‘‘තාත්තේ රතුපාට කාර් එකකින් කවුද මාමා කෙනෙක් ඇවිත් තාත්තා හොයනවා’’
පාරේ පයිප්පය ළඟට ගිහින් හුන් ලොකු දුව, දුවගෙන ඇවිත් කීවා ය. වෙලාව උදේ හය හමාරට, හතට විතර ඇත. දියණිය කී කතාව ඇත්ත ය. මා සොයා ඇවිත් ඉන්නේ රාජා අලහප්පෙරුම ය. සති දෙක තුනකට විතර කලින් මිලදී ගත්තු රතු පාට ලාන්සරයෙන් බැස රාජා මා කරා පිය නගන්නේ ය.

ගාල්ලේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ රාජා අලහප්පෙරුම (ඔහු අද ජීවතුන් අතර නැත* වාමාංශික දේශපාලනය කරපින්නා ගත්තු හිත හොඳ මිනිහෙකි. 1977 ජූලි මස 21 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත‍්‍රික්කයේ, හිනිදුම මැතිවරණ කොට්ඨාසයට, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා සේ රාජා තරග වැදුණි
‘‘මොකද සහෝදරයා කුකුළා මල්ලෙ දාගෙන…. ම’’

‘‘යමු රවුමක් උදේ පාන්දරින් ම’’
‘‘රවුමක් යන්න…. කොහෙද….?
‘‘ඡුන්දෙ තත්තෙ කොහොමද කියල හොයල බලන්න යමු ’’

ඉබ්බකු වතුරට දාන්න හදන වෙලාවෙ ඇන්නෑවේ කීවා ය කියන කතාව මට සැණෙකින් සිහිපත් විය.
‘‘කොහේ යතත් යන්නෙ මං ඡුන්දෙ දාලා තමයි….. විනාඩි පහක් දහයක් විතර ඉන්න…. මං ටක් ගාලා ඡුන්ද කෑල්ල දාලා එන්නන්’’ යි රාජාට කී මා තේ එකක් පිළියෙල කරන්නැ යි ලොක්කී ට කියා ලහි ලහියේ සරොන් කෑල්ලෙන් කලිසන් බෑයට මාරු වී බිරියත් කැන්දන් ඡුන්ද කාඞ්පත අතට ගත්තෙමි.

‘‘ටක් ගාලා එන්නං මචෝ’’
මා හෝඩියේ සිට අකුරු කළ රජ්ගම දේවපතිරාජ විදුහලේය අපේ ඡුන්ද මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ. ඉස්කෝලෙ තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ ය. මේ ඡුන්දය පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගන්නට ය. කැලැන්ඩරේ දිනේ හැටියට නම් 1988 දෙසැම්බර් මහේ දහ නම (19* වැනි දා ය.

1983 දී පාලකයන් වපුල ජාතිවාදී කෝළාහලය පාදක කරගනිමින් හවුරුදු පහක් පුරාවට ම ධාර්මිෂ්ඨර් ලා විසින් තහනමට ලක් කරැුති ජනතා විමුක්ති පෙරමුණේ ලොක්කන් සැඟව හිඳිමින් ජනාධිපතිවරණය වර්ජනය කරනා සේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ඡුන්දයට සති කීපයකට පෙර සිට ය. හැබෑවට ම කියනවා නං එය ඉල්ලීමක් නොවේ. තර්ජනාත්මක නියෝගයකි. ඒ තර්ජනාත්මක නියෝගය එසේ මෙසේ සුළුපටු එකක් නොවේ. ඡුන්දය දුන්නොත් ඡුන්දය දුන්නු පුද්ගලයන් මරා දමන බව ජවිපෙ, අණ්ඩක් වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ඡුන්දදායකන්ට ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ නාමයෙන් කරැුති තර්ජනය යි.

‘ඡුන්දය දෙන්නන්ට දඬුවම මරණය’ බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ කමලබන්ධු නම් බළකායේ අණදෙන නිලධාරියා යැ යි කියා ගත්තු කෙනකු විසින් ඒ නියෝගයක් නිකුත් කර තිබුණි. ඡුන්දය දෙන්නට යන පළමු හත්දෙනා, දස දෙනා මරා දමන බවට පෝස්ටර් ද තැන් තැන්  හි අලවා තිබුණු ඡුන්දදායකයන්ට මරණ බය උපද්දවා ඔවුන් පරමාධිපත්‍යයේ මහිමය පෙන්වන්නට යන එක වළකාලන්න ට ය. පෙරදින බිංඇඳිරිය වැටෙද්දී නොහඳුනන කුරුට්ටකු ඇවිත් අපේ ගේ පිටිපස්සෙන් කොළඹ හිට ගාල්ල බලා දුවන රේල් පාරේ හිටන් එක තුණ්ඩු කෑල්ලක් මා බිරිය අතට දී වාෂ්ප වූවා යැ යි කියන්නේ අසුරු සැණෙනි. ඒ කොලූ ගැටයා ගේ මූණත් තහඩුව ඈට හරිහැටි බලා ගන්නට බැරි වුණේ අවට පැවති අඳුර නිසා වෙන්නට  ඕනෑ ය.අ ඳුර ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩෙද්දී පරිසරයේ පැවති නිහැඬියාව වරින් වර බින්දේ ඈතින් මෑතින් නැගුණු බල්ලන් ගේ බිරුම් හඬයි.

එවන් නියෝගයක් රට පුරා පනවන්නට දේශපේ‍්‍රමීන් පියවර ගත්තේ ශ‍්‍රී ලංකාවාසීන් ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියට ඔවුන් ගරු නොකරන හින්දා ය. එක අතකින් එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පාලකයන් ජනතාවට ලබා දුන්නේ ද නැත. ඒක ඊට හවුරුදු හයකට කලින් කළගෙඩි ලාම්පු සෙල්ලමින් එජාපයේ හැත්ත උදුරා ගත්තේ ය. ජේ. ආර්. ගේ ටිකිරි මොළේ හැටියට ගහපු ගැට හින්දා ය. එජාප යේ ඡුන්ද පොරොන්දුවලට ලාංකේ ය ජනතාව අහුවුණි. මව්බිම අවුලෙන් අවුලට හෙළා, නො පෙනෙන මහා අගාදයකට රට ගොදුරු වී අදත් මහා පඹ ගාලක පැටලීමකට හසුව ඇත්තේ, එදා හයෙන් පහක දැවැන්ත ජනවරමක් එජාපයට පුද දෙන්නට තරම් ලාංකේය ඡුන්දදායකයන් දුරදිග නොබලා ගත්තු තීරණයට පින් සිද්ධ වෙන්නට ය.

ඉදින් ජේ. ආර්. පේ‍්‍රමදාස දෙබෑයන් ඔවුන් ගේ පැවැත්ම තහවුරු කර ගන්නට ගහපු ගැට කන්දරාව නිසා උතුරුකරේ ප‍්‍රභාකරන් නම් අළුගෝසුවා ගේ මගපෙන්වීම යටතේ දෙමළ ඊළාම් කොටි සංවිධානයට හිස එසැවීමට ඉණිමං බැඳුණි.

උන් 1983 ජූලි 23 වැනි දා මැදියම් රැුයට ඔන්න මෙන්න කියා තිබිය දී රාත‍්‍රී මුර සංචාරයක යෙදී හුන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ ජීප් රියකට හා ට‍්‍රක් රථයකට එල්ල කළ බෝම්බ හා වෙඩි ප‍්‍රහාරයකට ගොදුරුව මියගිය හමුදා සෙබළුන් දහතුන් දෙනකු රටට අහිමි විය. ඔවුන් ගේ අවසන් කටයුතු බොරැුල්ල කනත්තේ දී සිදු කිරීමේ දී ඇති වුණේ මහා නොසන්සුන් බවකි. මහා කලබලයෙකි. ඒ කලබලය රට පුරා ව්‍යාප්ත කොට 1983 කළු ජූලිය නිර්මාණය කරන්නට මුල් වූවෝ ධාර්මිෂ්ටර්ලාගේ හෙංචයියෝ ම ය. උන් ඊනියා දේශපේ‍්‍රමීත්වයක් කරපින්නා ගෙන කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශවල ජීවත්වුණු අහිංසක දෙමළ ජනතාව ඝාතනය කරමින් දේපොළ කොල්ලකමින් කඩ සාප්පු ගිනිබත් කෙළේ ධාර්මිෂ්ට මැති ඇමැති ආශිර්වාදයෙනි. අනුග‍්‍රයෙනි. මග පෙන්වීමෙනි. උන් කළ ඒ විනාශකාරී ම්ලේච්ඡු ක‍්‍රියාවන් වාමාංශික පක්ෂ තුනක ගිණුම්වලට බැර කළේ ලෝකයා හමුවේ සිංහල බෞද්ධයන් රුදුරු කෲර තිරස්චීනයන් සේ හංවඩු ගස්සමිනි. තහනමට ලක් කෙරුණු, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හා නව සමසමාජ පක්ෂයේ ද තහනම ඉවත් කළා වූ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ තහනම තවදුරටත් පවත්වා ගෙන ගියෙන් ඔවුන් ගේ දේශපාලන ක‍්‍රියාකාරකම් දියත් වූයේ රහසිගත සංවිධානයක් සේ ය.

මේ කාලය වන විට රටේ උතුරු කොණ බරපතළ විදිහට ගිනි තබා ප‍්‍රභාකරන් හා මිනීමරු කොටි කල්ලිය වපුල භීෂණය හේතුවෙන් උතුරේ මෙන් ම නැගෙනහිර ද පාලනය ජේ. ආර්. පේ‍්‍රමදාස පාලනයෙන් ගිලිහෙමින් පැවතිණි.

උතුරේ ද නැගෙනහිර ද පවතින තත්ත්වය මර්දනය කරන්නට ආණ්ඩුව යුද හමුදාව යොදවා තිබිය දී ඉන්දියාව විසින් උඩින් ඇවිත් පරිප්පු දමා සුදු අලි (අට* නවදෙනකු බලහත්කාරයෙන් අපට පැටවූයේ ඉන්දු ලංකා ගිවිසුමේ ඔස්සේ ය.

ඒ ඊනියා පළාත් සභා ක‍්‍රමය යි.  ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සැඟව හිඳිමින් ඇරඹූ ආණ්ඩු විරෝධී රාජ්‍ය විරෝධී ක‍්‍රියාවන් 1988 – 1989 වන විට පැවතියේ ඉතා බියකරු තත්ත්වයක ය. රටේ උතුරු කරේ ද  දකුණු කරේ ද හරියට දෙකොන පත්තු කරැුති විලක්කුවක් බඳු විය. ඉදින් ජනාධිපතිවරණයට කිසිවකු හෝ ඡුන්දය පාවිච්චි නොකර වර්ජනය කරන්නැ යි නියෝග කරමින්, ඡුන්දදායකයන්ට ඇති ඒ අයිතියට වැට කඩොලූ හරස් කොටජවිපෙ ඔසවන ලද තර්ජනාංගුලිය බරපතළ අන්දමට මිනිස් සිත් සතන් තුළ කාවැදී හමාර ය. බොහෝ ප‍්‍රදේශවල අහිංසක අසරණ ජනතාව බියෙන් හා සැකෙන් යුතුව ඊනියා දේශපේ‍්‍රමීන් ගේ ඒ තර්ජනය ඉවසා හුන්න ද අපේ ගම් බිම්වල ජනයා ඊට නො බියව ප‍්‍රතිචාර දක්වන්නට තරම් එඩිතර වූහ.

උඳුවප් මහේ දහනම වැනිදා දවස උදාකරමින් එළිය වැටෙනවාත් එක්ක ම පැතිර ගිය ආරංචිය රජ්ගම හන්දියේත්, ඊට තරමක් මෑතින් ගම්මැද්දේගොඩත් සුළු ව්‍යාපාරිකයන් දෙන්නකු හමුදාව විසින් අල්ලා ගෙන ගිය බවයි. දකුණ ආඥාපති ලකී අල්ගමගේ බි‍්‍රගේඩියර්වරයා ගේ නියෝග මතපෙර දින රැුය පුරා බූස්ස හමුදා කඳවුරෙන්  අපේ ගම්මණ්ඩිය විතරක් නොව දකුණු පළාත පුරා දැඩි සෝදිසි මෙහෙයුමක් ඇරඹිණි. ඒ මෙහෙයුම ජනාධිපතිවරණ කඩා කප්පල් කිරීමේ උත්සාහයේ යෙදෙමින් දේශපේ‍්‍රමීන් විසින් විවිධාකාර හිංසා ක‍්‍රියා රට පුරා ඇති කරන්නට, සිදුකරන්නට ඇති සූදානම නිසා ය. ඒ සාහසික ක‍්‍රියා වැළැක්වීමට පියවර තබමින් හඳුනා ගත්තු දේශපේ‍්‍රමී ක‍්‍රියාකාරීන් හොය හොයා අත්අඩංගුවට ගැනීම ඒ රාත‍්‍රිය පුරා ගම් නියම්ගම්වල අරඹා තිබුණි. ජවිපෙට හෝ දේශපේ‍්‍රමීන්ට හෝ කිසිදු ආකාරයක සබඳතාවක් නැති අර සුළු ව්‍යාපාරිකයන් දෙන්නා වැනි අහිංසකයන් ද හමුදාවෙන් නිරපරාදෙ කුදලා ගෙන ගියේ ඔවුන් ගේ අඹුදරුවන් හඬා වැළපෙද්දී ය. ආරක්ෂක හමුදාව එදා ? අපේ ගමෙන් අල්ලා ගෙන ගිය අර මිනිසුන් දෙන්නාට වෙච්ච දෙයක් (මේ ලියන මොහොත වන තුරු කොටින් ම කියනවා නම් තිස් හවුරුද්දක් තිස්සේ ම* දන්න කෙනකු නැත්තේ ය.

මිනී ඔළුවක් සහිතව ටී පනස් හයේ ගිනි අවි දෙකක රූප සටහනකින් යුත් ඒ තුණ්ඩු කෑල්ලේ ලියා ඇත්තේ ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසත් එය නොසලකා හැර ඡුන්දය දුන්නොත් ඡුන්දය දෙන්නන්ට දඬුවම මරණයබවත් ය. ඒ් වන විටත් ජවිපෙ මතය පිළිකෙව් කළ පිරිස් සෑහෙන පිරිසක් ඊනියා දේශපේ‍්‍රමීන් ඉතා කුරිරු අන්දමින් ඝාතනය කරන ලද්දේ හිත් පිත් නැති යමපල්ලන් විලසිනි. ඉතින් ඒ බව දන්නා අහිංසක මිනිසුන් ඉතා යටහත් පහත් සේ උන්ගේ ක‍්‍රියාකාරකම් ඉවසා හුන්නේ නිරායුධව ඔවුන්ට කළ හැකි කිසිවක් නැති නිසයි.

ලබන සතියට…
සුගතපාල මැන්දිස්
sugathapalamnendis@gmail.com