැද්ද?
රංගනය කියන්නේ මට අහම්බෙන් ලැබුණු දෙයක්. ඒ කා‍ලේ ඉඳන්ම මම කැමති වුණේ අධ්‍යක්ෂණයට. ඒ නිසා මට එහෙම කනගාටුවක් ඇතිවෙලා නැහැ.

තවමත් පෙම්වතාගේ චරිතෙට ආරාධනා ලැබෙනවද?
රඟපාන්න කතා කළා. නමුත් මම කාලයක් රංගනයේ හිටියෙ නැති නිසා ළඟදී ආරාධනා ලැබුණේ නැහැ. ගොඩක් දෙනා දන්නවා මම රංගනයට වඩා අධ්‍යක්ෂණයට මුල් තැනක් දීලා තියෙනවා කියලා.

ඔබ අධ්‍යක්ෂවරයෙක් ලෙස නිර්මාණ කරන්නේ සම්මාන බලා‍පොරාත්තුවෙන්ද?
සමාජයට යහපත් දෙයක් දකින්න බලන්න පුළුවන් දෙයක් දෙන්න පුළුවන්නම් ඒක තමයි අපේ සතුට. දැනෙන වැඩක් කිරීමේ ආසාව තමයි මූලිකවම තියෙන්නේ.

වර්තමානයේ ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා අඩුයි කියනවා නේද?
එහෙම දෙයක් තියෙනවා යන වියදමත් එක්ක ඒ ගැටලුව තියෙනවා.  අද එක්තරා ප්‍රේක්ෂක පිරිසක් විතරයි ටෙලි නාට්‍ය වටා එකතුවෙලා තියෙන්නේ. ගොඩක් දෙනා ටෙලිවිෂනය අතහැරලා. ඔවුන් යළි ටෙලිවිෂනය ඉස්සරහට ගෙනඒම ‍ලේසි පහසු දෙයක් ‍නෙවෙයි. ඉතුරු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට තමයි  අපිට ලොකු තරගයක් දෙන්න වෙලා තියෙන්නෙ. ‍පොඩි ගණන් ඇතුළේ ඒ දේවල් කරන්න වෙනවා.  අපි උත්සාහ කරන්නේ මේ රාමුව ඇතුළේ උපරිමයෙන් ගුණාත්මක නිර්මාණයක්  බිහිකරන්න. නමුත් සමාජීය වශයෙන් ගත්තාම ගුණාත්මක නිර්මාණ බිහිවෙන්නෙ හරිම අඩුවෙන්.

වර්තමානයේ නිර්මාණය කරන ටෙලිනාට්‍යවලට විදේශ ටෙලිනාට්‍යවලට අභියෝගයක් කරන්න පුළුවන් කියලා හිතනවද?
පැහැදිලිවම පුළුවන්. අපේ රටේ දක්ෂ අධ්‍යක්ෂවරු වගේ දක්ෂ නිර්මාණකරුවෝ ඉන්නවා. නමුත් හැමදේම මුදල මත තීරණය වන නිසා අපි කොච්චර ලොකු වැඩක් කළත් ලැබෙන ගාණත් එක්ක ඒක කරන්නෙ කොහොමද කියන ගැටලුව තියෙනවා. නාලිකාවලට ‍ලේසියෙන් පුළුවන් වෙන රටවල නාට්‍ය හඬ කවලා පෙන්වන්න. ඒකෙන්  රටේ චිත්‍රපට නාට්‍ය කර්මාන්තයට සෙතක් නැහැ. ඒ දේවල් එන්න එන්න වළපල්ලට යාමක් තමයි සිද්ධවෙන්නෙ.

පුද්ගලික ජීවිතේ තොරතුරු මතක් කළොත්?
මම විවාහකයි. මගේ බිරිඳ දිනුෂා රූපසිංහ. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක් පුංචි පුතාලා දෙන්නෙක් ඉන්නවා.

මොන වගේ සහායක්ද ඇගෙන් ලැබෙන්නේ?
ඇත්තටම ලොකු සහායක් ඇගෙන් ලැබෙන නිසා තමයි මේ දේවල් කරගෙන යන්නේ.

තිළිණි කරුණාරත්න

Untitled-7 Untitled-8