බෙලි ශාකය ගැන
බෙලි ශාකය අග්නිදිග ආසියාතික රටවල වැවෙන මධ්‍යම ප‍්‍රමාණයේ ශාකයකි, එය ලංකාවේ සියලූම ප‍්‍රදේශවල පාහේ ගෙවතුවල දැකිය හැකි ශාකයකි. බෙලි ගෙඩි සම්පූර්ණයෙන් වර්ධනය වීමට මස 10 -12 ක් පමණ කාලයක් ගනී, ගෙඩි ඉදෙන කාලය කාලගුණය හා වර්ෂාපතනය මත වෙනස් වේ. තෙත් කලාපය තුළ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වාත්, වියළි කලාපය තුළ අපේ‍්‍රල් සිට අගෝස්තු දක්වාත් සිදුවේ.

බෙලි ගෙඩියේ පෝෂණ සංයුතිය
ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක රාශියක් ඉදුණු බෙලි ගෙඩියක අඩංගු වේ. එහි පල්පයේ ග‍්‍රෑම් 100 ක කාබෝහයිඩ්‍රේරේට් ග‍්‍රෑම් 31.8 ක් ද, ප්‍රෝටීන් ග‍්‍රෑම් 1.8 ක් ද, තන්තු ග‍්‍රෑම් 2.9 ක් හා ශක්තිය කිලෝ කැලරි 137 ක් අඩංගු වේ.

තන්තු වැඩි පුර ඇති නිසා මල බද්ධය අඩු කිරීමටත්, කුඩා බඩවැල තුළදී අහාර අවශෝෂණය ප‍්‍රමාද කිරීම මගින් රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යාම අඩු කර ගැනීමටත් උපකාරී වේ.

බෙලි පල්පයේ ඇති ප්‍රෝටීන් ප‍්‍රමාණය අනෙක් පලතුරුවලට සාපේක්ෂව වැඩිය. එහි සිරුරට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල 20 න් 17ක් ම අඩංගු වේ.

තවද මෙහි ඛනිජ වර්ග විශාල ප‍්‍රමාණයක් අඩංගු අතර, මේවායින් යකඩ, ෆොස්පරස්, කැල්සියම්, සින්ක් ඉහළ සාන්්ද්‍රණවලින් අඩංගු වේ. මෙයිනුත් යකඩ ප‍්‍රමාණය අනෙකුත් පලතුරුවලට සාපේක්ෂව ඉතා වැඩිය.
තවද ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ගණනාවක්ම බෙලිවල අන්තර්ගතය, එමගින් බී විටමින් කාණ්ඩයට අයත් රයිබොෆ්ලේවින් නැමෙති විටමිනය වැඩිපුරම ඇති පලතුර මෙයයි.

බෙලි ගෙඩියේ ඖෂධීය වටිනාකම

බෙලි ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස භාවිත කර ඇත, එහි ඇති ඖෂධීය ගුණවල් පරීක්ෂණ මගින සනාථ වෙමින් පවතී. ඉදුණු බෙලි මලබද්ධය අඩු කිරීමට විරේකයක් ලෙසත්, මුත‍්‍රා වැඩිපුර පිට කිරීමට ලබා දෙන බෙහෙතක් ලෙසත් භාවිත වේ. ළපටි බෙලි පාචන රෝග සුව කිරීමටත් භාවිත වේ. එසේම ආහාර රුචිය වර්ධනය කිරීමට හා අහාර දිරවීම පහසු කිරීමට භාවිත කරයි. බෙලි ගෙඩියේ ටැනින්, ෆිනොල් වැනි ප‍්‍රති-ඔක්සිහරක අඩංගු වේ.

බෙලිවලින් කරන නිෂ්පාදන  

බෙලි ගෙඩියේ ඇති තද කටුව නිසා එය එකවර ආහාරයට ගැනීමට අපහසුය, එම හේතුව නිසාම වර්තමානයේ බෙලි පලතුරක් ලෙස ආහාරයට ගැනීම සීමා වී ඇත, එම තත්ත්වය මග හැරීමට නම් බෙලි යොදා කරන නිෂ්පාදන ප‍්‍රචලිත කිරීම හො`ද උපක‍්‍රමයකි. බෙලි කෝඩියල් දැනටත් ලංකාවේ ප‍්‍රලිත වෙමින් පවතී, ඊට අමතරව දැනට බෙලි තේ පානයක් හා බෙලි පවුඩර් පරීක්ෂණ මට්ටමින් වැඩිදියුණු වෙමින් පවතී. මීට අමතරව බෙලි පානයන් හා බෙලි ජෑම්, ජට්නි, ටොෆී වැනි දෑ නිෂ්පාදනයට දිරි ගැන්විය හැක.

බෙලි වැනි පලතුරු ජනප‍්‍රිය කළ යුත්තේ ඇයි?
මෙම කාලයේ බෝ නොවන රෝග සෑදීමේ ප‍්‍රවණතාව ඉතා වැඩි වී ඇත. එයට ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ අපගේ අහිතකර අහාර රටාවයි. බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ පිෂ්ටය, සීනි, ලූණු වැඩි ප‍්‍රමාණයක් අඩංගු ක්ෂණික අහාර පරිභෝජනයටයි.

ලංකාවේ වසරකට මිය යන ප‍්‍රමාණයෙන් 70% ක් මිය යන්නේ බෝ නොවන රෝග නිසා, එසේම අධි බර පැවැත්ම 26% ට ත් වඩා ඉහළ ගොස් ඇත.

එම නිසා අපගේ අහාර පරිභෝජනය සෞඛයට හිතකර අන්දමින් වෙනස් කර ගත යුතු කාලය එළැඹී ඇත.
එම නිසා වස විසෙන් තොර, ගෙවතුවල වැවෙන බෙලි වැනි පලතුරු පරිභෝජනය කිරීම වැඩි කිරීම හා ජනප‍්‍රිය කිරීමට සියලූ දෙනා උත්සුක විය යුතුය.

dsrfපශ්චාත් වෛද්‍ය විද්‍යා උපාධි ආයතනයේ මානව පෝෂණ අංශයේ
වෛද්‍ය හෂාන් අමරතුංග

Untitled-12