1967 “දරුදුක” චිත්‍රපටය සහ 1971 “පූජිතයෝ” යන චිත්‍රපට දෙකෙහි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ එච්. ඩී. ප්‍රේමරත්නය. 70 දශකයේ බිහි වූ සිනමාකරුවන් අතරින් ඔහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ කුළුඳුල් නිෂ්පාදනය “සිකුරුලියා” ය. එය 1975 දී තිරගත විය. එම චිත්‍රපටය වාණිජ අතින් අති සාර්ථකත්වයක් ලැබිය.

සමාන්තර සිනමාව යන්න හඳුන්වා දුන්නේ විචාරකයන් විසිනි. සමාන්තර සිනමාකරු වශයෙන් හඳුන්වාදෙනු ලැබූ එච්. ඩී. ප්‍රේමරත්නගේ දෙවන අධ්‍යක්ෂණය “අපේක්ෂා” ය. මෙය තිරගත කරන ලද්දේ 1978 නොවැම්බර් 3 වැනිදාය. එය සිංහල සිනමා වංශ කතාවේ 393 වන චිත්‍රපටය ලෙස තිරගත කෙරිණ. මෙම චිත්‍රපටය වාණිජ අතින් සාර්ථක වූ අතර එහි ප්‍රථමවරට අමරසිරි කලංසූරිය ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. ඒ මාලිනී ෆොන්සේකා සමගය. මේ චිත්‍රපටයෙන් හඳුන්වා දුන් රන්ජන් මෙන්ඩිස් ඉතා කෙටි කලකින් ජනප්‍රියව චිත්‍රපටය තිරගත වීමට පෙර 1977 සැප්තැම්බර් 10 වැනිදා මිය ගියේ ය. වේදිකා නළු ෆ්ලීක්ස් ප්‍රේමවර්ධන ද “අපේක්ෂා” චිත්‍රපටයෙන් සිනමාවට එක් විය. රන්ජන් මෙන්ඩිස් රඟපෑ අනෙක් චිත්‍රපට අතර “අමල් බිසෝ” පළඟැටියෝ, ආදියද විය. “අපේක්ෂා” චිත්‍රපටය විනෝදාත්මක සිනමාවේ මූලිකාංගවලින් සමන්විත විය.

කලින් චිත්‍රපටයේ සේම මෙහිදී ද අධ්‍යක්ෂ වැඩි අවධානයක් යොමු කරන්නේ රඟපෑම කෙරෙහි හා සංගීතයත්, ගීතයත් කෙරෙහිය. කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ ක්ලැරන්ස් විජේවර්ධන “අපේක්ෂා” හි සංගීතය නිර්මාණය කරයි.
සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා…
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා…

යන මිල්ටන් මල්ලවාරච්චි සමග ඇන්ජලින් ගුණතිලක ගයන ගීතයද,
සොඳුරු ලොවට මල් වැහලා, තව්තිසාවේ හද මැවිලා හැඟුම් පහන් තාරුකා පෙමට පායලා
යන එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගයන ගීතයද අපේක්ෂා චිත්‍රපටයේ ගීත අතරින් ගීත ලෝලීන් අතරට ඉක්මනින්ම ගිය ගීත ලෙස හැඳින්විය හැක. එසේම මේ චිත්‍රපටයේ අනෙක් ගීතද 70 දශකයේ ජනප්‍රියම ගීත අතරට එක් විය. චිත්‍රපටයේ ජනප්‍රියත්වයට මේ ගීතද ඉවහල්ව ඇත.

අධ්‍යක්ෂ මේ චිත්‍රපටයේ ඉස්මතු කරන්නේ යොවුන් ප්‍රේමය මුල් කරගත් කතාවකි. මේ නිසා “සිකුරු ලියා” චිත්‍රපටයේ මිටි පුද්ගලයාගේ චරිතය නිරූපණය කරන බන්දුල ගලගෙදර මෙන්ම “අපේක්ෂා” චිත්‍රපටයේ අමරසිරි කලංසූරිය ද අභියෝගාත්මක රංගනයක යෙදී ඇත. 70 දශකයේ සම්මත ප්‍රේමවන්තයාගේ සියලු බාහිර අංග බැහැර කළ කලංසූරිය විනෝදාත්මක සිනමාවේ උපරිම අන්තයක සිටින මාලිනී ෆොන්සේකා සමග රඟපෑමද මහත් වූ අභියෝගයකි.

ඔහු දුෂ්ටයාට ගල් කැටයකින් දමා ගසා පෙම්වතිය සමග පලායන ආකාරයේ අව්‍යාජ තරුණයෙකි. චිත්‍රපටය ආරම්භ වන්නේ නිමල් නමැති තරුණයා අගනුවර ඉන්ධන පිරවුම්හල් සේවකයකු ලෙස පෙන්වමිනි.

සටන් චරිත සඳහාම වෙන් වී සිටි රොබින් ප්‍රනාන්දු “අපේක්ෂා” හි පෙම්වතකුගේ චරිතයක් නිරූපණය කිරීමද ඔහුගේ සිනමා දිවියේ වෙනසකි.

“රීට්ස්” “ලැව්නියා” මුවිටොන්” යන සිනමාශාලා තුනේම නොකඩවා දින 81 ක් අපේක්ෂා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණ. චිත්‍රපටය ප්‍රචාරය කිරීමේදී ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදබැඳ ගන්නා අයුරින් ඉදිරිපත් කර තිබූ ප්‍රචාරක වැකි කිහිපයක් මෙසේ ය.

“පියුමකින් උපන් කුමරියක්. මාවතේ දහඩිය හා දූවිලි මැද වසන තරුණයෙක්” – දිනමිණ
“ජීවිතයේ දහසකුත් එකක් අපේක්ෂාවන් අතර පූර්ණත්වයට පත් වූ තවත් අපේක්ෂාවක්”

 දිනමිණ

A Princess Concieved in the Heart Of A Flower (Daily News)
1977 මාර්තු 01 වැනි දින නිවු ඔලිම්පියාහි දී විශේෂ දර්ශනයක්ද, 1978 ඔක්තෝබර් මුල පුවත්පත් කලාවේදීන් සඳහා විශේෂ දර්ශනයක් ද විය.

“නිව් ඔලිම්පියා” හා “රීට්ස්” හි දී අභාවප්‍රාප්ත සිනමා නිළි රැජන රුක්මණී දේවි සිහිවටන චිත්‍රපටයක් වූ “රූපචායා” කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

මෙහි නළුනිළියන් හැටියට මාලිනී ෆොන්සේකා, අමරසිරි කලංසූරිය, රොබින් ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ, රන්ජන් මෙන්ඩිස්, කුසුම් පෙරේරා, තලතා ගුණසේකර, දොන් සිරිසේන නිමල් ජයවර්ධන, විල්සන් කරුණාරත්න, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ජෝ දඹුලුගල ආදීන් වෙති.

“අපේක්ෂා” තිර රචනය ධර්මසිරි ගමගේගෙනි. කතාව හා දෙබස් එච්. ඩී. ප්‍රේමරත්නගෙනි. නිෂ්පාදනය වෝල්ටර් රොඩ්රිගෝ තියොපිලස් රොඩ්රිගෝ, සිසිර චන්ද්‍රලාල්ගෙනි. කැමරාව මෙහෙයුවේ ඩොනල්ඩ් කරුණාරත්න විසිනි.

ඔස්කා මෙන්දිස්

edf